Hot!

ජනාදරීටම ගල් ගැසීම






ආනන්ද පද්මසිරි

 

  අශෝක හඳගමගේ “තනි තටුවෙන් පියාඹන්න” චිත්‍රපටයේ අනෝමා ජනාදරී කළ අති දක්ෂ එඩිතර රංගනය සංස්කෘතික බැමිවලින් බැඳුණු ශ්‍රී ලංකාව වැනි රටක සිනමාවේ විරලතම රංගනයකි. එහි නිෂ්පාදක උපුල් ශාන්ත සන්නස්ගලගෙන් ලැබිය යුතු ගෙවීම පවා ඇයට ලැබි නැතැයිද, එය ලබාදීම සඳහා එවකට ඇගේ සැමියා වූ හඳගම කිසිදු මැදිහත්වීමක් නොකරන බවද අනෝමා මාධ්‍යයට කියා තිබුණි. එම රංගනයට ලැබිය යුතු මුදල් නැතත් සම්මානයෙන් මෙන්ම අවමානවලින්ද ඇයට අඩුවක් නැත. විශේෂයෙන් එහි පූර්ණ නිරුවත් රංගනය ගැන කුහක සුචරිතවාදීන් ඇයට කළ අවමන් නිමක් නැත. “පුනරුක්ති” නමින් කලකට පෙර ඇය එළි දැක්වූ ස්වයං ලිඛිත චරිතාපදානයට පසුව මෑතදී එළිදැක්වූ “පුනරෝපකථන” හා “පුනරාගමන” ග්‍රන්ථ මුල් කර ගනිමින් මේ දිනවල අනෝමාට ඔවුන් ගල් ගසන්නේ “තනි තටුවෙන් ….. මුල් කරගත් අවමාන ප්‍රහාරයේ දිගුවක් ලෙස යයි සිතේ. 

සරසවි යුගයේ අත්දැකීම් ඇය ලියන්නේ ශූර ලෙසය. මෙරට සමාජීය හා දේශපාලනික ව්‍යාපාරවල තිරශ්චීන බව පවසන ඇය සරසවි ශිෂ්‍ය ප්‍රජාවට ඉන් ගැලවීමක් නැතැයිද කියයි. ඇගේ කෘතිවල වරදක් කොහෙත්ම නැත. සරසවි සිසුවියක වූ තමාද එම සුළි කුණාටුවට හසුවූ බව කියන්නට ලියන්නට අකැපදැයි මම අනෝමාට ගරහන්නන්ගෙන් අසමි. එම කෘති බරපතළ වරදක් සේ හුවා දක්වන විචාරක සමන් වික්‍රමාරච්චි ඇය ප්‍රදර්ශනකාමී ස්ත්‍රියකැයි හංවඩු ගසා තිබුණි. පෙම් කළ සමයේ ඇය හඳගම සමග ලිංගිකව (අර්ධ ලෙස) එක්වූ අවස්ථාවක් ගැන ඇය ලියා ඇත්තේ එම ප්‍රදර්ශනකාමය නිසාලු. දැන් හඳගම ඇගෙන් වෙන්ව සිටියත් ඇය හෙළි කළ දේ නිසා සමාජයෙන් සැඟවීමට ඔහුට ගොලුබෙලි කටුවක් සොයා ගැනීමට සිදුවී තිබේලු. 

හඳගමට පසුව ඇයට හමුවූ පුරුෂයන් ගැන දුක්වන වික්‍රමාරච්චි යම් දිනක සැඟවෙන්නට දැන් සිටම ගොලුබෙළාකටු සොයා ගන්නා ලෙස අවවාද කර තිබුණි. අනෝමා ඉදිරියේදීත් තමාගේ ජීවන අත්දැකීම් ලියන්නට ඇති ඉඩකඩ ගැන බිය වී ඇති තරම මින් පෙනේ. 

