Hot!

අලගල්ල කඳු මුදුනේදී දුටු ශ්‍රී ලාංකික ගෝත්‍රිකයන් ගේ හැසිරීම



 ශිෂ්ටත්වයේ අරුණලු කිසිදා නොදුටු වනචාරී  ශ්‍රී ලාංකික ගෝත්‍රිකයන් පසුගිය  නිදහස් දිනයේ අලගල්ල කඳු මුදුනේදී හැසිරුනු අයුරු මෙම ලියුම්කරුවා විස්තර කරයි.   (වාර්තා කරන්නේ නුවන් ගන්කන්ද විසිනි  )

හැම පෙබරවාරි 04 වැනිදාකම අලගල්ල කඳු මුදුනට නිදහස පෙනෙනවාලු!  සිරිපාද ලාංඡනය මහනුවර හා කෑගල්ල දිස්ත්‍රික්ක අතර පිහිටි අලගල්ල කඳුවැටිය අවට ගම්වල නිදහස් දිනය සමරන අපූරු සිරිතක් තිබේ. ඒ නිදහස් දිනයේදී අලගල්ල කන්ද තරණය කිරීමයි. ඔවුන් අලගල්ල මුදුනේදී නිදහස සමරන ආකාරය දැකීමට ඉකුත් පෙබරවාරි 04 දින අපිදු එය තරණය කළෙමු.  

ඉකුත් පෙබරවාරි 04 වැනි දින අපි අලුයම් කාලයේ කෑගල්ල නගරය පසු කරන විට නගරය ජනතාවගෙන් පිරී තිබුණි. ඊට හේතුව ජාතික නිදහස් සැමරුම පැවැත්වූයේ කෑගල්ල නගරයේදී බැවිනි. අපගේ ගමනේ අරමුණ වූයේ මෙරට එක්තරා පළාතක නිදහස සමරන ආකාරය දැක ගැනීමය. ඒ අලගල්ල කඳු වැටිය අවට ගම්වාසීන් නිදහස් දිනයේදී එම කඳුවැටිය තරණය කරමින් නිදහස සමරන ආකාරය දැක ගැනීමය.  පිළිමතලාව, පොත්තපිටිය හා ගල්තුන මාර්ගය ඔස්සේ කඳු තරණය කිරීම අපගේ අරමුණ විය. පොත්තපිටිය පසුකර ගල්තුන නම් ස්ථානයේ තේ වතු මාර්ගයකට අවතීර්ණ වූයෙමු. එහෙත් ඒ මාර්ගය වාහන ගමනට සුදුසු තත්ත්වයෙන් නොවූ බැවිනි. අපට ඉක්මනින් ම දෙපයේ පිහිට පැතීමට සිදුවිය. අතරමගදී හමුවූ අයගෙන් මග විස්තර අසාගෙන අපි තේ වතු ඔස්සේ ඉදිරියට ගියෙමු.  

තේවත්ත නවතින්නේ පොල් ගසක් මෙන් එක හැල්මේ ඉහළට නගින හෙලකිනි. මින් ඉදිරියට අපේ මාර්ගය වැටී ඇත්තේ හෙල මුදුනටය. ඝන වනයෙන් වැසුණු මේ හෙල ඔස්සේ ඉහළට නැඟීමට අඩි පාරක් තිබේ. ඒ ඔස්සේ ගමන ඉණිමගක් නගිනවා වැනි ගමනකි.  අඩි පාර තැලී පොඩි වී අලුත් වී ඇති ආකාරයෙන් බොහෝ දෙනෙකු ගමන් කර ඇති බව පෙනෙයි. අප වනයෙන් වැසුණු හෙල ඔස්සේ අසීරුවෙන් ඉහළට නගිද්දී කන්ද නගින තවත් නඬ කිහිපයක් ද හමුවිය. පවුල් පිටින් ගිය මේ නඩවල අත දරුවන් ද සිටියේය.  අපට ඉහළින් කඳු යායේ තැනින් තැන බෙර හඬ සමඟ සංගීත හඬ ඇසෙන්නේ බොහෝ දෙනෙකු සිටින බව තහවුරු කරමිනි. 

