Hot!

මැග්නා කාර්ටා තබා මයිනර් කාර්ටාවකටවත් ඉඩක් නැති සිරි ලංකාව

| නිලන්ත ඉලංගමුව

රුධිරය මත තනන පදනම නිශ්චිත නැත
අනුන්ගේ මරණින් නිශ්චිත ජීවිතයක් මුදුන්පත් කරගත නොහැකිය
- ජෝන් රජු ( ජෝන් රජුගේ ජීවිතය සහ මරණය - විලියම් ශේක්ෂ්පියර්)

අප අතර සිටින සමහරක් ඔවුන්ට වෙනසක් ඇති කිරීමට පුළුවන් කියා විශ්වාස  කරති. ටික වෙලාවකින් ඔවුහු  උමතු කළ එම ඉන්ද්‍රජාලයෙන් හදිසියේ ඔවුහු අවධි වෙති. ඉන් පසු ඔවුන්ට, ඔවුහු අසමත් කියා අවබෝධ වෙති. අපට මුහුණ දීමට ඇති  මෙම සංකීරණයෙන් සහ යතාර්ථයෙන් පිස්සු වැටීම ( උමතු වීම ) වැළක්වීමටනම්  කිසියම් දෙයක් අවශ්‍ය වේ. අපේ බොහොමයක් සිහින වල ගැබ් වී ඇත්තේ මෙම යථාර්ථයයි. වික්ටර් ෆ්‍රාන්ක්ල් පුද්ගලයෙකු මුහුණ දෙන ඕනෑම තත්වයකදී ඔහු තේරුමක් සොයන බව අර්ථකථනය කරන්නේ මෙහිම ප්‍රයෝගිත සන්තාවයි.

පවතින ආඥාදායක ( ඒකාධිපති )  පාලන ව්‍යුහය සහ ඒ සඳහා නිදහසින් පසු මෙරට ගමන් කළ ආකාරය නොදත් හෝ හිතා මතාම අමතක කරන ඇතැම් දේශපාලන විචාරකයින් මෙබඳුම වූ සිහිනයක පැටලී සිටිති.  ඉන්දියාවේ අන්නා හසාරේගේ දුෂණයට එරෙහි පුළුල් වැඩපිළිවෙළේ එක්  ප්‍රතිඵලයක් වන අර්වින්ද් කෙජ්රිවාල් දිල්ලි ප්‍රාන්තයේ මහඇමති වීම පිළිබඳව දේශීය වශයෙන් පලවෙන අදහස් බොහොමයක් පමණට වඩා ඉලිප්පීම හෙවත් නැති දෙයක් කියාපෑම වැනි තත්වයක්  ඉස්මතු කරයි. ඉන්දියානු දේශපාලනයේ ඇති සංකීරණ තත්වය සේම ලංකාවේ තත්වය සමඟ ඉන්දියාව ගැලපීමට යාම හාස්‍ය ජනක දේශපාලන විහිළුවකි.

කෙජ්රිවාල් වූ කලී කුණුවෙමින් පවතින නමුත් සම්පූර්ණයෙන්ම කුණු වී නැති සමාජ ව්‍යුහයක වංචාවලට එරෙහිව දේශපාලනය කළ දේශපාලනඥයකි. ඔහු  මෙන්ම අන්නා හසාරේගේ සමාජ ව්‍යාපාරය  ලංකාවේ ඉපදුනානම් මේ වන විටත් ඔවුහු ආගිය අතක් නැත. එක්කෝ ඔවුන්ගේ උපවාසය ආරම්භකොට පැය කිහිපයක් ගිය පසු පදමට බැට දී මුල්ලකට ගාල් කොට හමාරය. පාර්ලිමේන්තු මන්ත්‍රී තෙවරප්පෙරුම  පසුගියදා සිදුකළ උපවාසයේදී ඔහුට  සුනඛයින් ගැට ගසන දම්වැල් වලින් බැඳගෙන උපවාස කිරීමට සිදු වූයේ මන්ද? එපමණක් නොව ඔහු එම උපවාසය සිදුකරන විට තම පක්ෂයේම සිටින ඇතැම් දේශපාලනඥයින් ඔහුගේ එම ව්‍යායාමය බයාදු කිරීමට අර ඇන්දේ කෙසේද? ඔහු වෙනුවෙන් පෙනී සිටි සාමාන්‍ය ජනතාව කෙතරම්ද ? ලංකාවේ පවතින නීරස තත්වය ඔබේම පිළිතුරු වලින් ඔබට ලබාගත හැකිය. කෙජ්රිවාල් පිළිබඳව සිහින දැක ඉන් පාඩම් ඉගෙන ගැනීමට ඉගැන්වීමට පෙර ලංකාවේ කෙජ්රිවාල් කෙනෙකු තැනීමට නොහැකි වටපිටාව ගැන සලකා බැලීම අතිශය වැදගත් වේ. අප ලජ්ජා විය යුත්තේ මෙතනදීය.