ඩග්ලස් සිරිවර්ධනගේ නාට්‍ය තුළින් තමා මතුවූ බව අනෝමා කීම ගැනද ප්‍රශ්න මතු කර තිබේ. සරසවියේදී උපුල් ශාන්ත සන්නස්ගල හැදූ නාට්‍යයක ඇය මුලින්ම රඟපෑ බව සන්නස්ගල කීවාලු. සන්නස්ගල කියන දේ බුද්ධ භාෂිතය හෝ දේව භාෂිතය ලෙසින් ගත යුතුද? “අරයා ගෙනාවේ මමයි – මෙයා ගෙනාවේ මමයි” ආදී වශයෙන් විවිධ ශිල්පීන් ශිල්පිනියන් ගැන පසුකාලීනව යම් යම් අය කියනු ඇසේ. එහෙත් අදාළ ශිල්පියා/ශිල්පිනිය කුමක් නිසා හෝ එය ප්‍රතික්‍ෂේප කරයි නම් කාටවත් කළ හැකි දෙයක් තිබේද? සන්නස්ගල කියන දේම සත්‍ය බව දක්වා අනෝමාගේ මතකයට සරදම් කළ හැකිද? අනෙක් අතට අනෝමා තමා හඳුන්වා දුන් නිළියක් නම් පසු කාලයක තමාගේ චිත්‍රපටයක දැඩි කැපවීමකින් කළ රංගනයකට සාධාරණ ගෙවීමක් කරන්නට ඔහු පසුබායිද? සන්නස්ගල බොහෝ කතා කියන්නේ කාලීන වාසිය තකාය. සුරේන්ද්‍ර පෙරේරා නැමැති නවකයා සුපර් ස්ටාර් කරද්දී ඔහු එච්. ආර්. ජෝතිපාලගේ පුනරුත්පත්තිය බව සන්නස්ගල කීවේ “සිරසෙන්” ලකුණු ලබන්නටය. නැවත උපන් ජෝති කොහිදැයි ඉන්පසුව අප විවිධ අවස්ථාවල අසද්දී ඔහුගෙන් පිළිතුරු නොලැබුණි. 

අනෝමාගේ ග්‍රන්ථවල ජනතා විමුක්ති පෙරමුණ ට සම්බන්ධ ශිෂ්‍ය ව්‍යාපාරවල ඝාතන සංස්කෘතිය ගැන ලියා ඇති කිසිවක් අසත්‍ය යයි ජවිපෙ මේ දක්වා කියා නැත. ස්වාධීන ශිෂ්‍ය සංගම් විකල්ප කණ්ඩායම එදා විජය කුමාරතුංගයන් අනාගත වාමාංශික නායකයෙකු ලෙස දුටු බවත් (ඇයද ඇතුළුව) දයා පතිරණ එයට විරුද්ධ වූ බවත් ඇය ලියා ඇත. විජය මරා දැමීම නිසා ප්‍රේමදාසට නිරුපද්‍රිත ජයක් ලැබෙන්නේ අතරමැදි කොන්ත්‍රාත් ඝාතකයන් තිරශ්චීත දේශපාලනයට දැන හෝ නොදැන සහය දීමෙන් බවද ඇය ලියා තිබේ. එම ඝාතකයන් කව්රුන්දැයි දන්නෝ දනිති. ජවිපෙ විජය මැරූ බව විජයගේ කිට්ටුවන්තයෝ පැහැදිලිවම දැන සිටියහ. කලක් තිස්සේ ජවිපෙ ඔහුට එරෙහිව කළ දේ ගැන එකල විජය සමීපයේ සිටි අපිද සාක්ෂි දරමු. ඔහුගේ ඝාතනයෙන් පසුව ඔහු ගැන සිනමා පත්තරවල ලිවීම පවා මරණ තර්ජන ලබන්නට හේතුවක් විය. 