මේ අතරේ අපට පහළින් තවත් නඩයක හඬ ඇසෙන්නට විය. එහෙත් ඒ අමු තිත්ත කුණුහරපය.  වැඩි වේලාවක් ගත වෙන්නට පෙර අවුරුදු 16 - 17 වයසේ තරුණ නඩයක් වේගයෙන් මතු විය. පෙර කී කුණුහරප හඬ ඔවුන්ගේය. ඔවුන් ඇතමෙකු අත පිහිය. තවත් පිරිසකගේ අතේ පොලු ය. “කවුරු හරි පාට් දැම්මොත් දෙමු පෝරියල් එක” ඔවුහු හේතුවක් නැතුව වහසි බස් දොඩති. පිරිස වේගවත් ජවයකින් අප පසුකර හෙල ඉහළින් නොපෙනී ගියේය. තවත් විනාඩි දහයක් පමණ ඉහළට නගිද්දී පහළට බසින තරුණයින් පිරිසක් හමු විය. ඔවුන් අත තිබූ වතුර බැරල් හා වෙනත් බඩු බාහිරාදියෙන් පෙනී ගියේ පෙර දින රාත්‍රිය කඳු මුදුනෙහි ගත කර පහළට බසින පිරිසක් බවය.  “අයියෙ අපි ළඟ වතුර තියෙනවා. ඔය ගොල්ලන්ගෙ අතේ තියෙන බෝතල් පුරවගෙන යන්න. මොකද කන්ද උඩ වතුර බිංදුවක්වත් නෑ. අපි ඉතුරුවුණු වතුර හලන්නේ නැතුව අරගෙන ආවේ මගදි හම්බවෙන අයට දෙන්න. ” ඔවුහු පැවසූහ.  අපට වතුර පරිත්‍යාග කළ ඔවුන් මාවනැල්ලේ සිට පැමිණි මුස්ලිම් තරුණයන් පිරිසකි.  “අපි ඊයෙ කන්ද නැග්ගෙ. අද උදේ ජාතික කොඩිය ගල උඩ දැම්මා.” ඔවුහු පැවසූහ. ඔවුන් අතරෙන් එක් අයෙක් මීට පෙර එකළොස් වතාවක්ම නිදහස් දිනය දා අලගල්ල තරණය කර ඇත. සෙසු පිරිස ද දෙතුන් වතාවක්වත් අලගල්ල තරණය කර ඇත්දැකීම් සහිත වූවන්ය. අපි ඔවුන් දුන් ජලයට ස්තූති කළෙමු.  “අයියලාගෙ කැමරා එහෙම පරිස්සම් කර ගන්න. උඩ කචල් කාරයො වැඩියි. දැන් උඩට ගිය කොල්ලො කට්ටිය අපට බැණගෙන ගියා. අපි රණ්ඩුවට යන්නෙ නැතුව බැහැල ආවා.” යැයි කියමින් ඔවුහු සමුගත්හ. ‍  
වනයක් මැදින් කන්ද නැගි අපි එක්වරම අවතීර්ණ වූයේ එළිමහනකටය. මේ එළිමහන කඳුවැටියේ ඉහළ ප්‍රදේශය පුරා විහිදුණු පතන් බිමකි. පතන් බිම පුරා පැඟිරි මානා යායකි. පැඟිරි මානා මිනිස් පයට පෑගී ඇති නිසාදෝ පැඟිරි සුවඳ සුළඟට මුසුවී ඇත්තේ නැවුම් බවක් ද එක් කරමිනි.  පතන් බිමට පැමිණි පසු අඩි දහස් ගණනක් පහළත් ඈතින් කඳු වැටිත් අතිශය දර්ශනීයව දර්ශනය වෙයි. පැඟිරි මානා භූමිය මැදින් ද ඉහළට නැගි පසු අලගල්ල කඳු වැටියේ මහනුවර පැත්තට අවසන් ඉම හමුවෙයි. එම ඉමෙන් එහා පැත්තෙ ද මහා හෙලකි. එම හෙල කඩුගන්නාව පල්ලමයි.  බෝධි අංකුරය රෝපණයට වඩමවමින්  හෙලේ මැද හරියේ කොළඹ - නුවර දුම්රිය මාර්ගය පිහිටා තිබෙනු දැකිය හැකිය. මේ අතරේ ඡායාරූප ශිල්පී සුදම් ගුණසිංහ දුම්රිය මාර්ගයේ මහනුවර දෙසට ගමන් ගන්නා දුම්රියක් ද කැමරාවට හසු කර ගැනීමට සමත් වූයේය. එහි දුම්රිය පෙනෙන්නේ ගිනිකූරක් තරමටය.  අලගල්ල කඳුවැටියේ උසම ස්ථානය මහගල, කොඩිගල හා කටුසු කොන්ද ආදී නම් වලින් හඳුන්වන ස්ථානයයි. මීට අමතරව කඳු වැටියේ ඉඟුරුගොල්ල හා පූජාගල නමින් තවත් පර්වත දෙකක් පිහිටා තිබේ. පොත්තපිටිය දෙසින් කන්ද තරණය කළ විට හමුවන්නේ කොඩිගල හෙවත් කටුසු කොන්දගලය.  එය කඳුවැටිය මත පිහිටි හුදකලා පර්වතයක් ලෙස ඉහළට නැගී ඇත. එය තරණය කිරීම අතිශය ත්‍රාස ජනක අත්දැකීමකි. පර්වතයේ එක් පසෙකින් නැග අනෙක් පසින් බිමට බැසිය යුතුය. එයින් බසින ස්ථානය කටුස්සකුගේ කොන්දට සමාන ලිස්සන සුලු ය. පර්වතය කටුසුකොන්දගල යනුවෙන් ද හඳුන්වන්නේ මේ නිසාය.  මෙයින් බැසීම ද ඇඟ කිළිපොලා යන ගමනකි. ඊට හේතුව ලිස්සා ගියොත් මහා ප්‍රපාතයට වැටෙන නිසාය. කෙසේ නමුත් බාල, තරුණ හෝ මහලු භේදයකින් තොරව නිදහස සැමරීමට පැමිණ සිටි බොහෝ දෙනෙක් මේ දුර්ගය ද තරණය කරනු දැකිය හැකිවිය.  

