Hot!

ගොනා ලවා ඇනගැනීම



| නිලන්ත ඉලංගමුව 


සෑම පුද්ගලයෙකුම ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික කතාව හමුවේ වීරයෙක් හෝ වීරවරියක් වේ. මෙය සෑම අයෙකුටම පොදු කාරණයකි. ලංකාවේ විශේෂයෙන්ම පශ්චාත් යුධමය වටපිටාව හමුවේ මෙය වඩාත් පැහැදිලිව දක්නට ලැබුණු කාරණයක් වූ අතර බොහෝ දෙනෙකු කුමන හෝ දිශාවක වීරයෙක් හෝ වීරවරියක්  වීමට උත්සහ කරනු ලැබූහ. මන්ද එමඟින් ගොදුර බවට පත්වීම වෙනුවට කතාකාරයෙකු වීමට ලැබුණු ඉඩකඩ පුළුල්විමය.  සැබවින්ම මෙය කදිම සමාජීය ප්‍රවණතාවයක් ලෙස දැකිය හැක්කේ, මෙමඟින් මනුෂ්‍ය ස්වභාවය අධ්‍යනය කිරීමට මාහැඟි පිටුබලයක් ලැබෙන හෙයිනි. 


ලංකාවේ අධ්‍යාපනය ගෝත්‍රිකවාදී මෙන්ම උතුරු ඉන්දීය හින්දු බලපෑම අතිශය ඛේදජනක ලෙස බලපෑ ක්ෂේත්‍රයකි. ඊට බුදුදහම ප්‍රතික්ෂේප කළ බොහෝ මූලිකාංග බුදුදහම ලෙස හැඩ ගන්වා එන්නත් කොට ඇත. එමඟින් පසුගාමී මෙන්ම අධිපතිකාරී පෞද්ගලික න්‍යායන්වලට අනවශ්‍ය ලෙස මුල්තැන දෙමින් ගොඩනැගුනු සමාජයක් යත ලෙස අපට ලැබේ. එය නූතන තාක්ෂණික මෙවලම් සමඟ ක්‍රමිකව මුසු වුවද, පෘථුල වශයෙන් සමස්ථ සමාජයේ අකල්පමීය වෙනසක් ඇති කිරීම සඳහා තාක්ෂණික මෙවලම් එහි හරය වෙනස් කිරීම සඳහා භාවිතයට නොගත්හ.  ඒ වෙනුවට තම බොරුව වඩාත් පහසුවෙන් කිරීමට හැකි මාර්ගය පමණක් සොයාබැලීමට බොහෝ දෙනෙකු කටයුතු කළහ. 


මීට හාත්පසින්ම තමන් වෙනස් යැයි පෙන්වීම සඳහා බොහෝ “රැඩිකල්වාදීන්” ලිංගිකත්වය, තම ප්‍රකාශනය ආකර්ෂණය කරන මූලික උපාය ලෙස භාවිතා කරමින්, යම්කිසි ක්‍රියාවලියක නිරත වූයේ එමඟින් තම න්‍යාය කිඳා බැස්සීමට හැකි යැයි සිතු නිසා විය හැකිය. එවැනි ක්‍රමෝපායන් වලට යා හැකි දුර ඉතාම අවම වූ අතර එහි ප්‍රතිඵලය ලෙස සිදුවන්නේ තමන් විසින් අනෙකාගේ ආකර්ෂණය සඳහා භාවිතා කරනු ලැබූ දෑ බූමරංගයක් වීමය. එය තම සංවිධානවල අභ්‍යන්තර ගැටලු දක්වා විස්තාරණය වීම දැකගත හැකි වූ සුලභ කාරණයක් විය. මෙය බටහිර වෙළඳපොලේ කාන්තාවගේ සහ පිරිමින්ගේ නිරුවත ක්‍රමෝපායිකව විකිණීමට වඩා හාත්පසින්ම වෙනස් කටයුක්තකි. 


