Hot!

ජීවවායු තාක්‍ෂණය රටට හඳුන්වා දුන් උපවංශ මහත්තයා




තවත් කෙනෙකුගේ යහපත වෙනුවෙන් යමක්‌ කරන්න හීන දකින මිනිස්‌සු ලොව ශ්‍රේෂ්ඨතමයෝ අතරට එකතු වෙති. ඒ රටට දැයට යමක්‌ ඉටු කරන්නට දකින සිහින සිතිවිල්ල සැබෑ කරන්නට පැහැදිලි මගක්‌ ද තනවා පොදු යහපත උදෙසා ම ඒ සිහින සැබෑවක්‌ කොට ගත් නිසා ය.

සෙස්‌සන්ගේ සුබසෙත පිණිසම සිහින දුටු එවැන්නන් සේ ම, මෙසිරිලකට අලුත් යමක්‌ කළ යුතුම යෑයි සිහින දුටුවෙකි ජී. කේ. උපවංශ.

ජීව වායු තාක්‍ෂණය සිරිලක්‌ වැසියන්ට හඳුන්වා දුන්නේ ජී. කේ. උපවංශ මහතායි.

"මම උපන්නේ 1930 ජුනි නවවැනිදා ගන්නෝරුවේ.

අම්මා පුංචිවතී. ගේ දොර වැඩපල කොරං ගෙදරමයි හිටියේ. 

තාත්තා අනගිහාමි. උන්දැ බොහෝම හයිය හත්තිය ඇති උස මහත ගොවියා.

මාත් ඇතුළු දරුවෝ හයදෙනෙක්‌ උන්දැලාට ඉන්නවා. ඒ කියන්නේ මට එක සහෝදරයායි. සහෝදරියෝ හතරදෙනයි.

මම විවාහ වුණේ ප්‍රේමලතා එක්‌ක 1958 දී. දුවලා දෙන්නයි පුතායි. එක දුවෙක්‌ මැරුණා අසනීප වෙලා.

බොහොම උෙද්‍යාaගයෙන් තමන්ගේ ජීවිත කතාව කියාගෙන ආ උපවංශ මහත්තයා ඒ වචන ටිකත් එක්‌ක ඈත අහස දිහා බලාගෙන ලොකු හුස්‌මක්‌ හෙළුවේය. අනපේක්‍ෂිත මොහොතක පපුතුරේ යමක්‌ හිරවුණා සේ ය.

"අපි එළියට ගිහින් කතා කරමු." උපවංශ මහත්තයාම යෝජනා කළේය.

"මුරුතලාවෙ කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගෙන උසස්‌ අධ්‍යාපනයට පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ගියා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආ හැටියෙම මම කෘෂිකර්ම විද්‍යාලයට ඇතුළු වුණා. ඒ 1952 - 1955 කාලේ. මේ කාලේ රටේ කෘෂිකර්මය ගැන තිබුණෙ මහා ලොකු උෙද්‍යාaගයක්‌. මගේත් ලොකුම ආසාව වුණේ කෘෂිකර්මය පැත්තෙන් ඉහළට ගිහින් මිනිස්‌සුන්ට ප්‍රයෝජනවත් වැඩක්‌ කරන්නයි. කොහොමෙන් හරි කෘෂිකර්ම ඩිප්ලෝමාවත් කරගෙන 1953 දී කෘෂිකර්ම උපදේශකවරයෙක්‌ විදිහට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ඇතුළු වුණා.

සුදුසුම කාලෙට සුදුසු දේ ලැබිය යුතුයි කියලා මගේ විශ්වාසයක්‌ පුංචි කාලේ ඉඳලාම තිබුණා. නමුත් මමත් අතපහු කළ දේවල් ගැන පසුතැවෙන මොහොතක්‌ ද ආවා. ඒ අ.පො.ස. උසස්‌ පෙළ විභාගය නොකර සිටීම. රාජකාරිය මම කළේ දේවකාරියටත් වඩා උතුම් කරලයි. එතකොට මට දැනුනා උසස්‌ පෙළ නොකිරීමේ අනිටු ඵල විපාක කොයි තරම්ද කියලා.