කොඩිගල හෙවත් කටුසුකොන්දේ සිට කඳු මුදුන ඔසුසේ කිලෝමීටරයකට වැඩි දුරක් ඇවිද යා හැකිය. මේ දුර අතර ප්‍රදේශය විවිධ ගහකොළ ආදියෙන් පිරී තිබේ. ඇතැම් තැනක මානා පිරුණු එළිමහන් වියළි ස්ථානය. එහෙත් තවත් තැනක් මීවණ පිරුණු අඳුරු සීතල තුරු ගොමු ය. මේ හැම තැනකම රුක් ගොමු අස්සේ කඳු තරණයට පැමිණි නඩ දැකිය හැකිය. ඔවුහු කොංගෝ බෙර වයමින් ගී ගයමින්, කමින් බොමින් ප්‍රීතිවෙමින් සිටිති.  කඳුවැටිය මත වන රොද යටින් පැමිණි අප නැවතත් එළිමහන් බිමකට පැමිණි විට නුදුරෙන් දක්නට ලැබුණේ අතිශය චමත්කාර දර්ශනයකි. ඒ අලගල්ල කඳුවැටියේ සබරගමුව පළාත් ඉමේ පිහිටි අවසන් සීමාව වන පූජාගලයි. 

ඒ මතුපිට කඳු තරණයට පැමිණි සිය ගණනක් දෙනා රැඳී සිටියහ. එතැන සංගීත සංදර්ශනයක් වැනිය. මල්ලිලා අඩි දහස් ගණනක් ප්‍රපාතයට අඟල් කිහිපයක් මෙපිටින් සිට දක්වන රැඟුම් එය නරඹන අපව බියෙන් සලිත කරවයි. තවත් ඇතමුන් හොඳටම වෙරි වී අසිහියෙන් හැසිරෙනු පෙනෙයි. ගීත ගායනා කරණවුන්ගේ මුවින් අසභ්‍ය ගීත ද ගයනු ඇසෙයි.  “මෙන්න ඇක්ෂන් බලාගන්න” තවමත් වයස අවුරුදු දහඅට ඉක්මවා නැති තරුණ ගැටයෙක් ගල මතුපිට සිය ගණනක් දෙනා මැද සිට විවිධ ලිංගික ඉරියව් නිරූපණය කරයි. මේ සියලු දේ අතරේ පවුල් පිටින් පැමිණ සිටින නඩ නිසොල්මන්ව ගල මත වාඩිවී හාත්පස පෙනෙන අතිශය දර්ශනීය දර්ශනයට සම වැද සිටිති.  

