Hot!

අද කලාකරුවන් දේශපාලනයට එන්නේ කලාවට ජනතාවට සේවයක් කරන්න කියන එක පට්ටපල් බොරුවක්

ජිප්සීස් නායක සුනිල් පෙරේරා
Sunil1කලා ලොවේ තරු දේශපාලන කරළියට සම්ප්‍රාප්ත වීම මෑත කාලයේ කිසියම් ප්‍රවණතාවක් වී ඇති බව පෙනේ. මේ බොහෝ දෙනා කියන්නේ ජනතාවට හා කලාවට යම් සේවාවක් කිරීමේ පරම පිවිතුරු අරමුණින් දේශපාලන භූමියට එක්වූ බවය. නමුත් එසේ එක්වූ අයගෙන් ඉටුවූ මෙහෙවර තක්සේරු කොට බැලීමේදී කැපී පෙනෙන තරමේ යමක් වී ඇතිදැයි බොහෝ අය විමසති. ඇතැමුන් උපහාසයෙන් යුතුව ප්‍රකාශ කරන්නේ මේ බොහෝ කලාකරුවන් කලාකාරියන් දේශපාලනයට එක් වූවාය කියා කලාවටවත්, දේශපාලනයටවත් කරපු කෙන්ගෙඩියක් නැති බවයි. 

පහත පළවන්නේ අපේ රටේ කලාව ගැන මෙන්ම දේශපාලනය ගැනද සෘජුව අදහස් ඉදිරිපත් කරන අයෙකු ලෙස ප්‍රකට සුනිල් පෙරේරා සමග, කලාකරුවන්/කලාකාරියන් දේශපාලනයට පිවිසීම ගැන කළ කෙටි පිළිසඳරකි.


කලාකරුවන්/ කලාකාරියන් දැන් දිගට හරහට දේශපාලනයට පිවිසෙනවා. ඔබ හිතන හැටියට මොකක්ද මේකට හේතුව?

ඒ අයගෙ අසරණකම 

අසරණකම කිව්වේ ?

එක්කෝ ආර්ථික පැත්තෙන් අසරණයි. නැත්නම් සමාජ පිළිගැනීම පැත්තෙන් පිරිහීම. බලා‍පොරොත්තු වන තාන්න මාන්න, බලය, කලාව තුළ ඉඳල ලබාගන්න බැරිවීමෙන් ඇතිවූ අසරණකම වෙන්නත් පුළුවනි. ඔය හැම විදියේ අසරණකමකටම හොඳම හා එකම විසඳුම තමයි අද අපේ රටේ දේශපාලනය.

දේශපාලනයට පිවිසීමෙන් ඔය කියන අසරණකම් මැකිල යනවද?

අද අපේ රටේ දේශපාලනයට කරන්න බැරි දෙයක් නැති තරම්. දේශපාලනඥයෙකු ළඟට ගිහින් ඔළුව පාත් කරලා ‘සර්’ කියන්නේ නැතුව තමන්ගේ යම් කටයුත්තක් කර ගත හැකි සිවිල් පුරවැසියෙකු අද හොයාගන්න බැහැ. දේශපාලනඥයෙක් වුණාම මොන තරම් නම් වරප්‍රසාද ළඟා කරගන්න පුළුවන්ද? 

මොනවද ඒ වරප්‍රසාද? 

විශාල ආර්ථික වාසි, කොමිස්, කොන්ත්‍රාත්තු, විදෙස් සංචාර, වාහන පර්මිට් වැනි කෝටි ගණන් ලාභ ලැබිමේ අවස්ථා. මේවාට අමතරව නිල නොවන වරප්‍රසාදත් කොච්චර නං  තියෙනවද?

ඒ මොනවද?

ඇයි තමන්ට එරෙහිවන අයට අඩන්තේට්ටම් කරන්න, මිනී මරන්න, ස්ත්‍රී දූෂණ කරන්න. මේ සේරම කරල  ඉතා පහසුවෙන් නීතියෙන් ගැලවිල යාමේ වරප්‍රසාදයත් තියෙනවනෙ.

කලාකරුවන් දේශපාලනයට පිවිසෙන්නේ ඔය විදියේ දුෂ්ට ච්ෙතනාවන් මුදුන් පමුණුවා ගන්න කියල කියන්න බැහැ නේද?

