Hot!

ශරෝන්ගේ භූමිකාව!


| නිලන්ත ඉලංගමුව 

අනෙක් පුද්ගලයින්ව විභාග කිරීමට ඊශ්‍රායලයට අයිතිය තිබෙනවා වෙන්න පුළුවන්, නමුත් ඊශ්‍රායල රාජ්‍ය හෝ යුදෙව්  ජනතාව විභාග කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැත - ඒරියල් ශරෝන්  

ඔහු ස්වභාවික විනිශ්චයට සහ දඬුවමට පමුණුවනු ලැබූ තවත් එක් යුධ අපරාධ කරුවෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අන්තවාදී නායකයෙකි. තමන්ගේ ගමනේ ඇති වැරදි සහ අසල්වැසි ජනතාව අතුගා දැමීම සිහිනයක් බව පසුව වටහාගත් නායකයෙකි. තමන් සිදුකළ අසාධාරණය ගැන නිවැරදි තක්සේරුවක් රහසෙන් පවතවාගෙන ගිය අයෙකි. සන්නද්ධ සහ දේශපාලන නායකයෙකු   වසර හතකට ආසන්න කාලයක් කෝමා තත්වයේ සිට අද මියගිය බව ප්‍රථමයෙන් දැනුම් දෙනු ලැබුවේ  ඊශ්‍රායලයේ හමුදා ගුවන් විදුලි සේවයයි. ඒ ඒරියල් ශරෝන්ගේ අභාවයයි. 

1948 ඊශ්‍රායලය ජාතක කිරීමේ සිට මේ දක්වා එරට දේශපාලන සහ යුධමය ශක්තියට මුලික වී කටයුතු කළ දෙදෙනා වන ඩේවිඩ් බෙන් ගුරියන් සහ ඒරියල් ශරෝන් කලාපයේ නව ඉතිහාසයක් නිර්මාණය කොට එය නිතීගත කිරීමට සමත් වූ අයවලුන්ය. ඔවුන්ගේ සිහිනය සැබෑ විය. නමුත් විසඳුමක් නැති ලේ වැගිරීම් බහුල වූ තත්වයකට කලාපයම තල්ලු විය.ඊශ්‍රායලයේ නෙතන්යාහු  සහ පලස්තීන ඉතිහාසයේ දුර්වලම නායකයා වන මොහමඩ් අබ්බාස් යන නායකයින් විසින් වර්තමානයේ පාලනය කරනු ලබන්නේ ගුරියන් සහ ශරෝන්ගේ දේශපාලන කෞෂල්‍යයෙන් මෙන්ම තවත් බොහෝ දෙනෙකුක්ගේ සහයෝගයෙන් නිර්මාණය කරනු ලැබූ “ගැටුම් ගොඩබිමයි”.  

සැබවින්ම ශරෝන්ගේ අභාවය ඊශ්‍රායලයට එතරම් කණගාටුවට හේතුවක් නොවුයේ ඔහු දීර්ඝකාලීනව රෝගාතුර වී සිටීම නිසාය. එය 2006 දී  ඔහුට හටගත් හර්දයාබාධයෙන් ඇති වූ සමාජ කම්පනයට වඩා බොහෝ අඩුය. දේශපාලනඥයකු වශයෙන් “ බුල්ඩෝසර්” යන නමින් හැඳින් වූ ශරෝන් පලස්තීනයට අයත් භූමිය අල්ලා ගනිමින් දහස් ගණන් නිවාස ඉදිකළ අයෙකි. ඔහු පිළිබඳව අදහස් දැක් වූ ඊශ්‍රායල වැසියෙකු මාධ්‍යට කියා සිටියේ, ඇතැම් අවස්ථාවලදී ඔහු නව නිවාස 20 ක් පමණ පැයක පමණ කාලයකින් තැනීමට අණ ලබාදුන් අයෙකු ලෙසය. වරකදී පලස්තීනුවන්ගේ ඉදිකිරීම් සමතලා කළ ඔහු තවත් වරකදී ඊශ්‍රායලට අයත් ඉදිකිරීම් සමතලා කරනු ලැබීය. 