සැබවින්ම ලංකාවේ රැඩිකල්වාදීන් යැයි නියම අර්ථයෙන් හැඳින්වෙන පිරිසක් බිහි වූයේද යන්න සැබෑ ගැටලුවකි. ඊට නැත යන්න පිළිතුර ලෙස ලබාදීමට වඩා වැදගත් වන්නේ, “අඩක් රැඩිකලුන්” බිහි වූ බවට වූ සමාජ සිදුවීම බහු වීම ඉතිහාසය ලෙස කියවීමට සිදුවීම නිසාය. මොවුහු, ජිජැකියානුවන්,  ලැකානියානුවන්, හේගලියානුවන්, නීට්ෂ්චේනියානුවන් පමණක් නොව මාක්ස්වාදීන්, මාව්වාදීන්, කස්ත්‍රෝවාදීන්, වේවාදීන් ආදී වූ යුරෝපීය පශ්චාත් කර්මාන්ත විප්ලවයෙන් ( කස්ත්‍රෝ සහ චේ ලතින් ඇමෙරිකානුවන් වුවද ලංකාව තුළට ඔවුහු ගෙන අත්තේ යුරෝපීය හෝ උතුරු අමෙරිකානු පරිවර්තකයින් විසින් වෙනස් කරනු ලැබූ ඔවුන්ගේ සෞඛ්‍යට සහ වෙළඳපොළට හිතකර වූ න්‍යායවාදීන් ලෙස ඉදිරිපත් කරනු ලැබූ “වීරයින්” ලෙසය.) පසු ඇති වූ දර්ශනයන් , ඉංග්‍රීසි -සිංහල ශබ්දකෝශය දිවා රෑ නොබලා කිහිප සැරයක් පෙරලා අතිශය අමාරුවෙන් තනාගත් පරිවර්තන කියවීමෙන් විප්ලවදීන් වීමට යන්ත දැරූ සහ දරමින් සිටින පිරිස, රැඩිකල් යැයි ආරෝපණය කරගෙන සිටිති. මෙය සැබවින්ම අවාසනාවකි. රටේ පමණක් නොව ඔවුන්ගේ පෞද්ගලික ජීවිත සම්බන්ධයෙන් ගත් කළද මෙය අවාසනාවකි.  මෙය අදාළ යුරෝපීය දර්ශනය මෙරටට ගෙන ඒමේදී පමණක් නොව මෙම දුපතෙන් පිට සියළුම දේ ගෙන ඒමේදී සිදු වූ කණගාටුදායක සිදුවීමක් වේ. දේශපාලනික වශයෙන් කෞටිලය, මනු වැනි හින්දු බ‍්‍රාහ්මණවාදයේ නිෂ්පාදන හැරෙන්නට ගෞතම බුද්ධ දේශපාලනික වශයෙන් නොගැනීම සහ ඔහුට ආගමික ස්වභාවයක් දී වන්දනාමාන කිරීමේ සිට අම්බෙඩ්කාර්ට අඩුවටිනාකමක් ලබාදෙමින් ගාන්ධි  මහත් ඉහළින් තැබීම දක්වා වූ සියලුම කටයුතු වල මඟ හැර සහ අත්හළ අවස්ථා රැසකි.


