Hot!

කොමිසන්වල “ඔමිසන්” සංස්කෘතිය


නිලන්ත ඉලංගමුව 

‘ලෝකෙයේ තියෙන කොහේ හරි රටක මෙවැනි දේවල් කිව හැක්කේ කවදාද? මගේ දුප්පතුන් සතුටෙන්,  මුග්ධකම හෝ මුලාව ඔවුන් අතර නැත. බන්ධනාගාර හිරකරුවන් නැති හිස්  ගොඩනැගිලිය, වීදී හිඟන්නන්ගෙන් තොරය, මහලුකම  අඩුපාඩුවක් නොවේ, බදු පීඩාවක් නොවේ,  සිහිබුද්ධිය ඇති ලෝකය මගේ මිතුරායි මන්ද මම එහි සතුටේ මිත්‍රයෙක් වන හෙයිනි. මෙවැනි දේවල් කීමට හැකිනම් එම රටේ ආණ්ඩුව ගැනත් ව්‍යවස්ථාව ගැනත් ආඩම්බරය´- තෝමස් පේන්

තවත් පිටු 500 කට අධික කොමිසන් වාර්තාවක් නිකුත් කොට ඇති බවත් එය අදාළ විෂයභාර ඇමතිවරයාට භාර දී ඇති බවත් සඳහන්ය. මාධ්‍ය වාර්තා වලට අනුව උසස් විනයකින් සමන්විත කිසිඳු අපරාධයක් කොට නැති, කිසිඳු වංචාවකට හෝ දුෂණයකට සිහිනයකිඳු වගකිව යුතු නැති,  රජයේ ආරක්ෂක හමුදාව අදාළ ස්ථානයේ සාමය ආරක්ෂා කිරීමට ස්ථාන ගත කිරීම ස්ථානොචිත ප්‍රඥාවකි. රැඳවියන් එකිනෙකා වෙඩි තබාගෙන ඇත. එකිනෙකා මැරී වැටී ඇත්තේ එම වෙඩිපහරවල් වලිනි. කතාව ගලාගෙන යන අයුරු අපූරුය. නමුත් සත්‍යට අනුවනම් මෙය  ගැහුව්වා, පැන්නා, දිව්වා, හැංගුනා; සංස්කෘතියේම තවත් එක ඛේදනීය නාටකයක ජවනිකාවකි . 

මේ සියල්ල පසුගිය 2012 වසරේ අගභාගයේදී සිදු වූ  වැලිකඩ මිනිස් ඝාතනය සම්බන්ධයෙනි.  රැඳවියන් එකිනෙකා වෙඩිතබා ගත්තද, විශේෂ කාර්ය බලකායේ අනුහසින් නිරායුධ අයත් මැරුම් කෑවේද, යන්න දන්නේ මිනි මරපු උන් සහ එය දුටු අයය. මෙන්ම ඊට ඉහල සිට අණ දුන අයය. මෙය බරපතල තත්වයක් වන අතර මුලික වගකීම ඇත්තේ පාලක ආණ්ඩුවටය, වඩාත් ඍජුව කියන්නේනම් සේනාධිනායකයා ලෙස ජනාධිපති රාජපක්ෂට සහ ඔහුගේ ආරක්ෂක ආමාත්‍යාංශ ලේඛම් වරයාටය. 

සිදුවීමට පෙර තත්වය ගෙන බැලුවහොත් මෙය තේරුම් ගැනීම අපහසු නැත. අවසාන නිගමනය ලෙස රැඳවියන් එකිනෙකා මරා ගත්තෝය, යන්නට පෙර සිතා බැලිය යුතු මුලික කාරණය, ඔවුන්ට අදාළ ස්වංක්‍රීය ගිනි අවි ලබා ගැනීමට මාර්ගය සකස් වූයේ කෙසේද යන්නය. එය ක්ෂණිකව පහළ වූ අදහසකින් සිදුකළ හොරකමක් යැයි කිව හැකිද? ඕනෑම අයෙකුට තේරන සත්‍යනම්, අදාළ අපරාධය ඉතාම සුක්ෂමව සැලසුම් කළ එකක්‌ බව එහිදී මැරුම් කෑ අයගේ දේශපාලන සහ සමාජ වටපිටාව ගෙන බැලීමේදී දක්නට ලැබේ. 

