Hot!

ඇනකොණ්‌ඩිය ඇනකොණ්‌ඩා ගිල දැමුවේ බඩගින්නටද?



වසර දහයක්‌ එකගේ වාසය කරමින්, දරු මල්ලන් 120 ක්‌ පමණ වදන්නට තමන්ට තනිරකින ලද සහකරු එක රැයකින් ගිල දැමූ ගැහැණු ඇනකොණ්‌ඩාවක ගැන අපූරු ප්‍රවෘත්තියක්‌ ඉකුත් දා ලොව පුරා ප්‍රචාරය විණි. ඒ, ශ්‍රී ලංකාවේ දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුළිනි. 2003 වසරේදී චෙක්‌ සමූහාණ්‌ඩුවෙන් දෙහිවල සත්ත්වෝද්‍යානයට ආ මෙම ඇනකොණ්‌ඩාවන් යුවළ එවකට මාස හතරක තරම් ලාබාල වියේ පසු වූහ. ක්‍රමයෙන් තරුණ වියට පත් ඇනකොණ්‌ඩා යුවළ 2008 වසරේදී පැටවුන් 23 දෙනකු බිහිකර මවු-පිය පදවිය ලැබ දෙහිවල සත්වෝද්‍යානය ලෝකයේ ජනප්‍රිය කරලීමට සමත් විය. එපමණක්‌ නොවේ මේ දරු සුරතලුන් ජනතාව අතරට ගෙන ආ එවක සත්වෝද්‍යාන බලධාරීන් රටේ දරු-දැරියන්ටද ඇනකොණ්‌ඩාවන්ගේ පහස ලබාදීමට කටයුතු කළා අපට මතක ඇත. අවාසනාවකට මෙම සුරතලුන් 23 දෙනාම වරින්වර මෙලොව අතහැර ගියහ.

දෙහිවල සත්වෝද්‍යානයේ උරග විමනට අයත් ජනප්‍රියම සතුන් දෙදෙනකු බවට පත්ව සිටි මෙම ඇනකොණ්‌ඩා යුවළට එකල හොඳ හොඳ කෑමද ලැබිණි. මසකට බ්‍රොයිලර් වර්ගයේ කුකුළන් 15 දෙනකු පමණ ගිල දැමීමට එකල උන්ට අවස්‌ථාව හිමිවූ නමුත් වනාන්තර තුළදී ලැබෙන විවිධ ආහාර නම් දෙහිවලදී උන්ට ලැබුණේ නැත. ඒකාකාරී කුකුළු ගොදුරුවලින් කුස පුරවා ගත්තද මේ ඇනකොණ්‌ඩා කැදැල්ලේ සෙනෙහස දොaරේ ගලා ගියේය. 2010 ජුලි මසදී තවත් පැටවුන් 22 ක්‌ ඔවුන් ලබන්නේ එහි ප්‍රතිඵල ලෙසිනි. මෙවරද දෙහිවල සත්වෝද්‍යානය ලෝකයාගේ අවධානයට ලක්‌විය, එහෙත්, ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ඇනකොණ්‌ඩාවන්ට ලැබෙන ආහාර වේල සීමාවන්නට පටන් ගත්තේය. එදා මසකට කුකුළු මස්‌ කිලෝ දොළහක්‌ ගිලදැමූ මේ දැවැන්ත පිඹුරන්ට අවසානයේ මසකට, තෙසතියකට ලැබුණේ කිලෝ එකහමාරේ කුකුළන් තිදෙනකු පමණි. මේ වනවිට දැවැන්තයන් දෙදෙනකු බවට පත්ව සිටි ඇනකොණ්‌ඩා යුවළේ පිරිමි සතා දිගින් අඩි 12 ක්‌ පමණ දක්‌වා වැඩී සිටියේය. ගැහැණු සතා සොබාදහමේ රීතියට යටත්ව පිරිමියා අභිබවා සිටියේ අඩි 16 ක්‌ පමණ දිගකින් හා කිලෝ ග්‍රෑම් දෙසීයද ඉක්‌මවමිනි.

