Hot!

ජිනීවා සටන ඉවරද?


| මව්බිම පුවත්පතේ කතුවැකිය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 25 වැනි සැසිවාරයට ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් පහක් විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වීම නිසා මෙරට මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයට බලය හිමි විය.

පසුගිය 27 වැනිදා සම්මත වූ යෝජනාවට අනුව මහකොමසාරිස් කාර්යාලය මානව හිමිකම් කවුන්සිලයේ 27 වැනි සැසිවාරයට ඉදිරිපත් කළ යුත්තේ වාචික වාර්තාවකි. මේ සම්බන්ධව කවුන්සිලයේ 28 වැනි සැසිවාරයට සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.


ඊනියා දේශප්‍රේමීන් කරන්නේ රට අනතුරට පත්වී ඇතිනම් ඉන් රට බේරා ගන්නවා වෙනුවට රට තවත් අනතුරේ හෙළීමය. ජාත්‍යන්තර ප්‍රජාවට තවදුරටත් ‍දොස් පවරමින් ඔවුන්ට යටත් නොවන බව උස් හඬ නඟමින් කල් මර මරා සිටීමෙන් සිදුවන්නේ ජිනීවා උගුලට තව තවත් බෙල්ල සිරවීම පමණි. මේ උගුලෙන් ගැලවීමට නම් උපායශීලී වෙමින් විචක්‍ෂණව හා බුද්ධිමත්ව රාජ්‍ය තාන්ත්‍රික ලෙස කටයුතු කළ යුතුය.
ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල් ලංකාව වැනි රටවල මානව හිමිකම් ගැන කතා කිරීම "හක්කේ බුදු රැස් - බොක්කේ දඩ මස්" කතාව සිහිගන්වන්නකි. මානව අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කළ නින්දිත දේශපාලනයකට උරුමකම් කියන ඔවුන් මෙරට මානව හිමිකම් ගැන යෝජනා ඉදිරිපත් කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රවලට අනුකූලව මිස යුක්ති ධර්මයට හිස නමා නොවේ. යථාර්ථය එය වුවත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව නොසලකා හැර සිටීමට ලංකාවට නොහැකිය. ජිනීවා යෝජනාව අතිශයෝක්තියෙන් හුවා දැක්වීම හෝ ජිනීවා භීතිකාවක් මවා පෙන්වීම හෝ පසෙක දමා ඊට සබුද්ධිකව මුහුණදීමට ලංකාව දැන්වත් සූදානම් විය යුතුය.

මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වූ ජාත්‍යන්තර පරීක්‍ෂණය ප්‍රතික්‍ෂේප කළද එහි තිබූ සෙසු කාරණා එලෙස ඉවත දැමිය හැකි තත්ත්වයක් නැත. සාධාරණ චෝදනා ගණනාවක් එහි අඩංගු වී තිබිණි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් පත්කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් වාර්තාවේ (LLRC) නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමත්, ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීම අනවශ්‍ය ලෙස ප්‍රමාද වීමත් නිසා ජාත්‍යන්තර පරීක්‍ෂණයකට මුහුණදීමෙන් වැළකී සිටීමට තිබූ ඉඩකඩ ඇහිරී ගියේය. සන්ධාන ආණ්ඩුවේම කොටසක් මේ අවදානමෙන් ගැලවීම සඳහා ඉදිරිපත් කළ යෝජනා නොසලකා හැරිණි.

ඇතැම් රටවල ගැටුම් පැවැති අවස්ථාවල මෙවැනි ජාත්‍යන්තර පරීක්‍ෂණ පැවැත්වුණද ගැටුම් අවසන් වූ සාමකාමී තත්ත්වයන්හිදී ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට යෝජනා වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලැකේ. මේ තත්ත්වය නරක පූර්වාදර්ශයක් ලෙස පැහැදිලිව තේරුම් ගැනීමත්, ඇමෙරිකාව එරටට කරන කෙනෙහිලිකම් නිසාත් මෙවර යෝජනාවට සහාය නොදී මධ්‍යස්ථව සිටීමට ඉන්දියාව තීරණය කළ බව පෙනෙන්නට තිබේ.

මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාව පැහැදිලි කර තිබුණේ මේ ජාත්‍යන්තර පරීක්‍ෂණය ලංකාවේ දැනට ක්‍රියාත්මක වන සංහිඳියා ක්‍රියාවලියට බාධාවක් බවයි. ඉන්දියාවේ මේ ප්‍රවේශය ලංකාව සුබදායක ලෙස යොදාගත යුතුය. 2012 හා 2013 වසරවල ලංකාව සම්බන්ධ යෝජනාවලට පක්‍ෂ වූ ඉන්දියාව මෙවර මධ්‍යස්ථ වීම සුවිශේෂී කාරණයකි. එරට සහාය පූර්ණ වශයෙන් ලබා ගැනීමට නම් බලය බෙදාහැරීම සම්බන්ධව යුද සමයේදී ඉන්දියාවට දුන් පොරොන්දු ඉටු කිරීම වෙනුවෙන් පියවර ගත යුතුය. ඉදිරි ඉන්දීය මැතිවරණයේදී කවුරුන් එරට ආණ්ඩු බලය ලබාගත්තද තමිල්නාඩු සාධකය ඒ කිසිවකුට මඟහැර යා නොහැකි වීම ඊට හේතුවය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව වෙනුවෙන් පෙනී සිටි දකුණු අප්‍රිකාවද දශක ගණනාවක ගැටුමකින් පසු සංහිඳියාවක් ඇති කරගත් රටකි. ගැටුම් නිරාකරණය වීමෙන් පසු දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරයට පත් නෙල්සන් මැන්ඩෙලා විසින් පිහිටු වූ සත්‍ය හා සංහිඳියා කොමිසම පිළිබඳ ලංකාවේ අවධානය යොමුවී ඇති බවත්, දකුණු අප්‍රිකා රජය එවැන්නක් සඳහා පූර්ණ සහාය ලබාදීමටත් එකඟතාව පළ කර ඇති බව ප්‍රකාශ වී ඇත. එවැනි පියවරක් ජාත්‍යන්තරයටද පිළිගත හැකි පිළිතුරක් වනු නිසැකය.

ලංකාව බෙදා වෙන් කිරීමට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ඇතැම් කොටස් පුන පුනා පැවැසුවද එසේ රට දෙකඩ කිරීමෙන් කුමන්ත්‍රණකරුවන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි චෝදනා කරන්නන්වත් දන්නා බවක් පෙනෙන්නට නැත. මේ ඊනියා දේශප්‍රේමීන් කරන්නේ රට අනතුරට පත්වී ඇතිනම් ඉන් රට බේරා ගන්නවා වෙනුවට රට තවත් අනතුරේ හෙළීමය. ජාත්‍යන්තර ප්‍රජාවට තවදුරටත් ‍ෙදාස් පවරමින් ඔවුන්ට යටත් නොවන බව උස් හඬ නඟමින් කල් මර මරා සිටීමෙන් සිදුවන්නේ ජිනීවා උගුලට තව තවත් බෙල්ල සිරවීම පමණි. මේ උගුලෙන් ගැලවීමට නම් උපායශීලී වෙමින් විචක්‍ෂණව හා බුද්ධිමත්ව රාජ්‍ය තාන්ත්‍රික ලෙස කටයුතු කළ යුතුය.