ඕ.....න්න ඉතිං මම 1965 දී අ.පො.ස. උසස්‌ පෙළ පෞද්ගලිකව ඉල්ලුම් කරලා විභාගයට පෙනී සිටියා. විභාගයට පෙනී සිටි එකේ වටිනාකම මෙතකැයි කියන්න බැහැ. ප්‍රතිඵල ආපු දවසේ මගේ ජීවිතයම වෙනස්‌ කළේ මහා හීන ගොඩක මාව මැදි කරමින්. හීන හැබෑ කරන මාවතට මං පය තිබ්බෙ 1966 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළු වෙමින්.

උපාධියත් අරන් කෘෂිකර්මය පිළිබඳ විශේෂවේදී උපාධිය ලබා ගන්න 1972 දී මම එංගලන්තයේ රෙඩිං විශ්වවිද්‍යාලයට ගියා. එහිදී ලබා ගත් අත්දැකීම් සම්භාරය.....·· ඒක වචනින් ගලපන්න බැරි තරම්. එහෙ ඉගෙන ගන්න ළමයි ඇතුළු හැමෝම මිනිස්‌සුන්ගේ දියුණුව උදෙසාත්, පහසුව උදෙසාත් සැලසුම් සකස්‌ කරමින්මයි ඉගෙන ගන්නේ. ඒවා අපේ රටවල්වලට බොහොම වැදගත් කාරණා.

දැනුම සම්භාරයම අරගෙන ලංකාවට ආපු මම 1973 දී පේරාදෙණිය සේවා සංස්‌කරණ අභ්‍යාස ආයතනයේ අධ්‍යක්‍ෂ ලෙස වැඩ භාර ගත්තා.

මේ කාලයේ මගේ ජීවිතයෙත්, කෘෂිකර්ම ක්‍ෂේත්‍රයෙත්, රටේත් මහා වෙනසක්‌ ඇති කළා. කෙටියෙන්ම කිව්වොත් තීරණාත්මක අවධියක්‌.

සේවා සංස්‌කරණ අභ්‍යාස ආයතනයේදී දිනකදී සීයක්‌ පිරිසකට උදේ, දවල්, රෑ කෑම උදේ සවස තේ ලබා දෙනවා. ඒ කෑම හදන්න දර ගොඩක්‌ වුවමනායි. ඔය කාලේ දර හොයාගන්න බොහොම වෙහෙස මහන්සි වෙන්න සිද්ධ වුණා.

ඉන්දියාව ඇතුළු තවත් රටවල් ජීව වායු නිපදවීම ගැන පරීක්‍ෂණ කළා. අත්හදා බැලීම් කළා. මම ඒ ගැන ලොකු= උනන්දුවකින් වගේම දැනුමෙන් යාවත්කාලීන වෙමින් හිටියේ. දර හිඟයට පිළියම් විදිහට මම සේවා සංස්‌කරණ ආයතනයේදී අහක දමා තිබූ විශ්කම්භය අඩි 10 ක්‌ වූ උස අඩි 8 ක්‌ වූ බූලි (Drum) දෙකක්‌ උපයෝගි කරගෙන ජීව වායු ඒකකයක්‌ තැනුවා. ගොවිපොළවල් ආශ්‍රිතව කෘෂිකර්ම පරිශ්‍රයකම අපි හිටි නිසා ඉන්දියානු ක්‍රමයේ ජීව වායු ඒකකයක්‌ සකස්‌ කිරීම පහසු වුණා. ගොම දියරය එක්‌කාසු කරලා හදලා ජීව වායු ඒකකයෙන් දිනකට අවශ්‍ය ගෑස්‌ ප්‍රමාණය නිපදවාගන්න හැකි වුණා. 

මේක අපට මහා ආඩම්බරකාර සිද්ධියක්‌ වුණා. ලංකාවේ පළමුවෙන් ම හදපු ජීවවායු ඒකකය තමයි ඒ.

උපවංශ මහත්තයාගේ මූණේ ඇඳිලා තිබුණේ ආඩම්බරකමක්‌ද, නිහතමානී බවක්‌ ද කියලා හොයා ගන්න බැරිවුණේ මූණ පුරාම පිරී ඉතිරී ගොස්‌ තිබුණ සිනාව නිසයි. තරමක්‌ ඇවිදීම අපහසු වුවත්, උපවංශ මහත්තයා කාගෙවත් වාරුවක්‌ උදව්වක්‌ ගන්න කැමැති වුණේම නැත. හයිය හිතක්‌ තියෙන බව දැනුන තවත් කාරණා බොහොමයක්‌ උපවංශ මහත්තයාගේ මුවින් කියෑවිණි.

