Hot!

ජිනීවා යෝජනාවලීය සම්මතයි: රට කොයිබටද?


| නිලන්ත ඉලංගමුව 


එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 25 වන මානව හිමිකම් කවුන්සලය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ තෙවැනි යෝජනාවලීය මේ වන විට ආකර්ශනීය ලෙස වැඩි ඡන්ද 11 කින් සම්මත වී හමාරය. ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටියාය. එය ඉන්දියාව දේශපාලනික වශයෙන් ගත් තීරණයක් සහ එමඟින් අදාළ යෝජනාවලීය සම්මත කරගැනීමට කිසිඳු බාධාවක් නොවන බව මීට දින කිහිපයකට පෙර සිටම ඉන්දියාව සතු වූ මුලික නිගමනය විය.
යෝජනාවලීය සම්මත වීම පුදුමයක් නොව පසුගිය දින කිහිපය පුරාම පැහැදිලිව දක්නට ලැබුණු කාරණයකි. මෙම පරාජය ගැන ජිනීවා නුවර නිත්‍ය නියෝජිතයාට හෝ වෙනත් කිසිවෙකුට දෝෂාරෝපණය කිරීමෙන් පළක් වන්නේ නැත. සැබවින්ම ජිනීවා නුවර නිත්‍ය නියෝජිතයාවන රවිනාත ආරියසිංහ ඔහුගේ උපරිම ශක්තියෙන් ඉතා අවංකව කටයුතු කළ බව රහසක් නොවේ. ඔහු පැසසිය යුතු පුද්ගලයෙකි. නමුත් වෙළඳගැට සහ තම පෞද්ගලික අපේක්ෂාවෙන් ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කාබාසිනියා කරමින් සිටින එම අමාත්‍යංශයේ නිරීක්ෂක මන්ත්‍රී හෝ අලුතෙන් පත්කරනු ලැබූ ලේකම් මෙන්ම වෙනත් අයවලුන් මෙහිදී කිසිඳු යහපතක් රටට සිදුකල උන් නොවේ. ඔවුහු සිදුකරනු ලැබුවේ රටේ නායකයා ගොනාට ඇන්දවීම පමණි. එය රටේ නායකයාද ආපෙක්ෂා කළ කටයුත්තක් බැවින් ඒ ගැන කතා කළ යුතු නොවේ. 

සැබවින්ම පරාජය සඳහා හේතූ විමසීම වැදගත් නොවන්නේ මෙම පරාජයේ නිර්මාතෘවරුන් වන්නේ රාජපක්ෂ ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ ආරක්ෂක ලේකම් නන්දසේන රාජපක්ෂ වන හෙයිනි. ඔවුන්ට අවශ්‍ය වූයේ එයයි. රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කරනු ලැබූ ඔවුන් තව දුරටත් තම ඇමෙරිකානු විස්වාශය තබා තම පෞද්ගලික ජීවිතය සකස් කර ගනු ඇත. 

අද යෝජනාවලීය උදෙසා ඡන්දය විමසීම සිදුකර අවස්ථාවේදී සිදු වූයේ කුමක්ද? එසේම යෝජනාවලීය සම්මත කරගැනීමෙන් පසු සිදුවිය හැක්කේ කුමක්ද? 

