Hot!

බමුණු රාජපක්ෂගේ උපාය

| නිලන්ත ඉලංගමුව

තමන්ගේ මායාවන් විනාශ කරගැනීමට ඇති අකමැත්ත නිසා ඇතැම් විට මිනිස්සුන්ට සත්‍ය අහන්න වුවමනාවක් නැත 
- ෆෙඩ්රික් නීට්ස්චේ

සමාජයේ එකට ජීවත්වෙන කණ්ඩායමක්  මංකොල්ල කෑම දෛනික ජීවිතයේ කොටසක් කරගත් විට ඔවුහු එම සමාජයේ නිතී ක්‍රමය තම මංකොල්ලකෑමට අනුමැතිය ලබා දීම සඳහාත් සදාචාර පද්ධතිය එය උත්කර්ෂවත් කොට දැක්වීම සඳහාත්  නිර්මාණය කරනු ලබයි. මෙය ෆෙඩ්රික් බැස්ටියට්, තම නිතීයට අදාළ රචනාවලදී සඳහන් කරනු ලැබූ මුලික කාරණාවලින් එකකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිර්මාණය කර ඇත්තේද මෙවැනිම වූ ව්‍යුහමය ආකෘතියකි. ඔහු සෑම විටම බධාගෙන කෑම හැරදමා බෙදාගෙන කන්න යැයි ප්‍රකාශ කිරීම පිටුපස ඇති න්‍යායික ඇත්ත වන්නේද මෙයයි.

සැබවින්ම රාජපක්ෂ තවමත් මෙම ක්‍රමය තුළ “ සාධාරණ” පත්වීමක් වී ඇත්තේ මන්ද? එය එසේ වී ඇත්තේ මීට පෙර සිටි අයවලුන් මහින්ද රාජපක්ෂට භාරදුන්නේද විනාශ කරනු ලැබූ ව්‍යුහයක් වීම නමැති, පොදුවේ පවතින පූර්ව නිගමනය හේතුවෙනි. මෙම පූර්ව නිගමනය මඟින් රාජපක්ෂ වක්‍රාකාරයෙන් සාරදනීකරණය කරනවා පමණක් නොව ඔහුට රිසි සේ කටයුතු කිරීම සඳහාද ඉඩකඩ ලබාදෙනු ලැබීය.ඔහු සිදුකළ නොහොඳ කෙතරම් සංකීරණද යත් ඒවායෙහි දුර්ගන්දය වහනය වන්නේ ඔහුගේ සිහිනවල සිටින විෂයන් වලිනි. එය ඔහුද අභිබවාගොස් ඇත. මීට පෙර සිදු වූ සහ වර්තමානයේ සිදුවන සිදුවීමෙහි බරපතල වෙනස සටහන් වී ඇත්තේද එම අවකාශය තුළය.

රාජපක්ෂ මීට පෙර සිටි නායකයින්ගෙන් ලබාගත් මුලික දේ කුමක්ද? එය වෙන කිසිවක් නොව, තම මංකොල්ලකෑම සාදාරනීකරණය කිරීමට පමණක් නොව දීර්ඝ කාලීනව පවත්වා ගැනීමට නම් තමා විස්වාශකළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව රාජපක්ෂට අවබෝධයක් ලබාගැනීමට අවකාශ සලසා දීමයි. ඒ මීට පෙර සිටි නායකයින් බොහෝ දෙනෙක් ලජ්ජාවට හෝ නීතිය ගැන තිබු අල්පමාත්‍ර භිය නිසා අතහැර දැමූ මෙන්ම තම පවුල් වටපිටාවෙන් ඒ සඳහා සුදුසු වාතාවරණයක් නොතිබූ හෙයින් අතහැර දමනු ලැබූ බමුණු උපායකි. නමුත් රාජපක්ෂට ඒ සඳහා කිසිඳු පුර්ව කොන්දේසියක් නොතිබූ අතර රිසි සේ තම බමුණු උපායන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වටපිටාව තම අභ්‍යන්තරයෙන් සහ පිටතින්  සකස් වී තිබුණි.

එම කෛරාටක මංකොල්ලකාරී භාවිතය අතීතය එනම් යටත්විජිත යුගයට පෙර පැවති අවධිය සමඟ ඍජුව බද්ධ කිරීමට අවශ්‍ය  සංස්කෘතික පරිසරය ඔහුට නිර්මාණය වී තිබුණි. එසේම ඒ වෙනුවෙන් උරදීම සඳහා මොළය උදරයට දමාගෙන සිටින බොහෝ දෙනෙකු ඔහුගේ පාද ලෙවකනු ලැබීය. ඔවුහු එසේ කරනු ලැබුවේ ඉතා සුළු වාසි ලබාගැනීමේ අපේක්ෂාවෙන් වූ අතර එම අපේක්ෂාව පිළිබඳව රාජපක්‍ෂට නිශ්චිත අවබෝධයක් තිබුණි. එනිසා ඔහු ශතයෙන් සංග්‍රහ කළ යුත්තේ කාටද? දහසෙන් සංග්‍රහ කළ යුත්තේ කාටද? යන්න එම විෂය ඔහුගේ දෙපා ලෙවකෑමට ඒමට පෙර සිටම දැන සිටියේය.