"1978 - 79 කාලේ කෘෂිකර්ම ඇමැතිව සිටියේ ඊ. එල්. සේනානායක මහත්තයා. මම ඔය කාලේ වැඩ කළේ කරටම අරං. නිවාඩුවක්‌ නම් ගත්තේම නෑ. උදේ රෑ නැතුව වැඩ කරන්න මට පුදුම ආසාවක්‌ තිබුණේ. දැනටත් ඒකේ වෙනසක්‌ නෑ. අවුරුදු අසූව පැනලා තිබුණත් මම තාම වැඩ කරනවා.

මිනිස්‌සු හිතන්නේ ඉගෙන ගන්න දේ ඒ විදිහටම යොදවලා, ඒ රාමුව තුළම කොටුවෙලා ඉන්න ඕනෑ කියලා. එහෙම වෙන්න වෙන්න අපි තවත් මොට වෙනවා. ලබා ගත්ත දැනුම විවිධ අංශවලට යොදවා අත්හදා බැලීම් කළොත්, අලුත් දෙයක්‌ හොයාගන්න පුළුවන් කියලා දැන් උදවිය දන්නෙත් නැහැ. හිතන්නෙත් නැහැ. ඒක මහා අපරාධයක්‌.

මේ රටේ මොන තරම් නම් සම්පත් තියෙනවද. හරියාකාරව සැලසුම් කරලා ඒ ඒ අංශ වලින් අලුත් දෙයක්‌ අවශ්‍ය පරිද්දෙන් තැනුවොත් අපි දිනුම්.

ඇමැතිතුමා මාව චීනයට ඇරියා. ඒ 1979 දී. චීනෙදී ජීව වායු තාක්‍ෂණය පිළිබඳව ඩිප්ලෝමාවක්‌ කළා. පර්යේෂණ ඇසුරින් ඉගෙන ගත්තා. "plug flow" නව මාදිලිය මම උගත්තේ චීනෙන්.

මේ "plug flow" ක්‍රමය මගින් ගොම දියර හරහා තැනූ පෙර ගෑස්‌ නිපදවූ ප්‍රමාණය මෙන් සිව් ගුණයක්‌ වැඩිවන සේ ගෑස්‌ නිපදවා ගත හැකියි.

ලංකාවට ආ හැටියෙම මම චීන ක්‍රමයට අදාළ ජීව වායු ඒකකයක්‌ ඝන මීටර් 8 ක ප්‍රමාණයෙන් තැනුවා. හරිම සරලයි. හොඳ කපාරාරුවකින් සමන්විත භූගත ටැංකි ප්‍රමිතියට අනුව හදා ගත්තොත්, ගොම පොහොර වෙනුවට යොදා ගත්තොත්, කුස්‌සියෙන් එළියට දාන කුණු රොඩු, ඉඳුල්, බත්, කොළරොඩු වගේ දෙයින් ගෑස්‌ හදාගන්න පුළුවන්. පොඩි පවුලකට ඝන මීටර් 6 ක ප්‍රමාණයේ ඒකකයක්‌ ප්‍රමාණවත්.

ඉන් පස්‌සේ මාතලේ ගොවිපළක ගලහ පැත්තේ පෞද්ගලික අංශයේ තැනකට මේ ජීව වායු ඒකක තැනුවා.

එදා ඉඳලා ලංකාව පුරාම මහනුවර, කුරුණෑගල, කොළඹ, හම්බන්තොට, වවුනියාව, අනුරාධපුරය, යාපනය, මන්නාරම ඇතුළු හැම තැනම ජීව වායු ඒකක තැනුවා. ගණනින් බැලුවොත් හාරදහසක්‌ විතර හැදුවා.

ඒ අතරින් විශාලම ජීව වායු ඒකකය ඝන මීටර් 200 ක ඒකකය කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ගෝල් වතුයායේ ඉදිකළේ.

