Hot!

යුක්‍රේනයේ අර්බුදය හා සෝවියට් සංඟමය විසුරුවා හැරීමේ ඓතිහාසික ප්‍රතිවිපාකයෝ

| පීටර් ෂ්වාස් හා ඩේවිඩ් නෝර්ත්

වොෂින්ටනයට හා නේටෝවට මුලුමනින්ම යටත් දක්ෂිනාංශික ජාතිකවාදී තන්ත්‍රයක් අටවමින්, රුසියාව සමග ගැටුමක් අවුලුවාගැනීම පිනිස එක්සත් ජනපදය හා ජර්මනිය, යුක්‍රේනයේ අර්බුදය උසිගන්වා ඇති බව දිනක් දිනක් පාසා පැහැදිලි වෙමින් තිබේ.

ඔබාමා පාලනය 06දා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සම්මුතිවාදී කථා පසෙක ලා රුසියාවට එරෙහිව ආරම්භක වටයේ සම්බාධක නිවේදනය කරමින්, පසුව යුරෝපීය සංඟමයට තමන්ගේම සම්බාධක නිවේදනය කිරීමට ඉඩ හැරියේය. මේ අතර ඇමරිකානු ප්‍රහාරක යානා, බෝල්ටික් ප්‍රදේශයට යවා ඇති අතර යුද නැව් කලු මුහුදට ඇතුලුකර තිබේ. 

යුක්‍රේනයෙන් වෙන්ව රුසියානු සංඟමයට එක්වීම පිනිස ක්‍රිමියානු පාර්ලිමේන්තුව ගත් ඒකමතික තීන්දුවට හා වෙන්වීම පිලිබඳ ජනමත විචාරනයක් මාර්තු 16දා පැවැත්වෙන බව නිවේදනය කිරීමට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ඔබාමා, එවන් ඡන්දයක් පැවැත්වීම යුක්‍රේනියානු ව්‍යවස්ථාවට හා ජාත්‍යන්තර නීතියට පටහැනි බව ප්‍රකාශ කලේය. 

මෙම අර්බුදය පුරාවටම හා හැමවිටම පැවති ආකාරයට කාරනය, එජ ආන්ඩුවේ ප්‍රකාශන කුහකත්වයෙන් පිරී තිබෙන බවයි. සෝවියට සංඟමය විසුරුවා හැරීමෙන් පසුව 1992දී එක්සත් ජනපදය, යුගෝස්ලාවියාව බිඳ දැමීමට තල්ලුව ලබා දුන්නේය. කොසෝවෝ ප්‍රාන්තයේ වෙන්වීම ආරක්ෂා කිරීම පිනිස 1999දී එජ සර්බියාවට එරෙහිව යුද්ධාවතීර්න විය. එක් හෝ තවත් ප්‍රශ්නයකදී වොෂින්ටනයේ ආස්ථානය, කවරාකාරයෙන් හෝ ජාත්‍යන්තර නීතියේ මූලධර්මයන්ට අනුව නොව තීරනය වූයේ එජ භූ දේශපාලන හා ආර්ථික ආසක්තයන් පිලිබඳ ගනන් බැලීම් මතය. 

දැන් ප්‍රශ්නය වන්නේ, මෙම ගැටුමේදී රුසියාව අභිබවා ජයග්‍රහනයක් ලබාගැනීම සඳහා එජ, කොතෙක් දුර යාමට සූදානම් ද යන්නයි. එක්සත් ජාතීන්ගේ එජ තානාපති සමන්තා පවර් රූපවාහිනී සාකච්ඡාවකදී, කියෙව්හි එජ පිටුබලය ලබන පාලන තන්ත්‍රය පිලිගත යුතුය යන වොෂින්ටනයේ අවසාන නිවේදන පුනරුච්ඡාරනය කරමින්, යුක්‍රේනයේ වර්ධනයන් “දකුනට ද විහිද යා හැකි” බවට අනතුරු ඇඟවූවාය. 

යුද්ධයට නැඹුරු එජ අදූරදර්ශීකම කෙතරම් ද යත්, අධිරාජ්‍යවාදී බල දේශපාලනයේ අතිශයින්ම නිර්දය නියෝජිතයෙක් වන හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් හෙන්රි කීසිංජර් පවා මෙයින් තිගැස්මට පත් විය. 