යෝජනාවලීය සම්මත කරගැනීම සඳහා වූ විවාදය සැබවින්ම ක්‍රමෝපායිකය. එහිදී යෝජනාවට පක්ෂව සහ යෝජනාවලීයට ඡන්දය දීමෙන් වැළකී සිටින රටවල් කිහිපයකට අදහස් දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙනු ලැබීය. පකිස්ථානය තම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගමිනින් ලංකාවේ වත්මන් ආණ්ඩුවට පක්ෂව කතා කළ අතර කෙසේ හෝ යෝජනාවලීය සඳහා ඡන්දය විමසීම කල් දැමීමට හැකි උපරිම උප්පරවැට්ටි දැමීය. පකිස්ථානය අදාළ යෝජනාවලීය පක්ෂග්‍රාහී  යැයිද එය දේශපාලන වුවමනා එපාකම් මත නිර්මාණය කරනු ලැබූ එකක් යැයිද හඳුන්වනු ලැබීය. නමුත් පකිස්ථානය ඉදිරියට ඇද දැමූ කාරණය එය පමණක් නොව. එනම් අදාළ යෝජනාවලීය සම්මත කර ගත්තද එහි සඳහන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට නිශ්චිත වශයෙන් වෙන්කළ අරමුදලක් නොමැති බව ප්‍රකාශ කළේය. මුළු සභාවම එම කාරණයේදී තැති ගත්තේය. එය චීනයට මෙන්ම රුසියාවට තම සුපුරුදු විරෝධය ප්‍රකාශ කිරීම සඳහා වැදගත් කාරණයක්ද විය. එම නිසා අදාළ යෝජනාවලියේ සඳහන් 10 වන පරිච්ඡේදය ඉවත් කළ යුතු බවත් මෙම යෝජනාවලීය සඳහා ඡන්දය විමසීම කළ නොහැකි බවත් සඳහන් කරනු ලැබීය. 

පකිස්ථානය අදාළ යෝජ්නාවලීය දෙබිඩි පිළිවතේ නිර්මාණයක් බව කී නමුත් අද දින උදෑසන ඊශ්‍රායලය සම්බන්ධයෙන් කතාකිරීමේදී වෙනස් ස්ථාවරයක් ගත්තේය. ඒ ඊශ්‍රායලයට එරෙහිව කතාකරමින්, පලස්තීන ජනතාවට එරෙහිව සිදුවන විධහිංසා සහ අනෙකුත් සියලුම දෑ ගැන තම කිඹුල් කඳුළු හලමින් දේශපාලන සහ ආගමික වුවමනා ඉටුකරගත්තේය. ලංකාව සම්බන්ධයෙන් තම දේශපාලන ව්‍යාපෘතිය වෙනම ආකාරයකින් ඉදිරිපත් කළේය. 

කෙසේ වෙතත්, ඇමෙරිකාව සහ මොන්ටෙනීග්‍රෝව ඊට දැඩි විරෝධය ප්‍රකාශ කරමින්, ස්ථීර අරමුදල් නොමැතිව අදාළ යෝජනාව සම්මත කරගැනීම සම්ප්‍රදාය බව ප්‍රකාශ කළේය. ඒ සඳහා කෝට් ඩී  අයිවරි සහ කොළොම්බියාව උදාහාර්ණ ලෙස ඉදිරිපත් කරනු ලැබීය. ඉන් පසු අදාළ යෝජනාවලීයට ඡන්දය විමසීම කෙසේ හෝ අවහිර කිරීම සඳහා චීනය තම මැදිහත් වීම සිදු කරනු ලැබීය. නමුත් අවසානයේදී සිදු වූයේ අදාළ යෝජනාවලීය සඳහා ඡන්දය  අවස්ථා තුනකදී විමසීමට සභාපතිවරයා තම නිල බලය මෙහෙයවීමය. එහිදී දෙවරක් අදාළ යෝජනාවලීයේ අඩංගු 10 වන වගන්තිය ගැන ඡන්දය විමසීම සිදු කළ අතර එහිදීද එම වගන්තිය අඩංගු කළ යුතු බව බහුතරයගේ කැමැත්තෙන් සම්මත විය. ඉන් පසු අදාළ සම්පූර්ණ යෝජනාවලීයට ඡන්දය විමසීම සිදු කරනු ලැබීය. 