පූජාගල මතුපිට සිරිපතුල් ලාංඡනයක් ද පිහිටා තිබේ. නියං සමයන්හි දී ඒ ලාංඡනය මත ඇති කුඩා සිදුරක ජලය, ඉවත් කර පිරිත් සජ්ඣායනා කළ විට වර්ෂාව ලැබෙන බවට විශ්වාසයක් ද පවතී. අප එම ස්ථානයට යන විට සිරිපතුල වටා ලී දඬු හතරක් ලණුවකින් ගැට ගසා තාවකාලික ආවරණයක් සකසා තිබුණේය.  එසේම ඒ අසල මැටි පාත්‍රයක රෝපණය කළ බෝධි අංකුරයක් ද තබා තිබුණි. ටික වේලාවකින් භික්ෂූන් වහන්සේලා දෙනමක් ලී දඬු කිහිපයක් ද රැගෙන එහි වැඩම කළහ. ඉන් එක් භික්ෂූන් වහන්සේ නමක වූයේ අලගල්ල පාමුල මාකෙහෙල්වල ධම්මික පුණ්‍යවර්ධනාශ්‍රමයේ කඩිගමුවේ ධම්මික හිමියෝය. උන්වහන්සේ මාකෙහෙල්වල දෙසින් අලගල්ල නැඟීමට පඩිපෙළක් ගොඩ නැඟීමට ද පුරෝගාමී වී ඇත.  “මේ බෝධි අංකුරය රෝපණය කරන්නයි ආවෙ. මීට කලින් එකක් රෝපණය කළා. කවුරුහරි ඒක කඩල දාලා” ධම්මික හිමියෝ ගලේ පස් එකතු වී තණකොළ වැවුණු තැනක් පෙන්වමින් පැවසූහ.  

නිදහස භුක්ති විඳීමට පැමිණ සිටින පිරිසගේ හැසිරීම පිළිබඳව උන්වහන්සේ කතා කළේ අප්‍රසාදයෙනි.  “මම හිතා ඉන්නෙ බෝපැළයක් රෝපණය කර ගල මතුපිට චෛත්‍යයකුයි බුදු පිළිමෙකුයි හදන්න. ඊට පස්සෙ ඔය විදියට හැසිරෙන්න දෙන්නෙ නෑ” උන්වහන්සේ මෙසේ කියන අතරේදී සිරිපතුල පිහිටි ස්ථානයේ පුද්ගලයෙක් කලහකාරීව කෑගසනු දක්නට ලැබිණි.  ඔහු එක්වරම සිරිපතුල වටා තිබූ දඬු වැට ගලවා විසි කළේය. ඉන් එක් දණ්ඩක් වේගයෙන් අප වෙත ඇදී ආවේය. මම අත්දෙකෙන් මුහුණ වසා ගතිමි. ඇස් ඇර බැලූ විට දුටුවේ වේදනාවෙන් සිය කකුලක් අල්ලාගෙන සිටින සුදම්ය. පොල්ල වැටී තිබු‍ෙණ් ඔහුගේ පාදයකටය. තව නූලෙන් එය වදින්නේ අසල සිටි භික්ෂූන් වහන්සේලාටය.  

දැන් ගල මත රණ්ඩුවකි. දඬුවැට ගලවා විසි කළ බීමත් පුද්ගලයාට බොහෝ දෙනෙක් විරුද්ධත්වය පළ කරනු පෙනෙයි. බීමත් පුද්ගලයාගේ ඥාතීන් ඔහුව ආරක්ෂා කිරීමට ඉදිරිපත්ව ඇත. අඩි කිහිපයක් නුදුරෙන් අඩි දහස් ගණනක මහ හෙලය.  “දැන් ඔය කෑගහ ගැනිල්ල නවත්තන්න. කෑගහ ගත්ත කියල වැඩක් නෑනෙ” ධම්මික හිමියෝ මැදිහත් වූහ. ක්‍රමයෙන් රණ්ඩුව නිමා විය. බීමත් පුද්ගලයා ද දමනය වී ඇත.  ඔහු දැන් කළ වරදට සමාව ඉල්ලා භික්ෂූන් වහන්සේලා දෙනමට වැඳ වැටෙයි. උන්වහන්සේලා ද සමාව දුන්හ. එහෙත් සමාව ඉල්ලීමේ කෙළවරක් නැත. ඔහු කලින් මෙන් ප්‍රචණ්ඩකාරීවම හිටියා නම් හොඳයි කියා දැන් සිතෙයි.  “හරි හරි දැන් කීපාරක් සමාව දුන්නද? ඕනවට වැඩිය සමාව දෙන එකත් කරදරයිනෙ” භික්ෂූන් වහන්සේලා පැවසූහ. බීමත් පුද්ගලයාගේ ඥාතීහු ඔහුව ඉතා අපහසුවෙන් රැගෙන ගියහ.  පූජාගල  ගින්න නිවමින්  “මට තොපේ කෑම ඕනෙ නෑ යකෝ.. තොපිට සාප වෙන්න ඕනෙ” 

