Hot!

ගෝපි සහ ජයකුමාරි; එරාජ් සහ ඥාණසාර හිමි


 | සුනන්ද දේශප්‍රිය

ගෝපි මළවුන් අතර ය. බාලේන්ද්‍ර  ජයකුමාරි  බූස්ස සිර කඳවුරෙහි ය. එරාජ් ප්‍රනාන්දු හම්බන්තොට නගාරාධිපති ලෙස ම වැජඹෙයි. බොදු බල සේනා ප්‍රධානී අත්තොටුවාවේ  ඥණසාර හිමි  සිය අසපුවේ ය.

ගෝපි ඇතුළු තිදෙනෙකු සන්නද්ධ ගැටුමක දී මියගිය බව ආන්ඩුව නිවේදනය කළේ  පසුගිය අප්‍රේල් 11දා ය. ඊට දින තුනකට පෙර ගෝපි ඇතුළු තිදෙනෙකු අත් අඩංඟුවට ගෙන ඇති බව යාපනය හමුදා අඥාපති මේජර් ජෙනරල් උදය පෙරේරා යාපනයේ පළ වන උදයන් පුවත් පතට ප්‍රකාශ කර තිබුණි. තමා උපුටා දක්වමින් එම පුවත් පතෙහි පළ කරන ලද එම පුවත වැරදියැයි මේ තාක් ජෙනරල් උදය පෙරේරා විසින් ප්‍රකාශ කර නැත.

අත් අඩංඟුවට ගැනෙන පුද්ගලයින් මරා දමා ඔවුන් මාංචු පිටින් ගංගාවන්ට පැන පිහින්නනට ගොස් දියේ ගිලුනේ යැයි හෝ පිස්තෝල රැගෙන වෙඩි තියන්නට උත්සාහ දැරෑ නිසා වෙඩි තියන්නට සිදු වී යැයි කියන මාරක කතා දැන්  ශ්‍රී ලංකාවේ අපරාධ සංස්කෘතියේ කොටසකි. අත් අඩංඟුවට පත් වන එවැනි පුද්ගලයින් පොලීසිය විසින් වෙඩි තබා මරා දමන බව අප දන්නා නමුත් එම මිනීමරුවන් කව්රුන්දැයි සොයන්නට කිසිවකු වෙහෙසෙන්නේ නැත. මන්ද යත් මරා දමන්නේ අපරාධකරුවන් යැයි ආන්ඩුව කියන කතාව  නිසා ය. නැත්නම් අපටත් මාංචු දමාගෙන ගංගාවන්ට පනින්නට විය හැකිය යන බිය නිසා ය. එනමුත් ඇත්ත එය නොවන බවත් මේ වනාහී මිනි මැරුම් බවත්  අපි දනිමු.

ජෙනරල් උදය පෙරේරා විසින් අත් අඩංගුවේ සිටින බවට ප්‍රකාශ කළ මෙම සැකකරුවන් තිදෙනාගේ මරණයන් ද දකුණේ අසන්නට ලැබෙන ඉහත කී අන්දමේ මාරක කතාවල දිගුවක් බව පැහැදිළි ය.

ගෝපිගේ කතාව දකුනේ දී ඇසෙන පතාල කතාවන්ට  වඩා භංයකර මාරක කතාවකි. මරා දැමෙන තුරුම නව එල්ටීටීඊ යේ නායකයා ලෙස නම් කර තිබුණේ ඔහු ය. ඔහු වි‍දෙස්ගත දෙමළ අන්තවාදී සංවිධාන සමඟ කටයුතු කරමින් නව එල්ටීටීඊ ය සෑදීමට කටයුතු කර තිබූ බව ද ආන්ඩුව කියා සිටියේ ය. එබැවින් ඔහුගේ මරණය ගැන සොයා බැලීම අවශ්‍ය නැතැයි සිතන්නට අපට බල කෙරේ. දහස් ගණනින් මරා දමා විනාශ කල එල්ටීටීඊ මැඩලීමට තවත් තිදෙනෙක් මැරුවාට මොකද ?

1988 දී බියකරු ආයුධ සන්නද්ධ අරගලයක් දියත් කර එහි විපාකය ලෙස  දස දහස් ගණනින් මරා දැමුණූ මහා පරාජයකට මුහුණ දීමෙන් පසු  වසර හතරක දී යළි සංවිධානය වී පාර්ලිමේන්තු අසුනක් පවා දිනා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සමත් විය. ඊට නායකත්වය දුන්නේ ද  ජවිපෙ ආයුධ අරගලයට නායකත්වය දුන් දෙවන පෙළ පිරිස් ය. එළෙස අවස්ථාව උදා වූයේ  1994 වන විට ජවිපෙට යළි දේශපාලනයට පැමිණිමට අවශ්‍ය පරිසරය සකස් වී තිබූ නිසා ය.  