“යුක්‍රේනය පිලිබඳ දේශපාලන සාකච්ඡාව ගැටුමට බරය. එහෙත් අප යමින් සිටින්නේ කොතැනකට ද යන්න අප දන්නවා ද?” යනුවෙන් ඔහු 06දා වොෂින්ටන් පෝස්ට් පත්‍රයේ තීරුවක ලියා තිබුනි. 

වොෂින්ටනයේ මූලෝපායික සැලැස්ම ඕනෑවටත් වඩා පැහැදිලිය. එජ යුක්‍රේනයේ ෆැසිස්ට් “පෙලපාලිකරුවන්” ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ තෝරා පත්කරගත් ආන්ඩුව පෙරලා දැමීම සඳහා උපයෝගී කරගත් අතර බාධාවකින් තොරවම ඔවුහු රට පුරා පාලන බලය අල්ලා ගත්හ. ඔබාමා පාලනාධිකාරය විශ්වාස කලේ, මූන බේරාගැනීම පිනිස පුටින් අවම නාමික ප්‍රතිරෝධයක් පමනක් දක්වනු ඇති බවයි. 

කෙසේ වෙතත් වොෂින්ටනය රුසියාව සමග සම්මුතියක් බලාපොරොත්තු නොවේ. එජ අවශ්‍යව ඇත්තේ, රුසියාව නින්දිත ආකාරයේ පසුබෑමකට ඇද දැමීම හා එම ක්‍රියාවලිය තුල න්‍යෂ්ටික යුද්ධයක් හටගැනීමේ අවදානම පවා ගැනීමටය. රුසියාව කැබලි කිරීම අරමුනු කරගත් මෙහෙයුම උත්සන්න කිරීමට, එජ හා නේටෝවේ මිලිටරි බලය සඳහා පිනුම් පිත්තක් ලෙස යොදාගත හැකි සතුරු යුක්‍රේනය, මොස්කෝව විසින් පිලිගැනීමට නොඅඩු කිසිවක් එක්සත් ජනපදය ඉල්ලා සිටින්නේ නැත. 

එහිම කොටසක් ලෙස වොෂින්ටනය ගෙන ඇති ආස්ථානය පෙන්නුම් කරන්නේ, මෑත සිදුවීම් කෙරෙහි, විශේෂයෙන්ම සිරියාවේ අසාද් තන්ත්‍රයට රුසියාව දක්වන සහාය හා ජාතික ආරක්ෂක ඒජන්සියේ තොරතුරු හෙලිකල එඩ්වඩ් ස්නෝඩන් හට රැකවරනය දීමට පුටින් ගත් තීරනය කෙරෙහි වන කෝපයයි. අවස්ථා දෙකම දැකගෙන ඇත්තේ, එජ ගෝලීය ආධිපත්‍යය කොන්දේසි විරහිතව පිලිගැනීම රුසියාව විසින් ප්‍රතික්ෂේප කිරීම පිලිබඳ ප්‍රකාශනයක් ලෙසය. මොස්කෝව හා තමන් අතර බල සම්බන්ධතාවයේ තියුනු හා ස්ථාවර වෙනසක් වොෂින්ටනය අපේක්ෂා කරයි. 

එජ හා යුරෝපීය අධිරාජ්‍යවාද‍යේ ඒකාබද්ධ ආර්ථික හා මිලිටරි ශක්තිය හමුවේ පසුබැසීමට පුටින් පලකරන කැමැත්ත පිලිබඳව ඔබාමා පාලනාධිකාරය ඔට්ටු ඇල්ලුවා සේය. එහෙත් කරුනු කාරනා පෙන්නුම් කරන්නේ, අර්බුදය විසින් විනාශකාරී ප්‍රතිවිපාක ගෙනදීමට සමත්, පැතිරයා හැකි මිලිටරි ගැටුමක් සඳහා එමගින් කොන්දේසි නිර්මානය කෙරී ඇති බවයි. මෙම සිදුවීමේදී න්‍යෂ්ටික යුද්ධයක් වලකාගනු ලැබුවේ වුවත්, පසුගිය සතියේ සිදුවීම් පෙන්නුම් කරන්නේ, න්‍යෂ්ටික අවි පවා යොදාගන්නා නව ලෝක යුද්ධයක් හුදු අන්තරායක් නොවන බවයි. එය අනිවාර්ය වන්නේ, ධනවාදය හා අධිරාජ්‍යවාදයට අවසන් තිත තැබීම සඳහා කම්කරු පන්තිය මැදිහත් නොවනතාක් දුරට පමනි. 