එහිදී අදාළ යෝජ්නාවලීයට පක්ෂව ඡන්ද 23 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 12 ක් පමණි. එසේම ඉන්දියාව ජපානය ඇතුළු රටවල් අදාළ යෝජනාවලීයට ඡන්දය දීමෙන් වැළකී සිටි අතර එම වැලකී සිටි පිරිස 12 ක් විය. මෙම ප්‍රතිඵලය අනුව ආණ්ඩුවට මීට පෙරදී මෙන් නව වාදයක් ගොඩ නැගිය හැකිය එනම් , අදාළ විරුද්ධව ඡන්දය ප්‍රකාශකළ සහා ඡන්දය දීමෙන් වැලකී සිටි සංඛ්‍යාව එකතුකොට එය 24 ක් ලෙස පෙන්වා එම යෝජනාවලීයට සැබෑ අකමැත්තක්  ඇතැයි එක්සත් ජාතීන්ගේ ක්‍රියාවලීය ගැන කිසිවක් නොදන්නා අයවලුන් ගොනාට ඇන්ද විය හැකිය. විශේෂයෙන් එය මීළඟ පැය කිහිපයේදී තම මාධ්‍ය නිරුවත් ලෙස භාවිතාකරමින් සිදු කරනු ඇත. නමුත් යථාර්තය ශ්‍රී ලංකා රාජ්‍ය රාජපක්ෂ විසින් ඇද දමා ඇත්තේ හොරුන්ට පල්ලම් බැසිය හැකි, තිර පැවැත්මට අතිශය හානිකර වූ තත්ත්වයකටය. 

අදාළ යෝජනාවලීයෙන්  පසු සිදුවිය හැක්කේ කුමක්ද? ආණ්ඩුවට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ඇතිව පසුගිය වසර කිහිපය තුළදී  සිදු වූ අපරාධ ගැන පරීක්ෂණ පැවැත්විය යුතු අතර එහිදී හානියට පත් අයවලුන්ට යුක්තිය පසිඳලිය යුතු වේ. ආණ්ඩුව තව දුරටත් සාමන්‍ය ජනතාවට යුක්තිය ඉටුකරන්නේ යැයි කියමින් මෙගා සංවර්ධනයේ මුවාවෙන් හොරා කෑම සීමා වීමේ ඉඩකඩ මින් ඇති වේ. එසේම ආණ්ඩුව සිදුකරන කටයුතු තවදුරටත් හුදෙකලාවේ සිදු කිරීමට නොහැකිය. වඩාත් තීරණාත්මක කාරණය වන්නේ, රාජපක්ෂ රටතුළ හිර වීමයි. 

ආර්ථික සම්බාධක හෝ වෙනත් සම්බාධාක පිලිබඳ තීරණය කිරීමට පෙර, රාටේ නායකයා සහ ඔහුගේ ආරක්ෂක ලේකම් ගැන මෙහිදී දැඩි අවදානය ඉදිරියේදී යොමු වනු ඇත. ආර්ථික සම්බාධක දමා රටේ සාමානය ජනතාව ව්‍යාකූල කිරීමේ උමතුවක් ජාත්‍යන්තර ප්‍රජාවට හෝ පිළිගත් ක්‍රමවේදය තුළ නොමැත. නමුත් රාජපක්ෂ විසින් තම පැවැත්ම සඳහා බදු වැඩි කරමින් සහ ඔහුගේ පුත්‍රයින්ට රේසින් කාර් ගෙන ඒමට, ඔහුගේ ඥාතීන්ගේ මඟුල් වලට රෝස් මල් සහ බල්ලන් ගෙන ඒමට අවැසි නිසා රට තුළ ඇති ආර්ථික අවුල වැඩිකරනු ඇත. සත්‍ය කාරණය නම්, රාජපක්ෂ තම පෞද්ගලික වුවමනා එපාකම් ඉටුකර ගැනීම සඳහා රටේ ධනය කාබාසිනියා කිරීම සැබෑ ආර්ථික සම්භාධකය වේ. 

සිදු විය හැකි මූලික තත්වය නම්, සුඩානයේ ඇති වූ මට්ටමේ තත්වයක් රාජපක්ෂ තවදුරටත් තම මෝහ චන්ඩිකම පෙන්වීමෙන් ඇතිකළ හැකිය. සුඩානයේ ඩාෆුර් ප්‍රදේශයේ ජන සංහාරයක් සිදුකිරීමේ වරදට එහි ජනාධිපති ඕමාර් අල් බසීර් වරදකරු වී ඇත. ඔහුට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් තිබේ. මේ නිසා ඔහුට අදාළ ජාත්‍යන්තර වරෙන්තුව නිකුත් කළ ජාත්‍යන්තර අපරාධ අධිකරණය බලගැන්වීමට මුලික වූ රෝමන් ප්‍රඥප්තිය අත්සන් කළ කිසිඳු රටකට යෑමට නොහැකිය. එසේ ගියහොත් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිය. එය වරක් නයිජීරියාවේදී සිදු වීමට ගිය අතර අල් බසීර් විගස නයිජීරියාවෙන් පලාගියේ එරටආණ්ඩුව තත්වයේ බරපතලකම තේරුම් කරදීමෙන් පසුය. 

