Hot!

දරුවන් මහණ කිරීම, ළමා අයිතිවාසකම් සහ ශාසනයේ පිරිහීම


බුද්ධික දසනායක


නීත්‍යානුකූලව හිමි වරණ බලය ලැබීමට පෙර වයසකදී දරුවකු සඟ සසුනට පූජා කිරීම මම දකින්නේ ළමා අපචාරයක් ලෙසයි. ඊට හේතු රැසක් තිබෙනවා.   

අතීතයේදී ලංකාවේ ඕනෑම කෙනෙකුට අධ්‍යාපනයක් ලබාගැනීමට හොඳම මාර්ගය පිරිවෙන් ක්‍රමය. නමුත් අද පවතින පිරිවෙන් ක්‍රමය සාමාන්‍ය පුරවැසියෙකුගේ අධ්‍යාපනය සඳහා සුදුසු නෑ. රාජ්‍ය අධ්‍යාපනයට විකල්පයක් ලෙස අපි පිරිවෙන් ක්‍රමය පිළිගත්තොත්, ශරියා සහ කුරාන අධ්‍යාපනය සපයන ඉස්ලාමීය පාසල්ද අපිට ලාංකික පුරවැසියෙකුගේ විකල්ප අධ්‍යාපන ආයතන හැටියට පිළිගන්න වෙනවා. 

දෙවනුව, සාමනේර වරුන්ට සාමාන්‍ය පෙළ මට්ටම වන තුරු විද්‍යාව, ගණිතය සහ සමාජ අධ්‍යනය වැනි විෂයයන් හැදෑරීමට අවකාශ තිබෙන්නේ සමහර පිරිවෙන් වල විතරයි. සාමාන්‍ය පෙළ දක්වා නිදහස් අධ්‍යාපනය හදාරණ දරුවෙකුට යාපනයේදී, කොළඹදී හෝ මොණරාගලදී උගන්වන්නේ එකම විෂය නිර්දේශයයි. නමුත් සාමාන්‍ය පාසල් අධ්‍යාපන ක්‍රමය මෙන් නොව, පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයේ විෂය නිර්දේශ ක්‍රියාත්මක වන ආකාරයේ විෂමතා රැසක් තියනවා. 

තෙවනුව, දරුවෙකුට අධ්‍යාපනය අවශ්‍ය වන්නේ අනාගත වැඩිහිටයෙක් ලෙස සමාජයේ තමාට සුදුසු ජීවිකාව, වෘත්තිය තීරණය කිරීමට. මේක කියවන ඕනෑම කෙනෙක් එහෙම තීරණ අරන් තියනවා, තීරණ වෙනස් කරලත් තියනවා. ඒත් ළමා කාලයේදීම සිය අනාගත ජීවිකාව වෙනත් අයට තීරණය කිරීමට ඉඩ හැර, ඔබ සියල්ලන් ලද ඒ වරප්‍රසාදය වෙන දරුවෙකුට භුක්ති විඳීමට නොදීම ආත්මාර්ථකාමී කමක් නේද? අපට අවශ්‍ය ලෝකය බිහි කරන්න වෙනත් අයගේ ජීවිත පාවිච්චි කරන්නේ ඇයි?  

සිව් වෙනුව, බොහෝ දෙනා නොදන්නා සත්‍යතාවයක් කිව යුතුයි. එනම්, පිරිවෙන් අධ්‍යාපනයේ ලිංගික අපචාර වැඩි බවට වන චෝදනා අසත්‍ය බවයි. ඇත්තෙන්ම බැලුවොත්, නිවසෙන් පිටත සිදු වෙන ළමා අපචාර වැඩියෙන්ම වාර්තා වන්නේ පන්සල් වලින් නොව රජයේ පාසල් වලින්. නමුත්, පිරිවෙන් ක්‍රමයේද අඩුවෙන් හෝ ලිංගික අපචාර වාර්තා වන අතර, බොහෝ විට එම සිද්ධි නීතියේ ඇසට හසු වන්නේ පාසල් වල සිදු වීම් වලට වඩා ඉතා ප්‍රමාද වූ පසුවයි. මම මෙවන් සිද්ධි නිසා සියදිවි හානිකරගත් සාමනේරවරුන් දෙදෙනෙකුගේ මෘත ශරීර දැකීමට තරම් අවාසනාවන්ත තිබෙනව. 