මෙය හා රුසියාව මුහුනපා ඇති තත්වය, සෝවියට් සංඟමය විසුරුවා හැරීමේ ව්‍යසනකාරී ප්‍රතිවිපාක මුලුමනින්ම සනාථ කරයි. 1991 දෙසැම්බරයේ රුසියානු ජනාධිපති බෝරිස් යෙල්ට්සින් ද ලියෝනිඩ් ක්‍රව්චුක් හා ස්ටැනිස්ලාව් ෂුශ්කෙවිච් යන ඔහුගේ යුක්රේනියානු හා බෙලොරසියන් අනුචරයින් ද විසින් සෝවියට් සංඟමය විසුරුවා හැරී බවට කල නිවේදනය, කම්කරු රාජ්‍යයක් නිර්මානය කල හා විප්ලවය සමාජවාදී ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් මත පාදක වන බව සහතික කල, 1917 ඔක්තෝබර් විප්ලවය, ස්ටැලින්වාදී නිලධරය විසින් පාවාදුන් දශක ගනනාවක ද්‍රෝහී ක්‍රියාකලාපයේ කුලුගැන්වීම විය. 

රුසියානු “ව්‍යාප්තවාදය” පිලිබඳව බටහිර මාධ්‍යයන් ගෙන යන යුදවාදී උද්ඝෝෂනය අමූලික අභූතයකි. 

සෝවියට් සංඟමය බිඳ දැමීමේ තැන් පටන්, පැරනි සෝවියට් සංඟමයේ විශාල කොටසක් හා එහි අනුචර සමස්ත නැඟෙනහිර කඳවුරම, එජ හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ කක්ෂය තුලට ඇද වැටී ඇත. රුසියාවේ ඉරනම විසින් සනාථ කර ඇත්තේ, සෝවියට් සංඟමය විසුරුවා හැරීම, පැරනි සෝවියට් රුසියාව, බටහිර අධිරාජ්‍යවාදයේ දුගී හා අත්තනෝමතික අර්ධ යටත් විජිතයක් බවට පරිවර්තනය කරනු ඇති බවට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් කරනු ලැබූ අනතුරු ඇඟවීමයි. 

සෝවියට් සංඟමය බිඳ දැමීමට පෙරාතුව, ස්ටැලින්වාදී විදෙස් පිලිවෙතේ කඩ ඇනය බවට පත්ව තිබුනේ, අධිරාජ්‍යවාදය සමග “සාමකාමී සහජීවනයයි”. සෝවියට් සංඟමය සමග අධිරාජ්‍යවාදයේ සහජීවනය සඳහා හිලව්වට ක්‍රෙම්ලිනය, ධනවාදයට එරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල මැඬීම පිනිස තමන් සතු සියලු ආනුභාවය යොදවනු ලැබින. 

ඔක්තෝබර් විප්ලවයේ උරුමය පිලිබඳව ඉතිරිව තිබුනු සියල්ල මුලුමනින්ම බැහැර කිරීමෙන් පසුව සිය පාලනයේ අවසන් වසරවල ගොර්බචෙව් යටතේ ක්‍රෙම්ලින් නිලධරය කටයුතු කලේ, අධිරාජ්‍යවාදය මාක්ස්වාදයේ පාර්ශවයක් සේ සලකාගෙනය. සෝවියට් සංඟමයේ සම්පත් කොල්ලකෑමෙන් රුසියානු ව්‍යාපාරිකයින් තව තවත් තරවෙද්දී, සෝවියට් සංඟමය බිඳ විසිරවූ නිලධරය, එක්සත් ජනපදය හා එහි යුරෝපීය නේටෝ සහචරයින්, ධනේශ්වර රුසියාවට සාමයෙන් පැවතීමට ඉඩ දෙනු ඇතැයි යන මිත්‍යාව තොරොම්බල් කලහ. 