පලස්තීනුවන්ගේ මහත් වෛරයට පාත්‍ර වූ හෙතම, කලාපයේ ගැටලුවට සාමය ඇති කරනු වෙනුවට, පලස්තීනුවන් සමූල ඝාතනය කිරීම ගැන සැලසුම් සකස් කළේය. ඔහු මිය ගිය බවට අදාළ පුවත ප්‍රසිද්ධ වූ වහාම පලස්තීන ජනතාව මහත් සතුටට පත් වූ බව මාධ්‍ය වාර්තා කළේය මේ නිසාය. එසේම ලෙබනනයේ වෙසෙන පලස්තීන සරණාගතයින් ඉතා සතුටට පත් වූ බව එරට පලවෙන ඩේලි ස්ටාර් පුවත්පත වාර්තා කළේය.
1967 දින හයේ යුද්ධයේදී මෙන්ම යෝම් කිපුර් යුද්ධයේදී ප්‍රධාන කාර්ය භාර්යක් මෙහෙයවනු ලැබුවේ ශරෝන්ය.  1928 පලස්තීනය්දී උපත ලැබූ හෙතම, වයස අවුරුදු 14 දී ගඩ්නා නමැති ත්‍රස්ත කල්ලියට සමබන්ධ වී  අරාභියට එරෙහිව යුධ වැදුනේය. ඉන් පසු හගනා නැමති සන්නද්ධ කණඩායමට බැඳු හෙතම අවසානයේදී ඊශ්‍රායල ආරක්ෂක බලඇණිය පිහිටුවීමේ පුරෝගාමියා විය. 1948 දී ඊශ්‍රායලය තම නිදහස ප්‍රකාශ කිරීමෙන් පසු පැවතී ගැටුම් තවත් උග්‍රවිය. ශරෝන්ගේ හමුදා බලෑනියට නව සටන් ක්‍රම අත්හදා බැලීමට එය අවස්ථාවක් විය. එසේම ප්‍රකට 1948 ලට්රුන් හී සටන් නමින් හැදින්වෙන ඊශ්‍රායලය සහ ජෝදානය අතර ඇති වූ සටන් වලදී තම උදරයට සහ ඉකිලි ප්‍රදේශයට වැදුණු වෙඩි පහරවල් නිසා ශරෝන් තුවාල ලැබීය. 

ඇතැම් අවස්ථාවලදී තම බලඇණියට සම්බන්ධ සෙබළුන් සිය ගණනක් ජීවිතක්ෂයට පත් වන ආකාරය ගැන මෙන්ම දේශපාලනඥයෙකු ලෙස ඔහු මුහුණ දුන් අභියෝග ගැන, “රණශූරයා” නමින් ලියනු ලැබූ ස්වයං-චරිතාපදානයේ හෙතම සටහන් කළේය. “හමුදාව මුහුණදුන් අභියෝගවලදී බලඇණියක් ලෙස නොව එකිනෙකා සටන් කරනු ලැබුවේ එකම පවුලක් ලෙසය,” ශරෝන් තම චරිතාපදානයේ ලිව්වේය. 