ගල මතුපිට තවත් රණ්ඩුවකි. ගැහැනියක් කුඩා දරුවකු ඉනේ ගසාගෙන පරුෂ හා අසභ්‍ය වචනවලින් ද බැණවදිමින් වේගයෙන් එහා මෙහා ගමන් කරයි. බැණිල්ල ඉවසිය නොහැකි වූ තැන ඇගේම නඩයේ මිනිසෙක් ඇයට ගහන්නට පැන්නේය.  කුඩා දරුවා ඇගේ ඉණේය. හෙල අඩි කිහිපයක් එපිටිනි. මගේ ඇඟ සීතල වී ගියේය. වාසනාවකට ඔහු පහර දුන්නේ නැත. මේ අතරේ බෝ පැළය රෝපණයට වළ හාරා අවසන් විය. අපි බෝපැළ රෝපණයට ද සහභාගී වූයෙමු. 

දැන් අපේ අරමුණ මනසට නිදහසක් නැති මේ පරිසරයෙන් සමුගැනීමය.  පූජා ගලේ සිට නැවත කටුසුකොන්ද ගල දක්වා එන අතරේ දී අප දුටුවේ පැඟිරි මානා බිමකට කවුරුන් හෝ ගිනි තබා ඇති බවය. කඳු තරණයට පැමිණ සිටි තරුණයින් දෙදෙනෙක් එම ගින්න නිවීමට හුදෙකලා සටනක නිරත වී සිටියහ. තමන් බීමට ගෙනා වතුර ද ගින්න නිවීමට යොදමින් ඔවුන් ගත් මහන්සියට ගෞරවය පුද කළ යුතුය.  කටුසුකොන්ද ගල පසු කළ පසු නැවතත් අපි ප්‍රපාතය හෙමින් සීරුවේ බැස්සෙමු. දහවල් නඟිද්දී මෙන් දැඩි අව් රශ්මියක් නොවූයේ ඉර අවරට බැස කන්දේ හෙවණැල්ල ප්‍රපාතයට වැටී ඇති හෙයිනි. ‍මේ නිසා කාලගුණ තත්ත්වය අපූරු සීතලකින් යුක්ත විය. 