මෙම තෙවැනි යෝජනාවලීයෙන් ලංකාවේ රාජපක්ෂ කේන්ද්‍ර කරගනිමින් උගන්වනු ලබන පාඩම එයයි. රාජපක්ෂට තමාට එරෙහි යෝජනාවලීන් සම්මත වීමෙන් පසු ඇතිවන තත්වයන් මඟ හරවා ගැනීම සඳහා දේශීය දේශපාලන භූමිකාව හමුවේ පාවාදීමට හැකි අයෙක් නැත. මන්ද අදාළ චෝදනා වලට ඍජුව රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධ බැවිනි. එසේම ඔහු ඒවායෙන් දේශපාලනික වාසි අත්කරගෙන ඇත. 

කෙසේ වෙතත් ආණ්ඩුව අදාල ස්වාධීන ජාත්‍යන්තර පරීක්‍ෂණ අවසානයේ වරදකරු ලෙස ඔප්පු වුවද , ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඊට අදාලව තීරණ ගත නොහැකිය. මන්ද ආණ්ඩුව එහි ප්‍රඥප්ති වලට අත්සන් කිරීම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කොට තිබීම නිසාය. එය රාජපක්ෂ කළ කටයුත්තක් නොව රනිල් විසින් එකල පැවති තත්වය හමුවේ සිදුකළ තීරණයකි. විශේෂයෙන් බටලන්ද වැනි සිදුවීම් හමුවේ ඔහුගේ ඇඟ බේරා ගැනීමට කළ කටයුත්තකි.  

එබැවින් රාජපක්ෂ තවමත් ඕමාර් අල් බසීර්  තරම් දැඩි අවදානමක නැත. නමුත් ලංකාව සම්බන්ධයෙන් ඉදිරියේදී සිදු කරන ජාත්‍යන්තර පරීක්ෂණයෙන් පසු තත්වය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අවදානයට යොමු කළ හැකිය. එම පියවර රාජපක්ෂගේ ඇතුළු රට කාබසිනියා කළ අයවලුන්ගේ ප්‍රෝඩාකාරී දේශප්‍රේමී වෙස්මුහුණු ගැලවෙන අවස්ථාව වේ. ආරක්ෂක මණ්ඩලය විසින් නිර්දේශ කළහොත් එය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත්වනු ඇත. එවිට සුඩානයේ අල්බසීර් රට තුළට වී නටන නාඩකම රාජපක්ෂටද නැටීමට හැකිවනු ඇත. ඔහු ඊටම සරිලන පරිදි 18 වන ව්‍යවස්ථාව සම්මත කොට ගත් අතර ඉදිරියේදී පැවැත්වෙන සියළුම මැතිවරණ කුමන හෝ ක්‍රමයෙන් ජය ගැනීම සඳහා තම මඩියද තර කරගෙන ඇත. රටේ සමස්ථ ජනතාව ගෝලීය වශයෙන් ස්ථීර ලෙස පර දේශයක් වීමට පෙර තම මොළය භාවිතා කොට තීරණය ගැනීමේ කාලය පැමිණ තිබේ. හොරුන් සහ බොරුකාරයින් ආරක්ෂාකිරීමෙන් රටත් ජාතියත් ලබාගන්නේ දීර්ඝ කාලීන හානී පමණි. එය රටේ ඉදිකොට ඇති මංමාවත් හෝ තෙත්භූමී දැක වශීවන අහිංසක මොළ ගෙඩි දැඩිව අවදානය යොමුකළ යුතු කාරණය වේ.