Hot!

දේශපාලන ස්කුබී ඩූ

| නිලන්ත ඉලංගමුව

ආචාර්ය දයාන් ජයතිලක රටේ පවතින අරාජික තත්වයට නවතම විසඳුමක් ඇලඩින්ගේ  පුදුම පහනින් මතුවන භූතයාගෙන් ලබාගන්නා අදහසක් මෙන් නොව  හොලමන් වලට ඇති බිය නිසා ඉන් නිදහස් වීමට සිදුකරන, ස්කුබී ඩූ පන්නයේ නිර්දේශ ඉදිරිපත් කරමින් විසඳුමකට යාමට උත්සහ දරණු පෙනේ. ඔහු , ඔහු විසින්ම තනාගත්,  ෆැන්ටසිය තුළ දකින අමුතුම පන්නයේ සිහිනයට අනුව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, පාර්ලිමේන්තුවට වහාම යැවිය යුත්තේය.

තම විනෝදය උදෙසා ගලක් උඩට වී පවුලේ ඇති දෛනික ප්‍රශ්න වලට කෙටි විවේකයක් ලබා දීම සඳහා සූතියක් උරන්නෙකු ලබා ගන්නා ප්‍රමෝදයට ඉතා සමාන  වූ වින්දනයක් ලබන “අචාර්යතුමා”, තම සිහිනයේ පාවෙමින්, කීමට තටමන්නේ, අදාළ දෙදෙනා පර්ලිමෙන්තුවට යැවීමෙන් රට නීතිමය වශයෙන් පත් වී ඇති ඛේදවාචකය පහ වී යන බවත් රටේ බල තුළනයක් ඇති වන බවත්ය. ඔහුගේම වචන වලින් කිවහොත්, රිබැලන්ස් පොලිටික්ස් ඇන්ඩ් ඩිනවුන්ස්ඩ් ඉම්පියුනිටි.

දයාන්ගේ ලිපිය කියවීමේදී සහ එහි ඔහු විසින් ලබාදෙන නිර්දේශ දෙස බැලීමේදී එකවරම සිහියට නැගුනේ, ප්‍රින්ස්ටන් සරසවියේ මහාචාර්ය හැරී ෆ්‍රෑන්ක්ෆර්ට්  විසින් ලියනු ලැබූ “ ඕන් බුල් ශිට්ස්” නමැති ඉතා කුඩා නමුත් දේශපාලන සහා සමාජීය වශයෙන් මහා පරිමාණයෙන්  දායකත්වය ලබාදුන් රචනාවයි. එම රචනාව උපුටා දැක්වීම මගේ මුලික අභිප්‍රාහය නොවන නමුත් මෙවැනි නිර්දේශ වලින් අයාලේ යන අඥාදායකයා විනයෙහි පිහිටුවීම එක් අඥාන අභිප්‍රාහයක් විය හැකි බැවින් වඩාත් වැදගත්ම දේ ෆ්‍රෑන්ක්ෆර්ට් විසින් තේරුම් කළ මුලික කාරණය ඔස්සේ මෙය තේරුම් ගැනීමය.

රාජපක්ෂ ලබාදෙන එක රාත්‍රී කෑමකට ඔහුගේ වශීබෝලය මිනිසුන් ඉදිරියේ කටයුතු කරන්නාක් මෙන් රාත්‍රී භෝජනයට කුමන හෝ තෛලයක් එකතු කොට අනෙකා වශී කරගත්තේ දැයි නොදනිමු. දේශපාලන විද්‍යාව පමණක් නොව රටේ භුමියේ භාෂාව සේම ජාත්‍යන්තර සංකේතීය ප්‍රවණතාවය ආකල්පමය වශයෙන් තේරුම් ගැනීමේ කෞශල්‍යක් ඇති පිරිස මේ ආකාරයෙන් හැසිරීම ඛේදවාචකයෙන් ඔබ්බට ගිය හාස්‍ය තුළ විනාශය උපදවන නිදර්ශනයකි. සැබවින්ම අනතුරුදායක ප්‍රවණතාවයකි.