1949 කාලයදී අගමැති ගුරියොන් විසින් ඔහුට ශරෝන් නමැති නම තබනු ලැබීය, ඉන් පසු හෙතම තම පවුල් නාමය ලෙස ශරෝන් භාවිතා කරනු ලබුවේ ශේයිනර්මන් නමැති ඔහුගේ මුල් පවුල් නාමය අත්හැර දැමීමෙනි.
1950 දී ඊශ්‍රාලයේ ඉහළ පෙළේ ඔත්තු සේවා නිලධාරියෙකු ලෙස කටයුතු කළ හෙතම ඉන් පසු තම අධ්‍යාපන කටයුතු සඳහා සේවයෙන් නිවාඩු ගනු ලැබීය. කෙසේ වෙතත්,  අගමැති  ගුරියන්ගේ නියෝගයකට අනුව  “ 101 ඒකකය” පිහිටුවීම සඳහා ශරෝන් යළිත් සේවයට බැඳුණි. තම හමුදා සේවයෙන් විශ්‍රාම ගිය හෙතම 1973 දී ලිකුඩ් පක්ෂය පිහිටුවීමට පුරෝගාමී වී තම  දේශපාලනය ආරම්භ කළේය.  කෙසේ වෙතත් එම වසරේදීම යොම් කිපුර් යුද්ධය ආරම්භ වූ හෙයින් ඔහුට යළිත් හමුදා සේවයට බැඳීමට සිදු විය. මැතිවරණයේදී ශරෝන් ජයග්‍රහණය කළද වසරකින් පසු හෙතම ඉල්ලා අස් විය. ඉන් පසු යළිත් දේශපාලනයට පිවිසි හෙතම 1981 පැවතී මැතිවරණයෙන් ලිකුඩ් පක්ෂය ජයගැනීමෙන් පසු ඊශ්‍රායලයේ ආරක්ෂක ඇමතිවරයා බවට පත් විය. මෙම කාලයේදී ඔහු කලාපයේ යුධ ගැටුම් තව තවත් උත්සන්න කිරීම සඳහා කටයුතු කරනු ලැබීය. 

ඊශ්‍රායලයේ ආරක්ෂක ඇමති ලෙස ඔහු දහස් ගණනක් නිරායුධ සිවිල් වැසියන් හිතා මතාම ඝාතනය කිරීම සඳහා  ඍජුවම වග කිව යුතු අයෙකි. විශේෂයෙන්ම 1982 දී ලෙබනනය ආක්‍රමණය සහ එම වසරේදීම සැප්තැම්බර් මාසයේදී සිදුකල සබ්‍රා සහ ශටීලා සමූල ඝාතනය සඳහා ශරෝන් අණ දෙනු ලැබීය. එම සිදුවීම නිසාම ශරෝන්ට, “බීරූට් හී ඝාතකයා” යන අන්වර්ථ නාමය ලැබුණි.  එසේම අදාළ සමූල ඝාතනය ගැන විමසීම සඳහා ඊශ්‍රායලය විසින්ම පිහිටවනු ලැබූ කහන් කොමිසම මඟින් ශරෝන් වැරදි කරුවෙකු බව ඔප්පු කොට ඔහුට තම ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට නියෝග නිකුත් කරනු ලැබීය. කෙසේවෙතත් ශරෝන් ඉලා අස්වීම ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඉන් පසු ඇති වූ මහජන කලහය හමුවේ ඔහු ආරක්ෂක ඇමති ධූරයෙන් ඉල්ලා අස් වී කාර්ය භාර්යක් නොමැති ඇමතිවරයා ලෙස එම කැබිනට් මණ්ඩලයේම සිටියේය. තම චරිතාපදානයේ අදාළ කාලපරිච්චේදය ගැන සඳහන්  කරන ශරෝන් “ කාරය භාර්යක් නොමැති වූ නමුත් අනෙක් ඇමතිවරුන්ගේ කටයුතු ගැන සොයා බැලීමත් විශේෂයෙන්ම අප්‍රිකානු නායකයින් සමඟ ආණ්ඩුව ඇතිකරගෙන තිබු ගිවිසුම් ගැන සලකා බැලීමත් තමන්ගේ  ප්‍රධාන කටයුතු”, වූ බව සඳහන් කළේය. 