හොඳහැටි ආහාර තිබේනම්, හොඳහැටි සැරිසරන්නට ඉඩකඩ තිබේනම් හා ආහාර විවිධත්වයක්‌ තිබේනම් ඇනකොණ්‌ඩාවන්ගේ මේ දිගත් මේ බරත් සොච්චමකි. ඔවුන් වනාන්තර තුළදී කිලෝ ග්‍රෑම් තුන්සියය තුන්සිය පණහ දක්‌වා බරකින් යුක්‌ත වේ. දිගින් අඩි 19 - 23 පමණ දක්‌වා වැඩේ. නමුත් දෙහිවල වැනි සත්වෝද්‍යාන මෙවන් සත්ත්වයින්ට සිරමැදිරිය. අවම වශයෙන් එක දිගට දිග හැරෙන්නටවත් මේ කූඩු ඔවුන්ට දිග මදිය. දෙහිවල සත්වෝද්‍යානයේ ඇනකොණ්‌ඩා කූඩුව අඩි 15 x 8 ප්‍රමාණයට වැඩි නොවේ.

මේ සිර මැදිරියේ හිඳිමින් ඇනකොණ්‌ඩා යුවල සොබාදහමේ රීතිය ඉටු කළේය. 2011 වසරේදී පැටවුන් 19 ක්‌ද 2013 වසරේ මුල් භාගයේදී තවත් පැටවුන් 30 ක්‌ද ලෙසින් සියයට ආසන්න පැටවුන් සංඛ්‍යාවක්‌ ඔවුන්ගෙන් ජනිත වූහ. මෙසේ දුක්‌බරව කල්ගෙවමින් මෙම යුවළ තම යුගදිවියේ දසවැනි සාංවත්සරිකයද පසු කළේය. එහෙත්, මෙවන් සතුන්ගේ පෝෂණ අවශ්‍යතා හා පෝෂණ දැනුම ගැන නිවැරැදි දැනුමක්‌ නැති සත්වාරක්‍ෂකයන් අතරේ මොවුන් දිවිගෙවූයේ සැබැවින්ම මහත් බාධක සමූහයක්‌ මැදය. ඒ සියල්ලටම වඩා කුසගින්න දැවෙන අවශ්‍යතාවය බවද සත්වෝද්‍යාන බලධාරීන් නොදැන සිටියා විය හැකිය. ගැහැණු ඇනකොණ්‌ඩාවිය පිරිමියා හෙවත් තම සහකරු ගිල දමන්නේ එවන් තත්ත්වයක්‌ තුළය. මෙය කුසගින්න නිසාදැයි වෙනත් ජෛවවිද්‍යාත්මක හේතුවක්‌ නිසාදැයි තවමත් මෙරටේ කිසිවකුත් නොදනී. කෙසේ හෝ දැන් පිරිමි ඇනකොණ්‌ඩා ඇත්තේ ගැහැණු සතාගේ කුස තුළය. මෙවන් සංසිද්ධියක්‌ ලොව සත්වෝද්‍යාන තුළින් මින් පෙර වාර්තා නොවන බව සත්වෝද්‍යාන ආරංචි මාර්ග කියා සිටී. සාමාන්‍යයෙන් ස්‌වභාවික පරිසරයේදීද මෙවන් සිද්ධියක්‌ වාර්තා වන බවක්‌ අසන්නට නැත. එනමුත් පොළඟා වැනි දේශීය සර්පයන් අතර එකම වර්ගයා ගිල ගැනීම දක්‌නට ලැබේ.

මීට පෙර අවස්‌ථා කිහිපයකදී ඇනකොණ්‌ඩා යුවළ වෙන්ව තැබීමටද සත්වෝද්‍යාන සත්ව රැකවලුන් ක්‍රියාකර තිබිණි. පළමු පැටවුන් බිහිවීමෙන් පසු මෙසේ මාස 4-5 ක්‌ වැනි කාලයක්‌ යුවළ වෙන්කර තැබූ පසු මොවුන් දෙදෙනාම ආහාර ප්‍රතික්‍ෂේප කර තිබීමෙන් පැහැදිලි වූයේ මොවුන් දෙදෙනා අතර තිබූ සෙනෙහස පිළිබඳ කතාන්දරයක්‌ දැයි සත්ත්වවේදීහු අනුමාන කරති. එනිසාම නැවතත් ඔවුන් 2012 වසරේදී එක්‌කළ බවත් සුපුරුදු පරිදි ආහාර රුචියට එළැඹි බවත් නිරීක්‍ෂණය කර ඇත. කෙසේ හෝ අවසන් ආහාර වේල ලබා දැනට සති තුනක්‌ ගතවී ඇති අතර එහිදීද දෙදෙනාට ලැබී ඇත්තේ කිලෝ එකහමාරක පමණ කුකුළන් තිදෙනකු පමණි.