එහෙත් අධිරාජ්‍යවාදය හුදු ප්‍රබන්ධයක් නොවේ. රුදුරු යථාර්තයක් වන එහි භූදේශපාලනික හා ආර්ථික අවශ්‍යතා, රුසියාව සමග සාමකාමී සහජීවනයක් බැහැර කලේය. සෝවියට සංඟමය කෙරෙහි එජ විරුද්ධත්වය පදනම් වූයේ, එරට ධනේශ්වර නොවන ව්‍යුහය මත පමනක් නොවීය. ඔක්තෝබර් විප්ලවයේ නිර්මානයක්වූ සෝවියට් සංඟමය වැනි සුවිශාල රටක දැවැන්ත ස්වාභාවික හා මානව සම්පත් මත එක්සත් ජනපදයේ සෘජු පාලනයට අවහිර කිරීමේ කාරනය සමග කවර කලෙකවත් එජට සම්මුතියකට යා නොහැකි විය. සෝවියට් සංඟමය තවදුරටත් නොපැවතියා වුව ද එජ හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ පිපාසාව එලෙසම පැවතුනි. 

එබැවින් දුබල ධනපති රුසියාවක් ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ නිරන්තර තර්ජනයට මුහුන පෑවේය. තමන් අක්‍රමවත් ලෙස උපයාගත් ධනයෙන් සැලකිය යුතු කොටසක් එජ හා යුරෝපීය බැංකුවල තැන්පත් කර ඇති තරයේම දූෂිත පැලැන්තියක් මත රැඳී සිටින්නාවූ තන්ත්‍රයකට නායකත්වය දෙන පුටින්, විශ්වාසය තබා ඇත්තේ, මිලිටරි උපාමාරු හා මහා රුසියානු ස්වෝත්තමවාදය යන ප්‍රතිගාමී යාන්ත්‍රනයන් මතය. රුසියානු දේශසීමාවන්ගෙන් ඔබ්බෙහි සහයෝගයක් දිනා ගැනීම කෙසේ වෙතත්, ඒකායන මූලෝපායික දෘෂ්ඨියකින් වියෝවූ පුටින්, සිය තන්ත්‍රය නින්දිත හා බයාදු ලෙස අපකීර්තියට පත් ‍නොවන පසුබැසීමේ මාවතක් සොයමින් සිටියි. එහෙත්, එජ පීඩනය ලිහිල් කරනු ඇති බවට කිසිදු නිශ්චිත බවක් නොමැති තතු හමුවේ, අර්බුදය පාලනයෙන් පිට පැනීමේ අන්තරාය පවතියි. 

පලමු ලෝක සංග්‍රාමයට තුඩුදුන් 1914 ජූලි අර්බුදය පිලිබඳව මෑතකදී පලවූThe Sleepwalkers (නින්දෙන් ඇවිදින්නෝ) යන කෘතිය තුල ඉතිහාසඥ ක්‍රිස්ටෝපර් ක්ලාක්, ව්‍යසනයන් නිර්මානය කලාවූ යුරෝපීය රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ වැරදි ගනන් බැලීම් වලට මුල්වූ අදූරදර්ශීකම් කෙරෙහි අවධානය යොමුකරවයි. එහෙත් ඔබාමා හා ඔහුගේ යුරෝපීය අනුචරයන්ට සාපේක්ෂව 1914 අර්බුදයේ නියෝජිතයින්, මැඩගැනීම පිලිබඳ නිරූපකයින් සේ පෙනී යයි. 

රුසියාවට පහර දීම හෝ න්‍යෂ්ටික යුද්ධයක් කරා ලුහුටා යාම පිලිබඳව පුටින් තන්ත්‍රයට පිලිතුරක් ඇත්තේ නැත. සෝවියට් සංඟමයට ලොව පුරා රටවල කම්කරු පන්තියේ සහයෝගය කැඳවාගත හැකිව තිබුනි. එහෙත් සෝවියට් රාජ්‍යයේ දේපොල සොරකම් කිරීමෙන් මඩි තරකරගත් කතිපයාධිකාරයේ නියෝජිතයින් වන පුටින් තන්ත්‍රයට එවන් ආයාචනයක් කල නොහැක. 

වත්මන් අර්බුදයෙන් ගැලවීමේ මාවතක් සොයාගත්ත ද එය පවතිනු ඇත්තේ කෙටි කලක් පමනි. ඉක්මනින්ම තවත් අර්බුදයක් ලඟාවනු ඇත. 2014 පෙබරවාරි මාර්තු අර්බුදය අධිරාජ්‍යවාදී ක්‍රමය යුද්ධයකට යා යුතුය යන්න පිලිබඳව කිසිදු සැකයකට ඉඩක් තබා නැත. මෙය වැලැක්විය හැකි එකම මග වන්නේ, සමාජවාදය සඳහා අරගලය තුල ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත්කම පමනි.