ච්ෙතනාවන් විවිධාකාර ඇති. නමුත් රටේ බලවතුන් ළඟින් ඇසුරු කිරීමේ හා ඒ තුළින් තමාටත් බලයක් ලබාගැනීමේ ච්ෙතනාව තමයි ප්‍රධානම ච්ෙතනාව. ඉතිරිය ඉන් පස්සේ.

 දේශපාලනයට පිවිසි කලාකරුවන් හැමෝම පැවසුවේ “සමාජයට මෙහෙවරක් කරන්න. කලාවට සේවයක් කරන්න” දේශපාලනයට එනවා කියලා.
ඒත් අසරණකමට තමයි

ඒ කිව්වේ....?

“මට යමක් කරගන්න මම දේශපාලනයට එනවා” කියල කියන්න තරම් ශක්තියක් නැති හින්දා ඔය විදියේ බොරුවක් කියනවා. ඒකත් අසරණකමක් නේ. එහෙම නැතුව කලාවට, සමාජයට සේවය කරන්න දේශපාලනයට එනවා කියන එක පට්ටපල් බොරුවක්.

දේශපාලනයට එන කලාකරුවන්ට ඔබ කී විදිහට සමාජය තුළ බලයක් ලැබෙනවා. ඒ බලය තුළින් ඒ අයට කලාවට හෝ සමාජයට යමක් කරන්න බැරිද?

පුළුවනිද බැරිද කියල බලන්න ඒ සේවය මතක් වෙන්න එපැය. මම මුලින් කී විදියට තමන්ට යමක් කරගැනීමේ ච්ෙතනාවෙන් දේශපාලනයට ගියාම ඒ අයට මුලින්ම මතක් වෙන්නේ තමන්ගේ ච්ෙතනාව මුදුන්පත් කරගන්න කළ යුතු දේවල් ගැනයි. ඒ දේවල්වලට ගියාම කලාව ගැන ජනතාව ගැන ඉබේම අමතක වෙලා යනවා.

කලාකරුවන් තරු බවට පත්වන්නේ කලාව තුළ කරන දේ තුළින්. දේශපාලනය නිසා කලාවෙන් ඈත්වුණාම ඒක ඒ අයට අවාසියක්නේ?

අවාසියක් වෙන්නෙ නැහැ. ඊට පස්සේ ඒ අය දේශපාලන තරු බවට පත් වෙනවා. ඒ අය කරන කියන දේ, හැසිරෙන විදිහ නිබඳ කතාබහට ලක්වෙනවා. ඔය අතරේ මං අර මුලින් කී වරප්‍රසාදත් ලැබෙනවා. කලා ලොවේ තරු විදියට ලබන දීප්තියට වැඩි දීප්තියක් දේශපාලන තරු විදිහට ලැබෙනවා. ඉතින් කලාවට යොදවන කාලය අඩු කළාට ඒ අයට කිසිම අවාසියක් වෙන්නේ නැහැ. නම් වශයෙන් කියන්න බැරි වුණාට එහෙම චරිත තියෙනවා. නම් නොකිව්වට, මං හිතන්නෙ අපේ පාඨකයන්ට ඒ අය හඳුනගන්න එක ඒ තරම් අමාරු නැහැ.

සමාජ මෙහෙවරක් කිරීමේ ච්ෙතනාවෙන් දේශපාලනයට යොමුවූ කිසිම කලාකරුවෙක් නැද්ද?

ඔය ප්‍රශ්නෙට උත්තරේ විදියට මටත් අහන්න තියෙන්නේ ප්‍රශ්නයක් .“සමාජ මෙහෙවරක් කරන්න දේශපාලනයට යා යුතුමද” කියල තමයි මම අහන්නේ. නැති බැරි කෙනෙකුට උදව් උපකාර කරන එක, ළමයෙකුට ‍පොතක් පතක් අරන් දෙන එක සමාජ සේවයක්. ඕක පෞද්ගලික මට්ටමෙන් තමන්ගෙ ශක්ති ප්‍රමාණයෙන් කරන්න බැරිද? දේශපාලනයට යොමුවෙලා ඔතැනින් එහා ගිය මහා ලොකු සමාජ මෙහෙවරක් කළ කලාකරුවන් ඉන්නවද?

පිටරටවලත් කලාකරුවන් දේශපාලනයට යොමුවූ අවස්ථා තියෙනවා නේද?

මයිකල් ජැක්සන්, එල්විස් පේ‍රස්ලි, එල්ටන් ජෝන් ඡන්දෙ ඉල්ලන්න ගියෙ නෑනේ.