පස් වෙනුව, ‘පූජා කිරීමට’ හෝ ‘දන් දීමට’ දරුවන් දෙමාපියන්ගේ බූදල හෝ දේපල නෙවෙයි. වෙස්සන්තර ජාතකය පෘථග්ජන ගිහියන්ට ආදර්ශයක් කියල විශ්වාස කරන අයට, දරුවන් සමඟ ඔබේ භාර්යාවත් දන්දෙන්න කියල ආරාධනා කිරීම හැර ඒ ගැන මීට වඩා දෙයක් කිව යුතුයි කියල මම හිතන්නේ නෑ.  

සය වෙනුව, සමහරු කියනව දුගී දෙමාපියන් ළඟ හිඟමනේ හැදෙනවට වඩා පන්සලකින් ඒ දරුවාට සෙතක් වෙනවා කියල. ඒක ඇත්ත. ඒත් එහෙම දරුවෙකුට උපකාර කිරීමට පන්සලකට හැකි නම්, ඒ ආධාරය වෙනුවෙන් දරුවා පන්සලට පවරාගැනීම අවශ්‍ය ද? දානයක් කියන්නේ කොන්දේසි රහිතව දෙන දෙයක් නේද? දරුවට පන්සලෙන් ලැබෙන ආධාරයට කොන්දේසි තිබේ නම්, ගෙදර අය දරුවා පන්සලට දෙන්නේ ඔය කොන්දේසිය මත නම්, එතන දානයක් නෑ; දරුවාගේ ශුභසාධනය සඳහා ගණු-දෙනුවක් තියෙන්නේ. ඒ කියන්නේ, ජර්මනියේ ළමයි නැති යුවලකට ඒ දරුවා විකුණුවොත් ඊටත් වඩා හොඳ ශුභසාධනයක් වෙනවා. ඉතිං, ඔය ශුභසාධන තර්කය හරි නම්, හොඳම ශුභසාධනය වන්නේ ගුණවත්, ධනවත් පවුලකට ඔවැනි දරුවන් විකුණා දැමීමෙන්. ඕක මගේ අදහසක් නෙමෙයි, තර්කය දාන අයගේ අදහසින්ම ව්‍යුත්පන්න වෙන දෙයක්. 

අවසාන වශයෙන් කීමට මේ සියල්ලට පරිබාහිර ඉතා වැදගත් කරුණක් තියනව.  

අද දිනයේ ශ්‍රී ලංකාවට ඉතා අවශ්‍යව ඇති, දුර්ලභ, දිනෙන් දින වඳ වී යන සම්පතක් තියනව. ඒ කිසිවක් නොව, උගත්, සිල්වත්, වත්මන් සමාජය සහ විද්‍යාත්මක චින්තනය ගැන අවබෝධයක් ඇති භික්ෂු පරපුරක්.

මේ අතින් බැලූ කල ක්‍රිස්තියනි පූජ්‍ය පක්ෂය සිටින්නේ බෞද්ධ සහ ඉස්ලාම් පූජ්‍ය පක්ෂ වලට ඉදිරියෙන්. මීට ප්‍රධාන හේතුව ඒ ඒ පූජ්‍ය ප්‍රජාවන් සසුනට ඇතුල් කරගන්න ක්‍රම අතර වෙනසයි. ක්‍රිස්තියානි පූජක ප්‍රජාවේ බහුතරය බිහි වන්නේ සාමාන්‍යය රාජ්‍ය පාසල් අධ්‍යාපනයක් ලබා, වැඩිහිටි වියේදී කිතු සසුනට බැඳෙන්නන් ගෙන්. ඒ හේතුවෙන් ඔවුහු වත්මන් සමාජ ශිල්ප, විද්‍යාව ආදිය ගැන දැනුමක් ඇත්තෝ වෙනවා. සමාජ ප්‍රවණතා සමඟ අනුනාද වන්නෝ වෙනවා.  