විජයගේ දේශපාලන ගමනට ශක්තිය සැපයූ “සරසි” සිනමා පුවත්පතේ එවකට සේවය කළ මට පවා එබඳු අත්දැකීම් තිබේ. විජයගේ මරණින් පසුව සබරගමු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස ඔහුගේ පක්ෂය නියෝජනය කළ ජනප්‍රිය නළු අජිත් ජිනදාසට රත්නපුරයේදී වෙඩි තැබුවේ ජවිපෙ නැත්නම් උඩින් පාත්වූවන් නොවේ. අජිත්ගේ දිවි ගැලවුණත් දේව බණ්ඩාර සේනාරත්න, ‍පොහොද්දරමුල්‍ලේ පේමාලෝක හිමි ඇතුළු තව කීපදෙනෙකු ඔවුන් පරළොව යැව්වාද? ජවිපෙ විසින් උපකුලපතිවරයෙකු ඝාතනය කරන සැලසුම හදා ඔහු නිවසින් පිටතට ගැනීමේ වගකීම අනෝමාට පැවරූ බවත් ඇය එකඟ නොවීම නිසා පැන නැගුණු ගැටුම් රැස අවසානයේ දෙමාපියන් රහස් ‍පොලීසියට පැමිණ කොන්දේසි රැසක් යටතේ තමා මුදා ගත් බවත් අනෝමා පැහැදිලිව ලියා තිබිම ගැන නිකමටවත් කතා නොකරන අය පෞද්ගලික ජීවන සිදුවීමක් ගැන ඇය ලියන දෙයක් අල්ලාගෙන පහර පිට පහර දෙන්නේ ඇය පාගා දමන්නටය. “පුනරුක්ති” තුළින් ඇගේ ළමා/තරුණ වියේදි ලිංගික හිංසනයට ලක් වූ අයුරු ලියූ විට කාන්තාවන් රාශියක් ඇයට පැසසුම් කර ඇත. ඒවා ඔවුන්ගේද ‍පොදු අත්දැකීම් වීම ඊට හේතුවයි. එමෙන්ම ස්ත්‍රීන්ට නිගරු නොකරන පිරිමින්ද තමා දිරිමත් කළ බව අනෝමා කියා තිබුණි. ‍ලේඛනය ඇගේ විෂය පථය නොවන බව ඇය කියුවත් “මගේ කථාව” ලෙස ඇය ලියන දේ නීරස නැත. සරසවි තුළ තුච්ඡ දේශපාලන නොමග යැවීම් හා ශිෂ්‍ය ව්‍යාපාරවල නිරුවත බාහිර පාඨකයන්ට වටහා ගත හැකි ලෙස ලියා තිබියදී ඒ කිසිවක් මායිම් නොකරමින් හඳගමගෙන් පසු ඇයට හමු වූ පුරුෂයන්ට ඇගෙන් පරෙස්සම් වන්නැයි කෙරෙන “විචාරක අවවාදය” විහිලුවකි. 

සිංහල සිනමාවේ මුලින්ම බිකිනි ඇඳ රඟපෑවේ ශාන්ති ‍ලේඛාය. ඉන් පසුව නාන ඇඳුමින් රඟපෑ නිළියන් රැසකි. පර්ල් කුරේ, සෝනියා දිසා, තලතා ගුණසේකර, ෆරීනාලායි, නීටා ප්‍රනාන්දු, මාලිනී ෆොන්සේකා, ඩිලානි අබේවර්ධන, ගීතා කුමාරසිංහ ඉන් කීප දෙනෙකි. නිරුවතින් හා අඩනිරුවතින් රඟපෑ ඇය අතරට මාලිනී, ගීතා හා ස්වර්ණාද එයි. එහි දොසක් නැත. චිත්‍රපටයට එය අවශ්‍ය නම් වරද කුමක්ද? ඇතැම් නිළියන් එසේ රඟපා පසුව දුහුල් මේස් වැනි ඇඳුම් ඇඳ රඟපෑ බවට බොරු කියන්නේ අවලාදවලින් බේරීමටය. එසේ රඟපා බොරු නොකී අවංක නිළිය සුමනා ගෝමස්ය. ඒ සියලු දෙනාට පසුව ආන්දෝලනාත්මක ලෙස පූර්ණ නිරුවතින් රඟපෑ අනෝමා ජනාදරී වෘත්තීය වෙනුවෙන් කළ කැපවීමට ආචාර කරනවා වෙනුවට ලොරි පිටින් ගෙනැවිත් ගල් ගසා දැන් ඇය ලියූ ‍පොත්වලටද ගල් ගැසීමේ සදාචාරය කුමක්දැයි ප්‍රශ්න කළ යුතුව ඇත.