Hot!

ගෝටාගේ හීනය


නිලන්ත ඉලංගමුව 


අනාගතය වූ කලී කෝණයක සැඟවී ඇති යම් කිසි දෙයක් නොවේ. අනාගතය වූ කලී අපි වර්තමානයේ ගොඩ නගන දෙයි - පවුලෝ ෆියෙරේ 


ගොටාගේ යුද්ධය අවසන් විය. එය ඔහුට ඕනෑ ආකාරයෙන් ලියා ප්‍රසිද්ධ කරනු ලැබුවේය. රටේ පමණක් නොව උගන්ඩාවේ නායකයින්ට පවා එය නොමිලේ තිළිණ කළේය. ඇති පමණට විචාරද ලියවා ගත්තේය. ඒ සඳහා අවස්ථාවදීන්ගේ සහය අඩුවක් නැතුවම ලැබුණි. ඉතිහාසය වෙනස් කිරීම රාජපක්ෂගේ න්‍යාය පත්‍රයේ එන ප්‍රමුඛ කාරණයකි. 


දැන් ගෝටාට තව සිහිනයක් පහල වී ඇත. උතුරේ මහා ඇමති මාධ්‍යට සඳහන් කළ ආකාරයෙන් ගොටාගේ සිහිනයේ පළමු ඉලක්කය බවට පත් වී ඇත්තේ ඔහුය. මහ ඇමති විග්නේශ්වරන්ට අනුව ආණ්ඩුවේ සහයෝගය ඇතිව කොටි සංවිධානය වැනි සන්නද්ධ සංවිධානයක්  යළි ඇති කොට පවතින දේශපාලන තත්වය වෙනස් කොට තමාට වාසී සහගත ආකාරයෙන් පවත්වාගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් තිබේ. 


මෙය බරපතල චෝදනවාක් වන අතර එක්කෝ එය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතුය. ආණ්ඩුව විසින් එවැනි පරීක්ෂණයක් කරන්නේ නම්,  එහි කෙලවර විධායක ජනාධිපතිවරයාගේ කැකිල්ලේ නඩු තීන්දුවකින් මහා ඇමති විග්නේශ්වරන් පන්නා දැමීමද විය හැකිය.  නැතහොත් අදාළ සිහිනය ගැන ජනතාව වඩාත් අවධියෙන් සිටිය යුතුය. සාමාන්‍ය ජනතාවගේ අවධිය පිළිබඳව කතා කිරීම සැබවින්ම ශෝකජනක යථාර්ථයක් වන අතර එය සෑමවිටම රටේ මාධ්‍ය විසින් අවශ්‍ය දිශාවලට හරවනු ලබයි. 


ඕනෑම රටක සිදුවන දේශපාලන කලබැගෑනිය පිළිබඳව අවධියෙන් සිටින්නේ ඉතා සුළු පිරිසක් පමණි. එම සුළු පිරිසෙනුත් ස්වෙච්ඡාවෙන්  ඒ  දෙස බලා ආර්ථික වාසී නොසලකා කටයුතු කරනු ලබන්නේ තවත් සුළු පිරිසක් පමණි. එම ස්වෙච්ඡාවෙන් කටයුතු කරන පිරිස අතිශය වැදගත් වනවා පමණක් නොව එම පිරිස මත රටේ බොහොමයක් දෑවල වගකීම පැවරේ. එම වගකීම වූකලී භෞතික නායකත්වයක් ලබාදීම නොවේ. ඒ වූ කලී නොපෙනෙන අන්දමින් සිදුවන ආකල්පමය වෙනස් කිරීමකි. ඉතිහාසය ගැන සැලකීමේදී බොහොමයක් රටවල ස්වාධීන ආයතන බලගන්වා සෑම පුරවැසියෙකුටම අයිතීන් ලබාදෙනු ලැබුවේ එම කොටසේ කැපකිරීම නිසාය. එය නොවන්නට, අදටත් වර්ණ භේදවාදය පැවති මට්ටමෙන්ම තියෙනු ඇත. වහල්භාවය තවතවත් ව්‍යාප්ත වනු ඇත. කෙසේ වෙතත් එය ලංකාව සමඟ සම්බන්ධ කිරීමේදී  සිදුවී ඇත්තේ ඉතාම අඩුවෙන් වන අතර, ස්වෙච්ඡා සේවය වූ කලී ලංකාවේ ඉතාම අඩුවෙන් ඇති වූ සංස්කෘතියක් වේ. 