දෙමළ තරුණ පිරිස්  අතර ද යුද්ධාවසානයට දැන් වසර පහක් ගත වී ඇති තැන එවැනි  ව්‍යායාමයන් ඇති විය නො හැක්කේ ද? එවැනි ව්‍යායමයන්  අනීවාර්‍යයෙන්ම ප්‍රචන්ඩ වනු ඇතැයි සිතිය යුත්තේ ඇයි? ප්‍රශ්ණය අද 1994 දී මෙන් ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් නොමැති වීමය.  එදා එනම් 1994 දී ආන්ඩුව විසින් බොරු ජවිපෙයක් සාදා එයට ප්‍රචන්ඩ ලේබලය අලවා යළි මර්දනයක් දියත් කිරීමට කටයුතු කෙරුණේ නැත.

ගෝපිගේ මරණය අප විමසා බැලීම වැදගත් වන්නේ එම සන්දර්භය යටතේ ය.  රැඩිකල් දෙමළ තරුණ ජනයාට දේශපාලනයට ඒමට වතාවරණයක් සකස් කරනු වෙනු‍වට අද සිදුවෙමින් ඇත්තේ යළි මර්දනයක මුව විටට ඔවුන් ගෙන ඒම ය.

ආන්ඩුවේ මාරක කතා නිවේදනයන්ට  අනුව ගෝපි ඇතුළු තිදෙනා මරා දැමුනේ දැවැන්ත යුද මෙහෙයුමකින් අනතුරුව ය. ඒ සඳහා සෙබළුන් 2,500ක් ද සන්නද්ධ රථ 18ක් ද යොදා ගැනුණි.  නමුත් ඒ වන විට ඔවුන් සිටියේ අත් අඩංඟුවේ ය.

මෙම මෙහෙයුමේ ද ම සෙලවරාජා කමලරාජා නම් සොල්දාදුවකු ද මරණයට පත් වූ බව වාර්තා විය. ආරක්ෂක අංශ උපුටා දක්වමින් පසුදා වාර්තාවක් පළ කළ දිවයින පුවත්පත ද කියා සිටියේ ''මෙම ගැටුමේදී බරපතල ලෙස තුවාල ලැබූ කිලිනොච්චිය කොකාවිල් යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ සෙල්වරාඡ් නමැති හමුදා බුද්ධි අංශ සාමාජිකයකු පදවිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව ඇත''. යනුවෙනි.

එමෙන්ම  මෙම මරණ සිදු වූ බවට වාර්තා වූ වව්නියාව නෙඩුන්කර්නි ප්‍රදේශයට යාබද පුලියන්කුළම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මොහමෙඩ් ජමාල් විසින් එදින රාත්‍රියේ ම සටහන් කර ඇත්තේ එම අවි ගැටුමේ දී  සෙල්වරාජා නම් සොල්දාදුවකු ද මිය ගිය බව යි‍.

නමුත් ආන්ඩුවේ  මාරක කතා නිවේදනයන් කීවේ වෙනත් කතාවකි. එනම් එකී මෙහෙයුම අවස්ථාවේ දී ම එම ප්‍රදේශයේ ම පැවැති පුහුණුවක දී  සෙල්වරාජා කමලරාජා නම් යුද හමුදා සොල්දුදුවකු මිය ගොස් තිබුණි. යුද මෙහෙයුම් පවත්වන අස්සේ පවත්වන යුද පුහුණූ ගැන මීට පෙර අප අසා නැත.

නීතියට අනුව ‍මෙවැනි ඝාතනයක මරණ පරීක්ෂනය පැවැත් විය යුත්තේ ‍එම ස්ථානයේ දී ප්‍රදේශයේ විනිශ්චයකාරවරයා විසිනි. නමුත් මෙම මළ සිරුරු වහාම අනුරාධපුර දිස්ත්‍රික්කයට ගෙන එන ලදුව මරණ පරීක්ෂන පවත්වන ලද්දේ අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා විසිනි. මෙම මළ සිරුරුවල තිබූ වෙඩි පහරවල් කොපමණ ද ඒම වෙඩි තබන ලද්දේ කොපමණ දුරක සිට ද යනාදි ප්‍රශ්නවලට පිළිතුරු දන්නා කෙනෙක් ද නැත.