සාමාන්‍ය ජීවිතයේදී මෙන්ම දේශපාලනයේදීද බොහෝ දුරට දක්නට ලැබෙන පොදු දේ වූ කලී, බොරුවෙන් අනෙකාව පාලනය හෝ මර්දනය කිරීම නොවේ. මන්ද එය කෙටි කාලීන වන්නා සේම සතුරාට වඩාත් ක්‍රමෝපායික අවස්ථාවක් එක බොරුවකින් පසු දෙවැන්න කීමට හෝ කිරීමට පෙර ඔබ ලබාදෙන්නේය. මෙය බොහොමයක් දේශපාලනඥයින් තේරුම් ගත් මුලික කාරණයකි. එබැවින් වඩාත් වැදගත්ම සහ කල්පවතින උපාය වනාහී අනෙකාව ගොනාට ඇඳවීමය. එය කළ හැක්කේ “ගොන් කතා” වලිනි. ඉංග්‍රීසී බාසාවේ, “ බුල් ශිට්ස්”, යනු එයයි. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ එම සංඛේතීය උපාය වචන වලට පෙරලෙන්නේ, සම්ප්‍රප්පලාම, ලෙසය. මේවන විට ලංකාවේ, “ සිංහල බෞද්ධ” විපරිණාමය හමුවේ “නිවන” නමැති තත්වයද සම්ප්‍රප්පලාපයක් වී ඇත. මෙය එනම් “ බුල්ශිට්” නොහොත්  සම්ප්‍රප්පලාම දේශපාලනයේදී වඩාත් අකාර්ශනීය ලෙස වෙස් ගන්වනු ලැබූ සංකල්පයකි. එහි ඇති සැබෑ හැඩරුව එකවිට හඳුනා ගැනීමට නොහැකි වන තරමට වෙස් ගන්වා ඇත. දයාන්, සරත් ෆොන්සේකා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක, වහාම පාර්ලිමේන්තුවට ගෙන ආ  යුතු යැයි සිදුකරන  අඳෝනාව , ඉහත සඳහන් කළ “ බුල් ශිට්ස්”, ලංකාවේ භාවිත කරණ ආකාරය දැකගත හැකි ආසන්නතම උදාහරණය වේ.

සැබවින්ම දායන්ගේ නිර්දේශ, රටේ පවතින සැබෑ අවුල තේරුම් නොගෙන හෝ දැන දැන තම පෞද්ගලික ට්‍රෝජන් වීරත්වය පෙන්වීම ( බොහෝ විට කරන්නාක් මෙන් ) සඳහා පවතින සත්‍ය යටපත් කිරීමට යන්ත දැරීමෙන් පසු සිදුකරනු ලබන කණා මුට්ටි බිඳීමකට වඩා දේශපාලනික වශයෙන් අනෙකා ගොනාට ඇන්දවීමය. මෙය කලාතන්තරයක් තිස්සේ සිදු වූ ඛේදවාචකයේම තවත් එක් විසඳුමක් පමණි.

ෆොන්සේකා සහ චන්ද්‍රිකා පාර්ලිමේන්තුවට “වහාම”  යැවීමෙන්, කිසිඳු වාසියක් රටේ අරාජික වී ඇති ක්‍රමය වෙනස් කිරීම සඳහා හේතු වන්නේ නැත. අනෙක් අතින් රාජපක්ෂගේ පැවැත්ම පැත්තෙන් බුද්ධිමත් යැයි වර්ග කළ හැකි පන්නයේ එවැනි ක්‍රමෝපායකට, ජනාධිපති රාජපක්ෂ තල්ලු වෙන්නේ සහ ඔහුට ඊට ඉඩදීමේ හැකියාවක්ද නැත. ඔහු එවැනි දෑ වලට උත්සහ කළ කාලය ඉකුත් වූයේ දයාන් එවකට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලාංකික නිත්‍ය නියෝජිතයා ලෙස, රටේ අතිශය සංවේදී මැදිහත්වීමක් සිදු කළ කාලයේදීය.ඊට රාජපක්ෂ ඔහුට ලබාදුන් ත්‍යාගය, කිසිඳු මොහතක ඔහුට අමතක නොවනවා පමණක් නොව, ඔහු ප්‍රංශයේ තානාපති කර යැවීමට පෙර, සිංගප්පූරුවේ ගත කළ කාලයේදී ඔහු දුටු සැබෑ කටුක යථාර්තය ඔහුට අමතක කිරීමටද නොහැකිය.  

