Hot!

අමතක කළ විබූෂිකාගේ කඳුළු

[‘අයියව දෙන්න‘ කියූ විබූෂිකාට සිය මව් සෙනෙහස අහිමිකල සංහිදියාව]

දහතුන් හැවිරිදි විබූෂිකා ත්‍රිකුණාමලයේ, සෙල්වනායකපුරම් ඉපිද වන්නියට පැමිණ ජීවත් වූයේ ඇයගෙ මව සමගය.

| සම්පත් සමරකෝන් 

තම කුඩා කලේදීම ඇයගේ පියා හෘදයාබාධයකින් මියගියේ ය. ඇයගේ මව කුලී වැඩ කර එයින් ලැබෙන ආදායමින් ඔවුන් ජීවත් වුවාය. ඒ අතරතුර 2006 ඔක්තෝබර් 20 වැනි දින සිය නිවස අසලදී නාඳුනන පිරිසක් විසින් කළ වෙඩි තැබීමකින් විබූෂිකාට සිය වැඩිමහල් සොහොයුරා අහිමි විය. ඉන්පසු ත්‍රිකුණාමලයේ සිටීමෙන් ආරක්‍ෂාවක් නොමැති හෙයින් විබූෂිකාගේ මව අනෙකුත් දරුවන් ද සමඟ වන්නියට පැමිණ පදිංචි විය.
එතැන් සිට ඊනියා මානුෂික මෙහෙයුමේ ආශිර්වාදය නිසා තැනින් තැන අවතැන්ව ගොස් 2009 මැයි 5වැනි දින ආරක්‍ෂක කලාපය යැයි ප්‍රකාශ කළ ප්‍රදේශයේ සිටියදී එල්ලවූ ෂෙල් ප්‍රහාරයකින් විබූෂිකාගේ දෙවැනි සහෝදරයා ද ඝාතනය විය. ඉන් පසු එහි සිට අවතැන්ව සිටින විට 2009 මැයි 15වැනි දින තම තෙවැනි සහෝදරයා ද අතුරුදහන් විය.

සිය සහෝදරවරැන් දෙදෙනෙකු ඊනියා මානුෂික මෙහෙයුමින් ගොදුරැ කර ගත් පසු, ඉතිරිව සිටි අනෙක් සොහොයුරා ද වන්නියේදී අතුරැදහන් වූ පසු විබූෂිකා සිය මව සමග, අතුරැදහන්කල සිය සොහොයුරා සොයමින් සෑම තැනම ඇවිද්දාය. සෑම විරෝධයකටම සහෝදරයාගේ ඡායාරෑපය ද රැගෙන යමින් සිය ‘අයියා‘ ඉල්ලා සිටියා ය. නමුත් පසුගිය මාර්තු 13වනදා සවස කිලිනොච්චියේ, ධර්මපුරම් ප්‍රදේශයේදී ඇය සහ ඇයගේ මව වන ජයකුමාරී බාලේන්ද්‍රන් ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තේය. ඉන්පසු ඇයගේ මව, ජයකුමාරි බාලේන්ද්‍රන් බූස්ස රැදවුම්භාරයේ තබා, විබූෂිකා පරිවාස භාරයට පත් කල බව ප්‍රකාශ විය.

සෑම තැන්හීදීම වැළපෙමින් සිය අයියා ඉල්ලූ විබූෂිකාට, සිය මවත් අහිමි කර ඇත. කෙතරමි දුෂ්ඨ පාලනයක සෙවනැලි දෙමළ ජනයා මතට වැටී ඇතිද යන්න මෙයට වඩා පැහැදිලි කර ගැනීමට උදාහරණ අවශ්‍ය නැත. දින දෙකකට පෙර මල්වර වියට පැමිණි 13න් හැවිරිදි දැරියක් සිය මවගෙන් උදුරා පරිවාස භාරයට පත් කරන්නට තරමි ‘ලංකාවේ තිබෙන වා යැයි කියන සංහිදියාව‘ මුර්ග වී ඇතී සැටියකි. රාජපක්ෂ පාලනයේ සහජීවනය, උගත් පාඩම් යනු සිය අයියා ඉල්ලූ දැරියව සිය මවගෙන් වෙන් කිරීම ද? එය එසේ වී තිබේ. දහස් ගණනක් මිනිස් ජීවිත බිළිගත් ඊනියා මානුෂික මෙහෙයුම දියත් කල පාලනයකට විබුෂිකා වැනි දරැවෙකුගේ විලාපය ඇසෙන්නේ නැත. විබුෂිකාගේ වේදනාවේ වැලපිල්ලට වඩා රාජපක්ෂ පුතුන්ගේ ලැම්බොගිනි හඩ දකුණට ආශ්වාදජනකය. මිනිස් වේදනාවට වඩා අධිවේගී මාර්ගවල කාපට් උණුසුම, ඊනියා දේශප්‍රේමීන්ගේ උඩුබිරීම, දකුණට මිහිරිය.