මේ දවස්‌වල අපි කුණ්‌ඩසාලේ එළිමහන් සිර කඳවුරේ ඝන මීටර් 100 ක ජීව වායු ඒකකයක්‌ හදනවා. මට යන්න එන්න ටිකක්‌ අපහසු නිසා හුඟාක්‌ දෙනෙක්‌ ඇවිත් මාව එක්‌ක යනවා. මේ දවස්‌වල හැමදාම මම ඉන්නේ කුණ්‌ඩසාලේ ඒකකය තනන භූමියේ. අපේ එකම අරමුණ දිනකට හත්සිය දෙනකුට කෑම හදන්න අවශ්‍ය වන ගෑස්‌ ප්‍රමාණය නිපදවීමයි.

මාතලේ දිස්‌ත්‍රික්‌ රෝහලේ හදපු ජීව වායු ඒකකය මෑත කාලීනව අති සාර්ථක ලෙස ක්‍රියාත්මක වන්නක්‌. ජීව වායුq ඒකකයකින් මිනිසාට මොන තරම් සේවයක්‌ වෙනවාද? කුණු ටික ඉවත් වෙනවා වගේම වායුව ලබා ගන්නවාට අමතරව හොඳ පොහොරක්‌ ද පිටතට එනවා. ,ධමඑ ඡමඑ, වගාවට උචිත රසායනික සංයුතියකින් සමන්විත පොහොර ඉබේම ලැබෙන නිසා ඒවාට වෙනම වියදමක්‌ කරන්න වෙන්නෙත් නෑ. මට වගේම මේ සමස්‌ත මිනිස්‌ සංහතියටම වැඩක්‌ කරන්න 'ස්‌වයං උත්තේජනයක්‌' ලැබෙනවා. එය අනුව මඟ පාදාගන්න උනන්දුවක්‌ ඇති කර ගැනීමයි අත්‍යවශ්‍ය. අපි මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ තවත් මනුස්‌සයකුට සේවයක්‌ වෙන දෙයක්‌ කරනවා නම්, සැබෑ මිනිසෙක්‌ව ජීවත් වුණා කියලා සතුටින් මිය යන්න පුළුවන්. මගෙ ඇඟට පොඩි පොඩි දුර්වලකම් දැනෙනවා. ඒත් හිත නම් දුර්වල නෑ. තාම රෑ 10 - 11 වෙනතුරු මම වැඩ සැලසුම් කරනවා.

"ජීව වායු ඒකකයක්‌ හඳුන්වලා දුන්නා කියලා මම උදම් ඇනුවේ නැහැ. හරියටම වැඩ දන්න නිසා මට රාජ්‍ය සේවයේ ඇගයීමක්‌ ලැබුණෙ නැති තරම්. කෘෂිකර්ම පළමු පන්තියේ මුදුනටම ඇවිත්, කෘෂිකර්ම නිලධාරියෙක්‌ විදිහට 1985 දී මම විශ්‍රාම ගියා.

ඒත් විශ්‍රාම සුවෙන් කාලේ ගෙවන්නේ නැහැ. තවමත් හැමදාම සේවය කරනවා. තව අලුත් ක්‍රමයක්‌ අනුව ජීව වායු ඒකක හදන්න වැඩි නිෂ්පාදනයක්‌ ලබා ගන්න හැකිද බලනවා. නොපෙනෙන දේ පෙනෙන දෙයක්‌ ලෙස ප්‍රායෝගික ජීවිතයට බද්ධ කරන එක හරිම රසවත්."

උපවංශ මහත්තයා මනුස්‌සකම්වලින් හැකියා වන්ගෙන් පමණක්‌ නොවෙයි, දිරියමත් මිනිස්‌සු අතරෙන් අගය කළ යුත්තෙක්‌. එහෙත් මෙතෙක්‌ කිසිවෙක්‌ ඔහුගේ සේවය අගය කිරීමක්‌ හෝ ජීවත්වීමේ සෙසු පහසුකමක්‌ හෝ ලබා දී නැත.

එය සසඳන කල ගොමරිති උඩ පාවී මැණික්‌ ගල් දියේ ගිලී ඇතිවා සේ ය.

උපේක්‍ෂා වීරසේකර
දිවයින