නමුත්, සියල්ල මතක නැති ආකාරයෙන් හැසිරෙමින්, රටේ බල තුලනයක් ඇති කිරීම සඳහා ඔහු ෆොන්සේකා සහ චනද්‍රිකා තම දෑත් දෙකෙන් ගෙන විත් රාජපක්ෂගේ ගෙලටීනය මත සිර කිරීමට අමුතුම උපායක් සකස් කරනු ලබයි. එමඟින් සිදුවන්නේ මෙම අතිශය තීරණාත්මක කාලය තුළදී රාජපක්ෂට එරෙහිව කටයුතු කිරීම සඳහා ඇතිවිය හැකි නව ආකාරයක දේශපාලන ප්‍රවණතාවය  යටපත් කොට රාජපක්ෂගේ තිර පැවැත්ම තහවුරු කිරීමය. මෙය වෙන කිසිවෙකුටත් වඩා වඩාත් නිවැරදිව තේරුම් ගත යුත්තේ ෆොන්සේකා සහ චන්ද්‍රිකාය. ඔවුහු මඟහරිනු ලැබූ තීරනාත්මක සිදුවීම් වල ප්‍රතිඵලය මේ වන විට රාජපක්ෂගෙන් දැක ගත හැකිය.

එකල රටේ නායිකාව ලෙස මෙන්ම තම පියාගේ දේශපාලන කුලකයේ, ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි කියනු ලැබේ, තම මවට පසු පැමිණි අනුප්‍රාප්තිකාව ලෙස  ඇයට සිදු කළ යුතු  බොහෝ දෑ තිබුණි. ඒ වෙනුවට “බේබදු මනසකින්” යුතු අයෙකු මෙන් බලයෙන්  කාමුකවී හැසිරෙමින්, තම පවුල තුළ පමණක් නොව අනෙකාට  තම දේශපාලනය අභිබවා යා හැකි මට්ටමට දුර්වල හිඩැස ඇය විසින්ම නිර්මාණය කරනු ලැබුවාය. එහි ප්‍රතිඵලය ලෙස ප්‍රසිද්ධ වේදිකාවේ පවා තිත්ත කුණුහරපෙන් බනිනු ලබූ පුද්ගලයෙකු තම පියාගේ පක්ෂය, ගිල ගන්නා  තෙක් ඇයට නිරුත්තරව බලා සිටීමට සිදු වූවාය. එම කුණුහරපම රටේ ප්‍රතිපත්ති තීරණ වල මුල් හරය බවට පත් වී මේ වන විට වසර ගණනාවක් ගොස් ඇත. එකල ඇය එම අත්‍යවශ්‍ය කාරණා වලදී ක්‍රමෝපායික වශයෙන් කටයුතු කළේනම් මෙකල ශ්‍රී ලංකාව වෙනස්ය. නමුත් චන්ද්‍රිකාටද මෙම යථාර්තය අමතක කළ නොහැකිවා පමණක් නොව ඇය රටේ ප්‍රශ්නය  කුමක්ද යන්න දන්නීය.

එසේම හමුදාපති සරත් ෆොන්සේකා, දේශාපාලනයට පැමිණියේ , රාජපක්ෂගේ කුහකකම නමැති මිටියෙන් තමන් වුර්තීමය වශයෙන් දිනාගත් සියල්ල කුඩුකරණ බව දැන දැනත් එය එක් පයිසයකට මායිම් නොකරමිනි. ඔහුට එය කුමන හෝ හේතුවක් නිසා, ( බොහෝ දුරට කේන්ද්‍රයේ තමා ජාතික නායකයෙකු වන්නේ යැයි අනාවැකි කියා තිබු නිසා විය හැකිය ) සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් විය. ඉන් පසු  රාජපක්ෂලාගෙන් පමණක් නොව තමා සමඟ එකට සිටි අයගෙන් පවා දීර්ඝ වශයෙන් සිදු කළ ලණු අනුභව කිරීමෙන් උගෙන ගත් දෑ අමතක කළ නොහැකිය. ඔහුද එකල මහජනතාවගේ ආකල්පමය වෙනස් කම්  සහ ඔවුන්ගේ පොදු පිළිගැනීම් සහ හැඟීම් තේරුම් ගත්තේනම්  මෙකළ පවතින තත්වය වෙනස්ය. ඔහුද රටේ  ප්‍රශ්නය කුමක්ද යන්න වඩාත් නිවැරදිව දන්නේය.