ඉන්දියාවේ මොන සමාජ බිඳ වැටීම තිබුණත් මෙරටට වඩා අධිකරණය ස්වාධීනය. මැතිවරණ ක්‍රමය අපක්ෂපාතීය. ජනමාධය නිදහස සැලකිය යුතු මට්ටමකින් පවතවාගෙන යනු ලබයි. ලංකාවේ ආඥාදායකයා කළාක් මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු තමන්ගේකෛරාටක මංකොල්ලකාරී දේශපාලන වුවමනාකම් වලට පක්ෂව තීන්දු දීම අතහැර පමණින් එලවා දැමීමට කිසිඳු අයිතියක් හෝ බලයක් එරට කිසිවෙකුට නැත. මෙවැනි තත්වයක් හමුවේ කෙජ්රිවාල් වැනි අයෙකු දිල්ලි නුවර මහා ඇමති වීම පුදුමයට කාරණයක් නොවේ. එපමණක් නොව තවත් කලකින් ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීර්, නාගලන්තය මෙන්ම මනිපූර් වැනි ප්‍රදේශ වලින්ද එවැනි චරිත බිහි විය හැකිය.

නමුත් තවත් එක බංගලාදේශයක් බවට පත්වෙමින් පවතින ලංකාවේ තත්වය හමුවේ කෙජ්රිවාල්ගෙන් ඉගෙන ගැනීමට පෙර අප සලකා බැලිය යුත්තේ මෙවැනි රටක එවැනි චරිතයක් ගොඩනගා ගැනීමට නොහැක්කේ මන්ද යන්නයි. එවැනි බිඳ වැටුණු සමාජයකට මැග්නා කාර්ටාවක් ( මහා ප්‍රඥප්තියක්) ඇති කර ගැනීම සඳහා සිහින මැවීම එක්කෝ බරපතල අවුලක් නිසා ඇතිවන අභාධයක අතුරු ප්‍රතිඵලයකි, නැතහොත් කිසිවක් නැති තැනට කුමන තැනකින් හෝ අහුලා ගන්නා යමකින් තට්ටුවක් දමා බැලීමේ ආසාවකි. කණගාටුව නම් තර්කානුකූලව සිතීමේ හැකියාවක් මෙන්ම කටයුතු කිරීමේ කෞශල්‍යක් ඇති විචාරකයින් විසින් මෙවැනි ආසාවන්  වචනයට පෙරලීමය.

මැග්නා කාර්ටාව අත්සන් කිරීමෙන් පසු ගෙවී ඇති වසර 800ක පමණ කාලය ගෙන බැලුව හොත් තව දුරටත් මැග්නා කර්ටාවක් හෙවත් මහා ප්‍රඥප්තියක් ලෙස එය සිහිනයකිඳු සිතිය නොහැකිය. එය මේ වන විට ප්‍රඥාප්තියේ කතෘවරුන් විසින්ම මයිනර් කාර්ටාවක් ( සුළු ප්‍රඥප්තියක්) බවට පත්කොට ඇත.  එය අයර්ලන්තයේ උල්ස්ටර් වතුයාය හෙවත් මහා බ්‍රිතානයේ ප්‍රථම කොලොනියේ සිට නූතන ඉතිහාසයේදී ටෝනි බ්ලායාර් සහ බුෂ් සමඟ ඉරාකයේ නැති සමූහ සංහාරක අවි විනාශ කිරීමට ගොස් මරා දැමූ මිලියනයකට අධික සිවිල් වැසියන් දක්වා වූ රුහිරය වැගිරුණු ඉතිහාසය පුරා යලි යලිත් ඔප්පු කරනු ලැබූ සත්‍ය වේ.

කෙසේ වෙතත්, අසාවට මෙන් මැග්නා කාර්ටාව ගැන කතා කිරීමේදී හෝ දැනගැනීමට වැදගත් මුලික කාරණා කිහිපයක් තිබේ.  ඉන් පළමුවැන්න වූ කලී, මැග්නා කර්ටාව ගැන මුල්ම “විධිමත්” සංස්කරණයක් ප්‍රසිද්ධ කරනු ලැබුවේ එංගලන්තයේ කීර්තිමත් නීති විශාරධයෙකු ලෙස සැලකෙන විලියම් බ්ලැක්ස්ටෝන්ය. ඔහුගේම වචනවලට අනුව, මැග්නා කර්ටාව ගැන සඳහන් ව තිබු එකම ලියවිල්ලද හමු වූයේ මීයන් විසින් කාදැමීමෙන් පසුය. අවාසනාවට මෙන් අදාළ ප්‍රඥාප්තිය ගැන නීතී විශාරධයින්ට සෑහීමකට පත්විය හැකි මට්ටමේ පිටපතක්  නැත. නමුත් බහුතරයකගේ අනුමැතිය මත සකස් කළ ලියවිල්ලක් වර්තමානයේදී භාවිත කරනු ලබන අතර එය පෙර කී පරිදි මීයන් විසින් අඩක් කා දමන ලද ඉතිහාස වාර්තාවකි.