එනමුත් ස්‌වභාවික වනාන්තරවලදී ඇනකොණ්‌ඩාවන් මුවන්, ගෝනුන්, පමණක්‌ නොව දැවැන්ත කයිමන් කිඹුලන් මෙන්ම ජගුවරයන්, දිවියන් වැනි දැවැන්ත සතුන්ද ගිල දමති. එවන් ආහාර ප්‍රමාණයක අවශ්‍යතාව හා ආහාර විවිධත්වයක අවශ්‍යතාව ඇති ඇනකොණ්‌ඩාට කුකුළන් තිදෙනකු යනු මොනතරම් සුළු දෙයක්‌ද? එසේ නම් ගැහැණු ඇනකොණ්‌ඩාව දැඩිව කුසගින්නේ පෙළුණු බව පෙනීයයි. ඒ උගේ ශරීර ප්‍රමාණය වැඩි නිසාය. අවසානයේ තමාවම ගිල ගැනීමට නොහැකි තැන තම සෙනෙහබර සැමියා ගිල දැමීම හැර ඇයට අන් සරණක්‌ නැත. කතාකිරීමට නොහැකි නිසා ආහාර ඉල්ලා සිටින්නටද නොහැකිය. අපගේ සත්වෝද්‍යාන රැකවලුන්ට නොතේරෙන මේ භාෂාව අන්තිමට කෙළවර වූයේ එකකු අනිකා ගිල දැමීමෙනි. යම් හෙයකින් මෙම තත්ත්වයට වගකිව යුතු අයකු මෙම සතකුට අසුවූයේ නම් ඒද ගිලදමනවා ඒකාන්තය.

ඇනකොණ්‌ඩා යනු ලෝකයේ දිවිගෙවන විශාලතම උරගයාය. දකුණු ඇමෙරිකානු කලාපයේ මෙක්‌සිකෝවේ, ඇමේසන් වනාන්තර බද වගුරු හා දියපහර ආශ්‍රිත වනලැහැබවල දිවිගෙවන ඇනකොණ්‌ඩාවන් දෙවර්ගයකි. ඒ කොළ ඇනකොණ්‌ඩා සහ කහ ඇනකොණ්‌ඩා වශයෙනි. මොවුන් දරුණු මාංශ භක්‍ෂක සත්වයන් වන අතර වගුරේ ගිලී හෝ ජලාශ්‍රිත පෙදෙස්‌වල අතුපතර සැඟවී හෝ ගොදුරු ඩැහැගනී, එම ප්‍රදේශවල දැවැන්ත කිඹුලන්ගේ, වෙනත් වන සතුන්ගේ බෝවීම පාලනය කරනු ලබන්නේ මෙවන් ඇනකොණ්‌ඩාවන්ය. කහ සහ කොළ ලෙස වර්ග කෙරෙන ඇනකොණ්‌ඩාවන් ගෙන් විශාලතම සිරුරකට හිමිකම් කියන්නේ කහ ඇනකොණ්‌ඩාවන්ය. ශ්‍රී ලංකාවේද දිවි ගෙවූයේ එවැනි යුවලකි.

සාමාන්‍යයෙන් එකම වර්ගයාගේ සතුන් අතරද ප්‍රහාර ඇතිවේ. එවන් අවස්‌ථාවලදී බේරී පලා යැම අනෙකාගේ සිරිතය. එහෙත්, අපගේ පිරිමි ඇනකොණ්‌ඩාට බේරී පලා යැමට තරම් ඉඩකඩක්‌ කූඩුව තුළ තිබුණේ නැත.

යෝජිත මහල් 7 ක උරග විමනද දැන් හමස්‌ පෙට්‌ටියට වැටී ඇත. තිබෙන උරග විමනේද වහලය දිරාපත්වෙමින් ඇත. මෙවන් මූලික අවශ්‍යතා සතුන්ට සපයා නොදී, සත්ව සංවර්ධනයක්‌ නොකර සතුන් ප්‍රදර්ශනය කර මුදල් ඉපැයීම පරිසරයට වනසතුන්ට ලැදි කවරකුත් අනුමත නොකරන කාර්යයකි. මෙවන් සංසිද්ධීන් අපට කියන්නේ එවන් කතාන්දරයකි.

ජගත් කණහැරආරච්චි
ඡායාරූප - වාසල සේනාරත්න, පින්සිරි ආරියරත්න
දිවයින