උදේ කඳු තරණය කළ බොහෝ දෙනෙක් නැවත පල්ලම් බසිනු පෙනෙයි.  මේ අතරේ නැවතත් වයස අවුරුදු දාසයේ දාහතේ මල්ලිලා පිරිසක් කුණුහරුප වක්කරමින් වේගයෙන් පල්ලම් බසති. ඔවුන් වක් පිහි හා වීසි කැති ආදියෙන් ද සන්නද්ධවය. හදිසියේම ඔවුන් ඉහළින් පැමිණෙමින් සිටි තවත් මල්ලිලා නඩයක් සමඟ වචන හුවමාරුවක පැටලුණේය දෙපිරිස අතර දුර මීටර් සීයක් පමණ විය.  “උඩට එන්ටද? කොහොමත් තොපි යන්ට ඕනෙ අපේ ගම මැද්දෙන්” එක් මල්ලී කෙනෙක් වක් පිහියක් උරුක් කරමින්, යන්ට එන්ට ගමේ භාෂාවෙන්ම අභියෝග කරයි. හැමෝගෙම අදහස ගහන්ට, කපන්ට, කොටන්ට සහ මරන්ටය.  “අපි පහළ කැලේට ගිහින් රැකල ඉම්මු උන් එනකම්” එකෙක් යෝජනා කළේය. එය පිළිගත් මල්ලිලා නඩය ප්‍රපාතය පහළට වේගයෙන් බැස කැලෑව තුළට වැදුණේය. අනෙක් මල්ලිලා නඩය ද හෙමින් සීරුවේ පහළට බැස්සේය. දැන් අපට කඳු පහළට බැසීමේ නිදහස ද අහිමි වන අයුරකි. මේ අහක යන රණ්ඩුවට මැදි වේ දෝයි බියෙන් අපි දෙදෙනාත් හෙමින් සීරුවේ පහළට බැස්සෙමු. එහෙත් අපේ වාසනාවට පතන් බිමත් කැලයත් පසුකර කඳු පාමුලට පැමිණෙන අතරවාරයේ ඔවුන් නැවත මුණගැසුණේ නැත.  අලගල්ල කඳු මුදුනේ දී හමුවූ කිසිවෙකු නිදහස් දිනය නිමිත්තෙන් එය තරණය කිරීමේ හේතුව දැන සිටියේ නැත. ඔවුන් කීවේ “ඉස්සර ඉඳන්ම එනවා” කියා පමණකි. 

එහෙත් ඊට හේතුව රැජින පුවත්පතේ කර්තෘ තිලක් සේනාසිංහ මහතා තමන්ගේ railwayhikes.blogspot.com වෙබ් අඩවියේ සඳහන් කර ඇත.  එයට අනුව 1948 පෙබරවාරි 04 දින ලංකාවට නිදහස ලැබෙන බව‍ට ආරංචිය රට පුරා පැතිර ඇත. අලගල්ල පාමුල එක්තරා ගමක මිනිසුන්ට මේ ‘නිදහස’ යනු කුමක්දැයි තේරුණේ නැත. අද මෙන් එදා කොළඹ පැමිණීම පහසු වූයේ ද නැත. එබැවින් ගම්මු පිරිසක් තීරණය කළේ නිදහස දෙන දින උදෙන්ම අලගල්ල නැඟ කොළඹ දෙස බලා සිටිය යුතු බවය. එවිට නිදහස දැකිය හැකි වනු ඇතැයි ඔවුහු සිතූහ.  ඔවුන් 1948 පෙබරවාරි 04 දින උදෑසනින් අලගල්ල නැඟ හවස් වනතුරුම කොළඹ දෙස බලා සිටිය ද කිසිදු විශේෂ දෙයක් දකින්නට ලැබුණේ නැත. අ‍ෙප්ක්ෂා භංගත්වයට පත් ඔවුන් හවස් යාමයේ කන්ද බැස නැවත ගමට ගිය විට සෙසු ගම්මු “හැබෑට උඹලා ඔය ලැබුණයි කියන නිදහස දැක්කද?” යැයි විමසූහ.  එවිට කඳු නැඟි පිරිස “බුදු අප්පොච්චියේ දැක්කද කියලත් අහනවා. එහෙම නිදහසක් නම් අපේ උපන්තේකට දැක්කෙ නෑ” යැයි පිළිතුරු දී ඇත්තේලු. ඉන් අනතුරුව ඊළඟ නිදහස් දිනයේ පටන් සෙසු ගම්මු ද අලගල්ලට නිදහස බැලීමට නැඟ ඇත. මෙය පසුව පළාතේ සිරිතක් බවට පත්ව තිබේ.  එක් අතකින් එදා මුලින්ම කන්ද තරණය කළ ගම්මුන් කියා ඇත්තේ ඇත්තකි. කොළඹ නිදහස දැකීම කෙසේ වෙතත් අතිශය මනස්කාන්ත එම කඳු මුදුන නිදහස භුක්ති විඳීමට සුදුසුම තැනකි.

 එහෙත් කඳු තරණය කරන්නන්ගේම හැසිරීම් හේතුවෙන් කඳු මුදුනේ නිදහස නැතිවී ඇත. එබැවින් අලගල්ල කඳු මුදුනේ නිදහස භුක්ති විඳීමට යා යුත්තේ සෙනඟ ගැවසෙන නිදහස් දිනයේ නොව සෙනඟ නොගැවසෙන දිනවලදී බව මගේ අත්දැකීමය.