එමෙන්ම පිළිගත් දේශීය සහ අන්තර් ජාතික නීති අනුව යුද තත්ත්වයක දී වුව මළ සිරුරු  අවසන් කටයුතු සඳහා ඥාතීන්ට බාර දිය යුතු ය. එනමුත් මෙම කිසිදු මළ සිරුරුක් ඥාතීන්ට බාර නොදුන්නේ නැත. ඒවා  ආරක්ෂ හමුදා බාරයට ගැනුණි. ඇයි? සඟවන්නට යමක් නැත්නම් මෙවැනි මාරක කතා ගොතන්නේ මන් ද?

ගෝපි ඇතුළු පිරිස අත් අඩංඟුවේ සිටින බවට ජෙනරල් උදය පෙරේරාගේ ප්‍රකාශය, සෙලවරාජා කමලරාජා අවි ගැටුමෙහි දී මිය ගියාය යන කරුණ වෙනස් කිරීම. මරණ පරීක්ෂණය අනුරාධපුරයට ගෙන ඒම සහ මළ සිරුරු ඥාතීන්ට බාර නොදීම යන කරුණු අපට කියන්නේ සැගවීමට යමක් ඇති බව නොවේ ද?

මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ බාලේන්ද්‍ර ජයකුමාරි අත් අඩංඟුවට ගැනුනේ ගෝපි  ඇයගේ නිව‍සේ සිටියේ ය යන චෝදනාව මත ය. නමුත් ඇය සමඟ අත් අඩංඟුවට ගත් 13 වියැති ඇයගේ දියණිය සිය අත් අකුරින් ම ලියා අධිකරණයට කිවේ සිය ගෙතුලට අයෙකු දුව ආ බවත් එවිට සිය මව සමඟ තමා එළියට දුව ආ බව ය‍. එම ලිපියෙන් පෙනී යන පරිදි ජයකුමාරි අත් අඩංඟුවට ගැනීම ද මෙම මාරක කතාවේ ම තවත් පරිච්ජේදයකි. පසුව එම මාරක කතාවේ ම තවත් පරිච්ජේදයක් ලෙස යුද ගැටුමක දී මරා දැමිමට නියමිත වූ ගෝපි පොලිස් භටයකුට වෙඩි තබා පළා ගියේ ය. පුදුමය නම් නිවෙස වටා රුකවල්ලා සිටි ආරක්ෂක හමුදාවන්ට එ‍සේ පැන ගිය පුද්ගලයා අල්ලා ගන්නට බැරි වීමයි.  වැරදීමකින් හෝ එසේ අල්ලා ගත්තේ නම් මාරක කතාව පළමු පරිච්ජේදයේ දී ම අවසන් වන්නට තිබුණි.

මේ මාරක කතා අතර වීර කතා ද අසන්නට ලැබේ. අත්තොටුවාවේ ඥාණසාර හිමි ප්‍රසිද්ධියේම වටරුක විජිත හිමිට මරණ තර්ජන කලේ  දාමරිකයකු මෙනි. නමුත් ඒ තර්ජන නිසා ඥනසාර හිමිට වූ ඇබැදිදියක් නැත. ඔහුගේ ලේකම්වරයා ජනාධිපති රාජපක්ෂයට ලියුමක් යවමින් කීවේ අපට කරදරයක් වුනොත් තමුන්නාන්සේ ඊට වග කිව යුතුයි කියා ය. විජිත හාමුදුරුවෝ තවමත් හැංගී හැංගී ජීවත් වෙයි.

පසුගිය දා හම්බන්තොට ගුවන් තොටට සහ වරායට නිරීක්ෂන චාරිකාවක යෙදුණූ එජාප මංත්‍රීන්ට එරෙහිව යොදවන ලද ප්‍රචන්ඩත්වය  තවත් එවැනි වීර කාව්‍යකි. මන්ද යත් ජනාධිපති රාජපක්ෂට  අනුව මේ වනාහී කුපිත වූ ගම්වැසියන්ගේ යුක්ති සහගත විරෝධයක් නිසා ය. මේ වීර කාව්‍යයේ ප්‍රධාන චරිතයට හදිසි අවස්ථාවක දී ඕනෑම අයෙකුගේ ඉණ අතගා පිස්තෝලයක් සොයා ගැත හැකි ය. ඉන් අහසට වෙඩි තබා බිය ගැන්වීමටත් සෙල්ලම් පිස්තෝලයක් බවට පෙරළා කොලොප්පම් කිරීමටත් හැකි ය.  තවත් විටෙක එය කුරුල්ලන්ට වෙඩි තබන පිස්තොලයකි.

ඒ මහතැන්ට කිසිදු කරදරයක් නැත. වීරයකු නිසා ය.

අන්තිම ප්‍රශ්ණය: මාරක කතා ලියැවෙන්නේ දෙමළුන්ට විරුද්ධව විතර ද?

27.04.2014