වෙළඳපොල සහ පෞද්ගලික ජීවිතය අතර පවතින සැබෑ දුර වැඩිවන විට අප අතර පවතින අසහනය මෙන්ම අසතුටද වැඩි වේ. එය පීඩොන්මාදයකට විවිරය වේ. එම තත්වය පවතින අන්ත දෙකෙන් එකක් තෝරාගැනීමට අපට බල කරනු ලබයි. මෙය තේරුම් නොගත් සහ තේරුම් ගත්තද ඉන් නොගැළවුණු බොහෝ දෙනෙකුට සිදු වූයේ, තම පාඩුවේ තණකොළ බුදිමින් සිටි ගොනා ඉන් බලෙන් ඉවත්කරගෙන තමාට අනින ලෙස අණ කිරීමය. සරලව කිවහොත් ගොනා ලවා ඇන ගැනීමය. සැබවින්ම ගොනා අනින තෙක් තත්වය හෙවත් ආශාව අනගැනීම වුවද ගොනා ඇනීමට පටන්ගත් විට නතර කරගෙන්නේ කෙසේද යන්න පිළිබඳව ගොනාට අණදීමට පෙර නොසිතූහ. එවැනි තුලනාත්මක න්‍යායික සමීකරණ ලංකාවේ දාර්ශනික වශයෙන් සාකච්ඡාවට භාජනය වී නොතිබීම අවාසනාවකි. සැබවින්ම හින්දු දර්ශනය හැරෙන්නට දේශපාලනික වශයෙන් වෙනස් දර්ශනයක් මුළු දකුණු ආසියාවේම නිර්මාණය නොවූ අතර ඊට එකම කාසියේ අනෙක් පැත්ත බඳු වූ ඉස්ලාමය යම් කිසි විකුර්තියක් ඇති කිරීමට සමත් විය. මෙය වසර දහස් ගණනක් තිස්සේ එකිනෙකට පරස්පරව අරගල කරගමින් ඉදිරියට පැමිණියහ.


ශිෂ්ඨාචාරය වර්ධනය වීම වූ කලී හිස් අවකාශය පිරවීමකි. ඇතැම් හිස් අවකාශ එලෙසම තිබිය යුතුව තිබුණු බව අවබෝධ වන්නේ එය පිරවීමෙන් පසු හටගන්නා හානී දායක ප්‍රතික්‍රියාවලිනි. මෙයද ගොනා ලවා ඇන ගැනීමේ ප්‍රවණතාවයේම කොටසකි. 


ශ්‍රී ලංකාවේ සිදු වූයේද, සිදුවෙමින් පවතින්නේද මෙයයි. මේ වනවිට ජිනීවා නුවරටම ගොස් එය මුළු රටේම ගතිය ලෙස මුළු ලෝකයටම ගොස් ඇත. එය එක් අතකින් දැකුම්කළුය, අනෙක් අතින් මෙහි ඇති නියාලු දාර්ශනික පැතිකඩද ගැඹුරුය. 


ජිනීවා යෝජනාවලීය සහ ඊට මුහුණ දෙමින් සිටින ආණ්ඩුවේ හැසිරීමද ඛේදජනක බව අමුතුවෙන් කිව යුතු නොවේ. විශේෂයෙන් එකල මහින්ද රාජපක්ෂ, මානව අයිතීන් විකුණමින් රටේ තරුණ තරුණියන් වෙනුවෙන් යැයි කියමින් ජිනීවා යනවිට එකල ආණ්ඩුව දැක්වූ ක්‍රමෝපායික කෞශලයන් දැක්වීමට තබා සිතීමටවත් රාජපක්ෂට නොහැකිය. මන්ද ඔහුගේ ෆැන්ටසිය විසින් ඔහු තල්ලු කරමින් සිටින දිශානතියක් තිබේ. එය යත වෙනුවට මවාපාන පුහු අභිමානයක් ජනිත කොට ඇත. මීට සාමාන්‍ය ජනතාව කැමැති බව ඔහුගේ විස්වාශය වේ. එයද ඔහුගේ මවාපෑමකි. ඔහු ඔහුගේ ෆැන්ටසිය තුළ ලංකාව ඊශ්‍රායලය යැයි සිතා හැසිරෙන්නේය. නමුත් දේශීය දේශපාලනික වශයෙන් ලංකාව පවතින්නේ සිම්බාබ්වේ මට්ටමේය. එසේම ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්තය හමුවේ ලංකාව පවතින්නේ ස්වාසිලන්තයේ තත්වයේය. ගොනා ලවා ඇන ගැනීමේ ප්‍රතිවිපාකය මෙයයි. අපි සියලු දෙනාම එහි ඍජු හෝ වක්‍ර ගොදුරුය.