කෙසේ වෙතත් අදාළ වාර්තාව ප්‍රසිද්ධ කිරීමට ආණ්ඩුව හෝ අදාළ විෂයභාර ඇමතිවරයා  තීරණය කරන්නේද යන්න  ස්ථීර නැත. මන්ද , ආණ්ඩුවේ දැඩි බලපෑම මත සකස් කොට ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි බලපෑම නිසා නිකුත් කළ එල්. එල්. ආර්. සී. වාර්තාවෙන් ජනාධිපති රාජපක්ෂ හොඳ මට්ටුවක් වින්දේය. විඳිමින් සිටින්නේය.  ගම්වල ටින්කිරි ගාගත්තා යයි කියන්නේ එවැනි කටයුතු වලටය. නමුත් ජනාධිපති රාජපක්ෂ යළිත් තමන් යටතේ සිටින අයවලුන්ගෙන් ටින් කිරි නොගාගෙන,  මුළු රටටම ටින්කිරි ගා ඇත.  චීන ණය යටතේ අප්‍රිකාවේ රටවල මෙන්ම ලංකාවේ ඉදිවෙන මාර්ග වලින් වසා දමා ඇත්තේ එම සත්‍යයයි.
කෙසේ වෙතත්, අනෙක් කරුණු අමතක කොට, මහජන බධු මුදලින් මෙවැනි වාර්තා සකස් කිරීමට මුදල් වෙන් කිරීම ගැන පමණක් සිතා හෝ මෙය ප්‍රසිද්ධ කිරීමට බල කිරීමේ අයිතියක් ජනතාවට තිබේ. එසේම මියගිය අයවලුන්ගේ ඥාතීන්ටද ඒ සඳහා බලකිරීමේ අයිතියක් තිබේ. නමුත් භූමියේ පවතින ඇත්ත තේරුම් ගත යුත්තේ මෙතනදීය. 

අනෙක් ක්ෂේත්‍ර  මෙන්ම නීති ක්‍රමයද  , බලයට කෑදර කෛරාටක  එකාධිපතියෙකුගේ, රූකඩයක් බවට පත්වී ඇති වත්මන් වටපිටාවක සිදුකළ හැකි එකම කටයුත්ත අදාළ අපරාධය වෙනුවෙන් අගතියට පත් අයවලුන්ට කතා කිරීමට අවස්ථාව සලසා දීම සහ ඊට ඇහුන්කම් දීමය. ඒ වෙනුවෙන් වාර්තා කිරීමය.  

මන්ද, ඒකාධිපතියා තමන්ට රිසි සේ ඉතිහාසය වෙනස් කරමින් හමුවෙන  හැම ගල් සහ කොන්ක්‍රීට්  කණුවකම තම නම කොටා ගැනීමේ මේනියාවෙන් පෙලෙන තත්වයක් හමුවේ, අපේ මීළඟ පරමපරාවලට සංරක්ෂණය කර තැබිය යුතු මෙන්ම එකාධිපතියාගෙන් සඟවා තැබිය යුතු සත්‍ය ඉතිහාසයක් නිර්මාණය කළ යුත්තේය. එය යුද්ධය නිමා කිරීම නාමයෙන් තම සියලු අයිතීන් පවා දෙමින් එකාධිපතියාගේ සපත්තු ලෙවකන බහුතරයකට වඩා ඔවුන්ගෙන් පසු ඉපදීමට සිටින පරම්පරා වෙනුවනි. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම  කියන්නේනම්, මීළඟට ඉපදී අපේ පව්ද වන්දිය ලෙස රැගෙන යෑමට සිදුවන ණයකාර පරම්පාරව වෙනුවනි.   

මරාදමනු ලැබූ හැම අයෙකුගේම මුලික වගකීම පැවරී ඇත්තේ අපේ බධුමුදලින් නඩත්තු වෙන , දෙශාපාලනය ආයුධයක් කරගනිමින් අනෙකාව පීඩාවට පත් කරන මෙම රැලටය. එය එකිනෙකා අතර වෙඩි තබා ගත්තා යයි කීමෙන්, සඟවා ඇති ආයුධ පෙන්වීමට ගොස් අත් බෝම්බයක් ගැසීමට දැඟලීම නිසා වෙඩි තැබීමට සිදු වුණා යැයි කිරීමෙන් වැසියනොහැකි පරම සත්‍යකි. 

වැලිවේරියේදී සිදුකළ මිනිස් ඝාතනයේ වාර්තාව අද වනතුරු ප්‍රසිද්ධ කොට නැත. මන්ද, එහි කීමට දෙයක් නැති නිසා, අවසානයේදී සඟවා තැබුවේය. එසේ  නොවුනේනම්, අදාළ ජනතාව දෙපිලට බෙදී වෙඩි තබාගෙන මරා ගත්තේ යැයි කියනු ඇත. එසේම පිටු සිය ගණනකින් සමන්විත මෙම වැලිකඩ යුද්ධය ගැන වාර්තාවද ප්‍රසිද්ධ කරනු ඇතැයි විස්වාශ කිරීමම මුලාවකි. මෙය වෙන කිසිවක් නොව, ලංකාවේ කොමිසන් වල ප්‍රචලිත ඔමිසන් ( බැහැරකිරීමේ ) සංස්කෘතියයි.  මෙවැනි මුසාවන් වලින් ඔබේ ඔලුව පුවරවන විට , ඔබට ඔබ ගැන ආත්ම විස්වාසයක් තබා ඔබ මිනිසෙකුට හිමි මුලික ආත්ම ගරුත්වයටවත් මෙම ඒකාධිපතියා ( ආඥාදායකයා) යටතේ වරම් ලබා නැති බව තේරුම් ගැනීම අපහසු නැත.