රැකී, ප්‍රදීපන් පියනම, ජෙයකුමාරි සහ විබූෂිකා

විබූෂිකා සහ ඇයගේ මව ජීවත් වූ ධර්මපුරම් ප්‍රදේශයේ සංචාරය කරමින් සිටින අතරතුර, ප්‍රකට හිමිකම් ආරක්ෂකයන් සේම, විශේෂයෙන් අතුරුදහන් වුවන්ගේ පවුල් සමග කටයුතු කරමින් ඔවුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් ප්‍රභලව පෙනී සිටි ක්‍රියාධරයන් වූ රැකී ප්‍රනාන්දු සහ ප්‍රදීපන් පියතුමන් ත්‍රස්ත විමර්ෂන ඒකකයේ අත්අඩංගුවට පත් වූයේ රාජපක්ෂ පාලනයේ සංහිදියාවේ සහ මානව හිමිකම්වල තත්ත්වය මැනවින් කියාපාමිනි.

ඒ පසුගිය 16 වනදා, කිලිනොච්චියේ දී ය. පසුව 18වනදා මධ්‍යම රාත්‍රි, රැකී සහ ප්‍රවීන් පියතුමන් නිදහස් කිරීමට රාජපක්ෂ පාලනයට සිදුවිය. එම මානව හිමිකම් ආරක්ෂකයින් දෙදෙනා නිදහස් කිරීම පිළිබදව මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සුරකින සමාජයක් වෙනුවෙන් වෙහෙසෙන සහ ඒ පිළිබද සංවෙිදී ඕනෑම අයෙක් සතුටු වනවා නොඅනු මානය. එපමණක් ද නොවේ එම මානව හිමිකම් ආරක්ෂකයින් දෙදෙනා අත්අඩංගුවට ගත් මොහොතේ සිට ලංකාවේ සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තර සංවිධාන මෙන්ම අන්තර්ජාල මාධ්‍ය ද සිය ප්‍රභල බලපෑම ඔවුන් නිදහස් කර ගැනීම සදහා යෙදවීය.

ඔවුන් නිදහස් කර ගැනීම සදහා පළ කල බෙහෝ ප්‍රකාශණ වල රැකි සහ ප්‍රවීන් පියතුමා පමණක් නොව විබූෂිකාගේ මව වන ජෙයකුමාරි බාලේන්ද්‍රන් පිළිබදවත් සදහන් කර තිබුණේ ඇයත් නිදහස් කිරීමට බල කරමින් ය.

නමුත් තවමත් විබූෂිකාගේ මව බූස්සේ හිරකුටිය තුළය. විබූෂිකා පරිවාසයේ ය. මෙතෙක් වේලා පළ වූනු ඔවුන් නිදහස් කර ගැනීම පිළිබද ලියැවුනු වාර්තා, ඡායාරෑප ඇතුලු සියලු බලකිරීම් හුලගට ගසාගෙන ගියාක් වැනිය. රැකී සහ ප්‍රවීන් පියනම නිදහස් කිරීමෙන් පසු අතරින් පතර මතුවන බලකිරීමක් හැරෙන්නට තිබූ ප්‍රභල බල කිරීම වාෂ්ප වී ගොසිනි. (2009 මැයි 19වන විට දහස් ගණනක් මිනිස් ජීවිත පොලව මත වැලලී යන තෙක් දකුණේ බොිහෝ අයත් ජාත්‍යන්තර බොහෝ ආයතනත් බලා සිටියේ ද මේ ලෙසය.)

ජාත්‍යන්තරයටත්, ලංකාවේ බොහෝ සිවිල් සංවිධානවලටත් විබූෂීකාත්, ඇයගේ මවත් අමතක වී ඇති සැටියකි. සිය රටේ මූලධර්මවාදයට එරෙහිව සටන් කළ මලාලා ගැන පත්තර පිටු ගණන් ලියූ බොහෝ අය විබූෂිකා දන්නේවත් නැති බවකි. විබූෂිකාගේ වැලපිල්ල රාජපක්ෂ ආණ්ඩුවට සේම අනෙක් බොහෝ අයටද ඇසෙන්නේ නැති ගානය. මානව හිමිකම් ගැන හංදියක් හංදියක් ගානේ දොඩවමින් ඇවිදින රාජපාක්ෂිකයන්ට විබූෂිකාගේ කදුලුවල උණුසුම දැනෙන්නේ නැති බව ‘හොරට නිදන අය‘ හැර අනෙක් සෑම දෙනෙක්ම දන්නා දෙයකි. නමුත් ශිෂ්ඨ සමාජයන් විබූෂිකාත්, විබූෂිකා වැනි දරැවන්ගේ වේදනාව ඇසිය යුතුය. විබූෂිකාගෙන් උදුාරාගත් සහෝදර සෙනෙහසත්, මව් උණුසුමත් ඇයට ආපසු ලබා දිය යුතුය. ඔවුන්ට යුක්තිය ඉෂ්ඨ කිරීම සදහා ප්‍රභල මැදිහත් වීමක් සිදු කළ යුතුය. එසේ නොවුන හොත් විබූෂිකාලාගේ වේදනාව මහා ඝෝෂාවක් විය හැකිය. ඒ ඝෝෂාව සංහිදියාව නාමයෙන් මැර්දනයම වපුරන පාලනයට සුවසේ නිදන්නට නම් නොදෙනු ඇති.