රාජපක්ෂ රටේ සෑම ආයතනයකටම අලපයකින් හෝ හිමි වී තිබූ ස්වාධීන බලය ඝාතනය කොට, මේ දක්වා පැමිණි ගමන තුළ ඇත්තේ එම උපාය උචිත ලෙස භාවිතා කිරීමයි. එය ඔහු විසින් ලංකාවේ විදේශ තානාපති සේවාවන් වලට පවා එන්නත් කොට ඇති අතර, එකල බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් මෙරට විදේශ සේවාවන් මේ වන විට කේලාම් වල සීමා වී විනිශ්චය කරන දේශපාලන පන්දම්කාරයින්ගෙන් පුරවා තිබේ.  මෙය කෙතරම් දුරට කළ හැකිද? එය වෙනස් කළ යුත්තේ කෙසේද යන්න? සිදුවීම් මතින් ඇතිවන අවබෝධයක් වන අතර එය දේශපාලනික වශයෙන් අවබෝධ වී ඇතැයි විස්වාශ කිරීමට කිසිඳු සාක්ෂියක් නොමැත.

වඩාත් ආසන්නතම උදරහණය වන්නේ කතානායකවරයා විසින් ලබා දෙන සම්ප්‍රදායික අය වැය ආහාරවේල සඳහා සහභාගී වූ දේශපාලනඥයින්ය. ඊට සහභාගී වූ බොහෝ දෙනා මෙවර අයවැය ගැන දැන සිටියහ. එය රාජපක්ෂ විසින් තනනු ලැබූ ඔහුගේ සහ ඔහුගේ පවුලේ ආර්ථිකවාසිය සහ ආරක්ෂාව වෙනුවෙන් නිර්මාණය කරනු ලැබූ ගුණ්ඩුවක් ලෙස දැන සිටියහ. ඊට විරුද්ධවද පාර්ලිමේන්තුවේදී තම අමනාපය ප්‍රකාශකළ ඔවුහු කිසිවෙකුට ප්‍රසිද්ධියේ එම “සම්ප්‍රදායික ආහාරවේල” වර්ජනය කිරීම සඳහා අදහසක් හෝ පහල වූයේ නැත.
කාරණය අතිශය සරල විය හැකිය. එසේම ඊට විරුද්ධ වුවද සම්ප්‍රදායට පිටුපෑ නොහැකි බව තර්කය ලෙස ඉදිරිපත් විය හැකිය. නමුත් ලංකාවේ පවතින බරපතල ආරවුල විසඳීම සඳහා ලැබෙන සුළු අවස්ථාව හෝ ප්‍රයෝජනයට නොගැනීම මහත් අවාසනාවකි. එවැනි අව්‍යාජ දේශපාලනයක් මෙම කිසිඳු දේශපාලන කල්ලියකට නොමැත. ඇත්තේ සිද්දීන් පිටුපස ගොස් තමන්ගේ ප්‍රසිද්ධිය ලබාගැනීම සඳහා සිද්දියේ විෂයක් බවට පත්වී කටයුතු කිරීමෙන් ලබන ප්‍රමෝදය පමණි. එය ඔවුන්ගේ එකම තෘප්තිය වී ඇති අතර, එම තෘප්තිය විසින් තනනු ලබන මායාවන් වල එල්බ ගෙන ස්වයං සිහින දකිමින් සිටිති.

මෙය වෙනස් ආකාරයකින් ලංකාවේ සාමාන්‍ය ජනතාව අතරටද කාන්දුවී ඇත. ඇත්තට වඩා මායාවට ඇලුම් කිරීමටත්, පවතින තත්වයට වඩා සිහිනයට ඇලුම් කිරීමටත් පුරුදුවෙමින් තිබෙන්නේ පවතින වටපිටාව තම වින්දනය  කඩාබිඳ දමන බව දන්නා හෙයිනි. නිදහස තබා එහි මායිම ගැනවත් අවබෝධයක් නැති අපට, ආඥාදායකාගේ අණ නිතීය ලෙසත් , ඔහුගේ සහ ඔහුගේ සිහනවල සිටින අයගේ සළු අපේ සිහින වල වලාකුළු ලෙසත්, ඔවුන්නේ ක්‍රියා අපේ බලාපොරොත්තු ලෙසත් පිළිගනිමින් සිටිති.


ආඥාදායකයා, ආඥාදායකයා ලෙසත් ඔහුගේ නිතීය අපේ නිදහස පාගාදමන සපත්තුව ලෙසත් අවබෝධ කරගැනීමට සහ ඊට විරුද්ධව කටයුතු කිරීමට ගතවන කාලය හා සමගාමිව අපි තව තවත් ආඥාදායකයා සහ ඔහුගේ පවුල නඩත්තු කිරීම සඳහා ලෝකයට ණයකාර ජාතියක් බවට පත්වෙමින් සිටිනු ඇත. ඊට අව්‍යාජව විරුද්ධ වන්නා ක්‍රමය විසින්ම කොන් කර දමයි. එම නීරස යථාර්තයට මුහුණදීමට ඇති බිය හේතුවෙන් අපි අපේ මායාවන්වල සිටිමින් ඉන් මිදීමට අකමැත්තෙන් එහිම එල්බගෙන සිටිමු.