එය යුද්ධයට පසු රාජපක්ෂ වූ කලී නියතයක් ලෙස ඒත්තු ගැන්වීම සඳහා සිදුකළ සියලුම අසුචී කර්තවයන් වලදී බොහොමයක් ක්‍රියාකාරීන් සහ ලේඛකයින් හැසිරුණු ආකාරයෙන් දක්නට ලැබුණි. බොහෝ දෙනෙකුට  සිද්ධියට වඩා පුද්ගලිකත්වය සහ එම සිද්දියට මුහුණ දුන් පුදගලයාගේ වටපිටාව වැදගත් විය.  මෙහිදී ගත හැකි ප්‍රභලම උදාහරණය, ලසන්ත මියගිය පසු ඔහු ලියු බවට සඳහන් කොට පල කරනු ලැබූ කතුවැකියට ලැබුණු නිර්දය සහ විලිලජ්ජා සහගත විවේචනයි. මාධ්‍යවේදියෙක් මහමඟ  මරා දමන විට එය එනම් මරාදැමීම ගැන ප්‍රභල විරෝධයක් නගනු වෙනුවට ඔහු මරා දැමීම සඳහා හේතු වූ කාරනා ගොඩ නැගීය.

එසේම ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම අරම්භයාද මේ ආකාරයෙන්ම සිදු විය.  බොහෝ දෙනෙකුට ප්‍රගීත් මාධ්‍ය වේදියෙක් නොවීය. ඇතමුන් ඔහු අතුරුදන් කිරීම සඳහා හේතු තිබු හෙයින් එය සාධාරණීකරණය කොට පෙන්වීය. මෙය වෙන කිසිවක් නොව අසාධාරණය දැක දැක විලිලජ්ජා නැතුව එම සිද්ධියට සාධාරණත්වයක් තම සිත ඇතුළතින් දීමට උත්සහ ගැනීමය. මෙය සංස්කෘතික වශයෙන් කිඳා බැස ඇති මූසල ගතියකි.  එසේ නොවන්නට අද ශිරාණි  බණඩාරනායකට සාධනය ඉටු වී තිබෙනු ඇත. ජනරාල් ෆොන්සේකා සක්‍රීය දේශපාලන සුක්කානමක් වනු ඇත.  


ගොටාගේ යුද්ධයද , ගොටාගේ  සිහිනයද නාභි ගත වී ඇත්තේ මෙම සමීකරණය ප්‍රධාන කොට ගනිමිනි. පුද්ගල මනස සෑමවිටම ස්වයං ආරක්ෂාව පතන අතර එය විසින් අනෙකාට වන අසාධාරණයට විරුද්ධව පෙනී සිටිනු වෙනුවට එය සාධාරණය කිරීමට හේතු සොයා තමනට සිදු නොවන දෙයක් ලෙස ඒත්තු ගැන්වීමට යන්ත දරයි. ඕනෑම කේලමක් වග විභාගයකින් තොරව ගිල දමා විනිශ්චයන් වලට එළඹෙනු ඇත. මෙය මාධ්‍ය සංස්කෘතිය තුළ “ ගවේෂණාත්මක” මාධ්‍ය භාවිතය ලෙස හඳුන්වනු ලැබේ.  පැවති ගුණයන් පහවී ගොස් නිර්ගුණයන් ගුණයන් ලෙස හටගෙන ඇත. 


රාජපක්ෂ සතු වූ දේශපාලන කෞශල්‍ය ක්‍රමයෙන් පෞද්ගලික සුඛ විහරණය සඳහා වන සැබෑ කෛරාටක කම ලෙස ග්‍රාමීය මට්ටමින්ද තේරුම් ගනිම්න් සිටිති.  මැතිවරණ ක්‍රම ගැන ඇති විස්වාශයන් පහව යමින් පවතින වට පිටාවක් හමුවේ රාජපක්ෂ ඔහුව බලයට පත්කරනු ලැබූ තත්වයම යලිත් ඇතිකිරීම එකම යථාර්තය බවට පත් වෙමින් තිබේ. මෙම වටපිටාව හමුවේ කොටි සංවිධානය යළි ඇති වී ඇතිබව පෙන්වීම සඳහා අහිංසක මිනිසුන් ඝාතනය කොට එමඟින් දේශපාලන වාසී අත්කරගැනීමේ කූටෝපාය පිළිබඳව විග්නේශ්වරන් නගන තර්කය කිසිවෙකුට බැහැර කළ නොහැකිය. 


මෙය දේශපාලන වාසී වලින් ඔබ්බට ගොස් තම පුද්ගලික විමුක්තිය සහ ජීවත් වීමට ඇති අයිතිය අරම්භයා මැනවින් තේරුම් ගත යුත්තේය. බල තුලනය, යුක්තිය, සාමය ආරක්ෂා කිරීම ආදී ක්ෂේත්‍රයන් වල අතිශය බරපතල තත්වයක් මතුවෙමින් පවතින හෙයින්  සිදුවෙමින් පවතින ශෝකජනක ක්‍රියාවලීය ගැන මහජන අවබෝධයක් ඇතිකිරීම ප්‍රමුඛ වගකීමක් ලෙසද පෙනේ.  බරපතල බිඳ වැටීමක ලකුණු පහල වෙමින් තිබේ.