නමුත් අනාගත ඉස්ලාමීය සහ බෞද්ධ ආගමික නායකයින්ට අද දිනයේ ලැබෙන්නේ ළමා කාලයේ සිට සමාජය රිද්මයෙන් දුරස් වූ අධ්‍යාපන ක්‍රමයක්. අවාසනාවට, සමාජ සහ සම්බන්ධතා, විද්‍යාවේ හා තාක්ෂණයේ නව ප්‍රවණතා ආදිය ගැන එම පූජ්‍ය පක්ෂ වල අවබෝධය අඩු  වීමට මෙය දැඩි සේ බලපානවා.

ලිඛිත පුරාණයේ සිටම ශ්‍රී ලාංකික සමාජයේ බුද්ධිමත්ම, උගත්ම පිරිස වී සිටියේ සංඝ සමාජයයි. ගමට පමණක් නොව රජුන්ටත් අකුරු කරවූයේ භික්ෂුවයි. අප ඉතිහාසයේ දක්ෂතම ලේඛකයන්, සමාජ සටහන්කරුවන් මෙන්ම දීප්තිමත්ම චින්තකයන්ද අතර බහුතරය භික්ෂූන්. උගත්කම නිසා ඉතිහාසය පුරාවටම මෙතරම් අපේ ගෞරවාදරයට පාත්‍ර වූ භික්ෂුව, යටකී අධ්‍යාපනික විෂමතා හේතුවෙන් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙකුට වඩා සමාජ ශිල්පයන් සහ දැනුමින් අඩු වීම කෙතරම් ශෝචනීය තත්වයක්ද? 

මීට සියවස් කීපයකට පෙර, ලංකාව් බුද්ධිමත්ම පුරවැසියන් සංඝ ශාසනයට ආකර්ෂණය වුණා. අතීත භික්ෂූන් වහන්සේලා සමාජ සහ ශාස්ත්‍රීය විප්ලව වල පෙරමුණේ සිටියේ ඔවුන් පැවිද්දන් බැවින්ම නොව; ඔවුන් එකල ලංකාවේ විසූ බුද්ධිමත්ම පිරිස වූ නිසයි. එකල ලක්දිව දක්ෂතම, බුද්ධිමත්ම දරුවන් සංඝ ශාසනයට ආකර්ෂණය වූයේ ලංකාවේ ප්‍රඥාවන්තයන්ගේ හමුව පැවිදි බිම වූ නිසයි. නමුත් භික්ෂුවගේ ප්‍රඥාව, දැනුම ගැන තිබෙන සමාජ ප්‍රතිරූපය බිඳ වැටෙන විට බුද්ධිමත් ලාංකිකයෝ පැවිදි දිවිය ජීවිකාවක් කර ගැනීමට සිතන්නේ නෑ; වෙනත් වෘත්තීන් වෙන පිය නඟනවා. ඉන් පිරිහෙන සංඝ ප්‍රතිරූපය චක්‍රීයව තව තවත් බුද්ධිමතුන් විකර්ෂණය කරනවා. 

මෙයට වගකිව යුත්තේ අපිම නේද? අද අවශ්‍යව ඇත්තේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සංඛ්‍යා ඉලක්කං පුම්බා තබා ගැනීම නෙවෙයි. වැදගත් වන්නේ ප්‍රමාණාත්මක සංඝ සමාජය වර්ධනය කිරීමට වඩා ගුණාත්මකව සඟ කෙත සරු කිරීමයි. මීට දායක වන්නේ අනවබෝධයෙන් සසුන්ගත වී සාමාන්‍ය ලාංකික අධ්‍යාපන ක්‍රමයෙන් ඉවත් වන්නන් නෙවෙයි; සාමාන්‍ය ලාංකික අධ්‍යාපනයක් ලබා, ශාසනය ගැන පැහැදීමෙන් ස්වේච්ඡාවෙන් එකතු වන බුද්ධිමතුන්.  

කොටින්ම, මානව අයිතිවාසිකම් ගැන කිසිත් නොකීවත්, වරණ බලය නොමැති දරුවන් මහණ කිරීමට අපි විරුද්ධ විය යුත්තේ, එය වත්මන් ශාසන පරිහාණියට බලපාන ප්‍රධානතම සාධකයක් වන නිසයි.