රටේ ප්‍රශ්නය කුමක්ද? සරලය, නමුත් අභ්‍යන්තරය අතිශය සංකීරණය. රටේ ප්‍රශ්නය වූ කලී රාජපක්ෂය. රටේ අවනීතිය වූ කලී රාජපක්ෂය. රටේ බල අසමතුලනය වූ කලී රාජපක්ෂය. රාජපක්ෂ යනු රෝගයෙන් මෙන්ම රෝග ලක්ෂණ වලින්ද එක හා සමානව වාසි ලබා ගන්නෙකි. සමාජ ක්‍රමයේ ඇති වී ඇති ව්‍යාකූලබාවයෙන්  මෙන්ම එම ව්‍යාකූල භාවය නිසා හටගෙන ඇති විවිධ බලසේනා ඇතුළු “ දේශ හිතෛෂීන්ගේ” මල් කඩවල අස්වැන්න  නෙලා ගන්නේ රාජපක්ෂය. එම නිසා  ඒවා බිහි කිරීමත් - නැති කිරීමත්, බිහි කරන ආකාරයත් - නැති කරන ආකාරයත් ඔහු දන්නේය. මෙය විසඳීමට, චන්ද්‍රිකා සහ ෆොන්සේකා පාර්ලිමේන්තුට යැවීමට උත්සහ කිරීම සමාන වන්නේ  රාජපක්ෂගේ සාක්කුවේ රිංගමින්, ඔහුගේම කුරහන් තලප ගිල දමා කෝපි බොමින්, සිදුකරන වෙස් නැටීමකටය.

රට නිවැරදි කිරීමට නම්, සිදුකළ යුතු වැදගත්ම දේ වූ කලී රටේ සාමාන්‍ය ජනතාව අතර ඇති ආකල්පය වෙනස් කොට ඔවුහුට රටේ නායකයා ලෙස පෙනී සිටින “ ආඥාදායකයාගෙන්” ගැලවෙන මාර්ගය තේරුම් කරදීම සහ ඔවුහුට විකල්ප නායකත්වයක්  පිළිබඳව  වූ විස්වාශය ඇති කිරීමය. ජනතාවට අවශ්‍යවන්නේ තීරණයක් ගැනීමට අවශ්‍ය භාහිරින් ලැබිය යුතු ශක්තිය පමණි. මන්ද ඔවුන්ට මොළය තිබේ. පාර්ලිමේන්තුවේ බල තුලනය හෝ රටේ අවනීතිය නැති කිරීම, පාර්ලිමේන්තුවට රිංගීමෙන් කළ නොහැකි අතර, එය එනම් පාර්ලිමේන්තුව තවදුරත් රාජපක්ෂට විෂම කිරීම සහ කුණු කිරීම සඳහා ඉඩ හැරීම  ඔහුට ඔහුගේම චුතවීම අත්පත් කර ගැනීමට ඉඩ සලසා දිය හැකි හැකි වැඩපිළිවෙලකි. ඒ සඳහා කිසිවෙකු අමුතුවෙන් වෙහෙස මනසි විය යුත්තේ නැත. ඔහු හැකි උපරිමයෙන් හුදෙකලා කිරීම අතිශය වැදගත් වේ. පාර්ලිමේන්තුවට ගාල් කොට ඇති හොරු සමූහයක් පෙරදැරි කොටගෙන එහි බලතුලනයක් ගැන කතා කිරීම විහිළුවක් පමණක් නොව එමඟින් රටේ “බුද්ධිමය” නියෝජනයේ තරම ගැන අවබෝධ කර ගත හැකිය.මෙහිදී ආචාර්ය දයාන්, සිදුකරන්නේ ජුලම්පිටියේ අමරේ සහ ඥාණසාර හිමි විසින් පොදු සමාජය තුළ සිදුකරන දේම වෙනස් හැඩයක් ලබා ගනිමින් සිදුකරන මෙහෙයුමක් පමණි.

එම සියල්ලේම දුර්ගන්ධය එක හා සමානය.