තත්වය නීරසය, ජෝන් රජු හෝ ඔහුගේ පරාජය නොහොත් අදාළ ප්‍රඥප්තියේ ප්‍රධාන එක් පාර්ශවයක් ගැන කතා කිරීම බොහෝ දෙනෙක් සිදු කොට ඇත. එසේම අදාළ ප්‍රඥාප්තිය අත්සන් කළ වටපිටාවේ ඇති වූ සමාජ තත්වය ගැනද ඉතිහාසය පිටු ගණන් ලියා ඇත. මේ නිසා මේ සම්බන්ධයෙන් කතා කිරීම අවැසි නොවේ. නමුත්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නායකයෙකු වූ හෙන්රි වේන්ගේ ගෙල සිඳ දමමින් දෙවන චාර්ල්ස් රජු යළිත් තම බලය පිහිටුවීම අතිශය තීරණාත්මක සංසිද්ධියකි. ඔහුගේ ගෙල සිඳීම සඳහා මුලික හේතුව ලෙස රජු සඳහන් කරනු ලබුවේ මැග්නා කර්ටාව උල්ලංඝණය කිරීමය. නමුත් ඔහු සිදුකළ මුලික අපරාධය වූයේ, මහජනතාවගේ බලය සියල්ලගේම ආරම්භය ලෙස සඳහන් කරමින් පෙත්සමක් සකස් කිරීමය. ප්‍රඥාප්තිය පලිහක් කර ගනිමින් සිදු වූ නීරස දෑ බොහෝ බව අවිවාදිතය.

ලංකාවට මැග්නා කර්ටාවක් ගැන සිතීමට තබා මයිනර් කාර්ටාවක්වත් තනා ගැනීමට නොහැකි තත්වයකට රට තල්ලු වී තිබේ.  මෙය අහඹුවක් නොවේ, ක්‍රමික සමාජ ක්‍රියාවලියකි. අප අහමුවේ මූලික ගැටලුවක් ඉතුරු වී ඇත. එනම්, අමාර්ත්‍යා සෙන් තම “ ද ආර්ගිව්මෙන්ටටිව් ඉන්ඩියන්” නමැති කෘතියේ ඔහු විසූ ගමේ පුද්ගලයෙකු උපුටා දක්වන පරිදි , “ තමන් නිහඩව සිටින්නේ කතාකිරීමට නොදාන්න කමට නොවේ,” යන්න යළි යලිත් සිහින දැකීමට පෙර විමසා බැලිය යුතු කාරණයකි. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය, විශ්ව විද්‍යාල අචරවරුන් ඇතුළු සංකේතීය බුද්ධි බලය, සේම රාජ්‍ය නොවන ක්ෂේත්‍ර හැකිලී, ඇතැමෙක් නීරස අභ්‍යන්තර ආරවුල් වල පැටලී සිටීම සහ තවකෙකු නිරුවතින්ම ආඥාදායකයා වෙනුවෙන් පෙනී සිටීම අහඹු සිදුවීම් නොවේ. මෑත ඉතිහාසය තුළ, වක්ලාව් හවෙල් මෙන්ම චීනයේ ලියු ශියාබාවෝ සූක්ෂමව අතහදා බැලූ ක්‍රම අධ්‍යනය කිරීම , ජෝන් රජු මරණින් පසු නිරයට යාමට බියෙන් අත්සන් කළ පසුව මීයන් විසින් අඩක් අනුභව කළ, මැග්නා කාර්ටාවට වඩා වත්මන් දේශපාලන අවුල විමසීමට වැදගත් වේ. අමතක නොකළ යුතුන් කාරණය නම් ලංකාවේ ප්‍රධාන ව්‍යවස්ථාපිත ගැටලුව ඇතිකළ ජේ. ආර්. මෙන්ම ඔහු තම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට “ආදර්ශය” ලෙස ගත් ප්‍රංශයේ ඩී. ගෝල් මෙන්ම එක්සත් ජනපදයේ ව්‍යවස්ථා කතෘවරුන් මෙලොව හැරගොස් ඇති බවත් ඔවුහු වෙනුවට නව විෂයයන් පැමිණ සිටින බවත්ය.