නමුත් අපේ අසල්වැසි ඉන්දියාවේ පවා කලාකරුවන් අපේ රටේ වගේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමේ ප්‍රවණතාවක් තියෙනවා.

ඔව් ඉතින් ඉන්දියාවත් අංජබජල් රටක්නේ. උදාහරණයක් කිව්වොත්, ස්විට්සර්ලන්තය වගේ රටවල දේශපාලනඥයන්ට ලොකු බලයක් නැහැ. සාමාන්‍ය මිනිසුන්ට ඊට වඩා බලයක් තියෙනවා. ලංකාව, ඉන්දියාව වගේ රටවලත් ඒ විදියේ තත්ත්වයන් තිබුණ නම් අතින් වියදම් කරගෙන, කෑ කෝ ගහගෙන, දුක් විඳගෙන දේශපාලනයට යොමුවන්න කවුරුවත් ඉදිරිපත් වෙන එකක් නැහැ.

කලාකරුවන් දේශපාලනයට පිවිසීමට යොදා ගන්නා ප්‍රධානම සුදුසුකම හුදෙක් ඔවුන්ගේ ජනප්‍රියත්වය පමණක් නේද?

තවමත් අපේ රටේ මෝඩ මිනිසුන් බහුතරයක් සිටිනවා. ඒ අය ජනප්‍රිය චරිතවලට වඳින පුදන ගතියක් තියෙනවා. මේ හේතුව හින්දා නළු නිළියන්, ගායක ගායිකාවන් මැතිවරණවලට ඉදිරිපත් කිරීම ඡන්ද එකතු කරගන්න හොඳ උපායක්. දේශපාලන පක්ෂ වගේම දේශපාලනයට එන ජනප්‍රිය චරිතත් ඒක දන්නවා. ඒ සුදුසුකමත් එක්ක දේශපාලනය සඳහා තිබිය යුතු අනෙක් සුදුසුකමුත් තිබෙනවා නම් ගැටලුවක් නැහැ. ප්‍රශ්නෙ තියෙන්නේ මේ හුඟ දෙනෙකුට ඒ අනෙකුත් සුදුසුකම් නැති වීමයි.

දේශපාලනයට එන්නට තිබිය යුතු එකී සුදුසුකම් මොනවාද?

අධ්‍යාපනය, අවබෝධය හා දැනීම. දේශපාලනය ගැන ඉහළ දැනීමක් තිබිය යුතුයි. ඒ වගේම අනෙක් විෂයන් ගැනත් ප්‍රමාණවත් අවබෝධයක් තිබිය යුතුයි. අර මම මුලින් සඳහන් කළ රටවල යමෙකු දේශපාලනයට එනවා නම් ඔවුන් විවෘත සංවාද වලට ඉදිරිපත් වීම අත්‍යවශ්‍යයි. එතැනදී මිනිස්සු බලනවා මේ පුද්ගලයාට ඡන්දය දීමට සුදුසුද කියා. ඒත් අපේ රටේ ජනතාව එතැන නැහැ. තවත් දෙයක් කිව යුතුයි. අපේ රටේ ඉතා ඉහළ බුද්ධිමතුන්, උගතුන් සිටිනවා. දේශපාලනය ගැන, රට ගැන ඉතා ඉහළ අවබෝධයක් වගේම, අද තිබෙන ගැටලුවලට පිළියම් සෙවීමේ නුවණත් ඒ අයට තිබෙනවා. නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ ඒ අය කියන පදයට නටවන්න බැරිකම. ඒ හින්ද ඒ වගේ අයව තම පක්ෂයට එකතු කරගන්න අපේ දේශපාලනඥයන් කැමති වන්නේ නැහැ.

යම්දාක ඔබ දේශපාලනයට පිවිසිලා, ඇමැතිකමක් වගේ තනතුරක් ලැබුණොත් මොකද කරන්නේ ?

හෙට ඉඳලා මම ඔයාලගෙ පත්තර කන්තෝරුවට ඇවිත්, ඔයා වෙනුවට ලිපි ලියන්න පටන් අරගෙන, ඔයාව මගෙ සංගීත සංදර්ශනවල සිංදු කියන්න යැව්වොත් ඔයාලගේ පත්තරෙයි, මගෙ සංගීත සංදර්ශනයි දෙකටම මොකක් වෙයිද කියල නිකං හිතල බලන්න. මට ඇමැතිකමක් දුන්නොත් ඒ අමාත්‍යංශයට වෙන්නෙත් ඒ දේම තමයි.

ආරියවංශ කුලතිලක