ඉන් පසු 2001 දී අගමැති ධූරයට පත්වන තෙක් ශරෝන් විවිධ අමාත්‍ය ධූර දරනු ලැබූ අතර මෙම කාලයදී පලස්තීනය පිළිබඳව  ඔහුට  තිබු අනත්වාදී අදහස් ක්‍රමයෙන් පහවී යන ආකාරයක් දක්නට ලැබුණි. එය දේශපාලන උගුලක්ද නැතහොත්  කලාපීය සාමය වෙනුවෙන් සැබෑ කැපවීමක්ද  යන්න කාටත් පසුව දක්නට ලැබුණු කාරණයකි. 

ශරෝන් වූකලී කලාපයේ ගැටලුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා බලය තිබු නමුත් තම අන්තවාදී ප්‍රතිපත්තිය නිසා එය හිතා මතාම මඟ හරිනු ලැබූ නායකයෙකි. එබැවින් සිදු වූයේ කලාපය තව තවත් ලේ වැගිරීම් වලට තල්ලු වීම පමණි. හැකි උපරිමයෙන් පලස්තීනුවන් අතුගා දැමීමට උත්සහ කළ හෙතම එය කළ නොහැකි දෙයක් බව අවබෝධ වූ විට පලස්තීනුවන්ට හිමි අයිතිය වෙනුවෙන් කියා සිටියේ, “ තමන්ට පලස්තීනුවන් දීර්ඝ කාලයක්” යටත් කරගෙන සිටීමට කිසිඳු වුවමනාවක් නොමැති බවයි. එසේම දේශපාලනඥයෙකු  ලෙස බොහොමයක් දූෂණ  සහ වංචා වලට හෙතම වගකිව යුත්තෙකි. විශේෂයෙන්ම ග්‍රීක දුපත් සම්බන්ධය නමැති ඊශ්‍රායලය පුරා මහත් ආන්දෝලනයකට තුඩුදුන් මූල්‍ය වංචාවට ඔහු ඍජුව සම්බන්ධ වූ බව නොරහසකි. 

ශරෝන්ගේ ගමන අවසානය. අගමැති සිමොන් පෙරේස්ට අනුව, “ශරෝන් වූ කලී ජාතියට ආදරය කළ සේම ජාතියේ ආදරය ලබා ගැනීමට වරම ලැබූ අයෙකි.” 1982 වසරේ සිට ස්ථූල බාවයෙන් පීඩා විඳි ශරෝන් වරක් මෙසේ කිව්වේය, “ මම ජීවිතයට ආදරෙයි. එහි සියල්ලටම, විශේෂයෙන් මම කෑමට ආදරෙයි.” මැදපෙරදිග පවතින නොනවතින ගැටලුව සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක වැඩපිළිවෙලක් කළ ශරෝන් සැබවින්ම ඉතිහාසය විසින් විවිධාකාරයෙන් සටහන් කරනු ඇත. දෙපාර්ශවය අතර පවතින අයිතීන් පිළිගෙන භූමියේ පවතින සත්‍ය තත්වය තේරුම් ගෙන දෙපාර්ශ්වයටම ඇති අයිතිය පිළිගනිමින් දිගුකල් පවතින විසඳුමක් වෙතට තල්ලු කිරීමට හැකි කිසිම නායකයෙකු ඊශ්‍රායලයේ හෝ පලස්තීනයේ බිහි නොවීමට ඉඩදීම සැබවින්ම  කණගාටුදායක කාරණයකි. අගමැති ඩේවිඩ් බෙන් ගුරියොන් වරක් ප්‍රකාශ කළ පරිදි, “සදාචාරයක් සහ  ස්වාධීන ප්‍රඥාවක් නොමැති තැන ජාතික ස්වාධීනත්වයට ආරක්ෂාවක් නොමැත.”  ඊශ්‍රායල-පලස්තීන ගැටුම මෙන්ම ශරෝන්ගේ භූමිකාව හිර වී ඇත්තේද එම ප්‍රතික්ෂේප කළ නොහැකි ප්‍රක්ෂේපනය තුළ යැයි සිතේ.