Hot!

දිනකට ළමයින් විස්සක් අපයෝජනයට ලක්වීමේ ආශ්චර්යය


ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්කිරීමේ ව්‍යායාමයේ තවත් ප‍්‍රතිඵලයක් ගැන ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැතිවරයා මේ සතියේ දී පාර්ලිමේන්තුවට කීවේ ය. ඒ 2012 වසරේ දී ලංකාවේ ළමා අපයෝජන සංඛ්‍යාව 7,418 ක් බව ය. මේ සංඛ්‍යා ලේඛන අනුව දිනකට අඩු ම ගණනේ දරුවෝ විසි දෙනෙක් වත් අපයෝජනයට ලක්වෙති. මේ රජයේ ආයතනවලට වාර්තා වන ළමා අපයෝජන ගණන පමණෙකි. විවිධ සමාජ, සංස්කෘතික හා ආර්ථික හේතු නිසා එලෙස වාර්තා නොවන ළමා අපයෝජන සංඛ්‍යාව ද සුළුපටු නොවන බව සැලකුවහොත් ලංකාවේ දරුවන්ගේ ඛේදනීය උරුමය ගැන තේරුම් ගත හැකි වනු ඇත. ඇමැතිවරයාගේ ම සංඛ්‍යා ලේඛන අනුව 2009 සිට 2012 දක්වා සිදුවී ඇතැ’යි වාර්තා වූ ළමා අපයෝජන සංඛ්‍යාව 18,777කි. එම කාලය තුළ ළමා අපයෝජන සාමාන්‍යය දිනකට දහතුනක් පමණ ය.

මේ සා කම්පනයක් ඇතිකරවන ළමා අපයෝජන ප‍්‍රමාණයක් වාර්තා වන ආසියාවේ ආශ්චර්යයක් වන මේ රටේ ස්වභාවය කෙබඳු ද? එහි ජනාධිපතිවරයා සතියකට වරක් වත් දළදා මාලිගාව, කතරගම හෝ අනුරාධපුර පුදබිම් වන්දනාවේ යෙදෙන, දන් පින් කරන, සදාචාරය ගැන නිරන්තර ව තම වැසියාට අවවාද අනුශාසනා කරන හොඳ සිංහල බෞද්ධ ආඩම්බරකාර තාත්තා කෙනෙකි. දුටු තැන දරුවන් වඩාගන්නා ඔහු නිතරම කියන්නේ ඒ දරුවන් රටේ වැදගත්ම සම්පත බව ය. රටේ හැම තැනම පන්සල් ය. පල්ලි ය. තුන්තිස් පැය පුරා ම රටේ හැම විද්්‍යුත් නාලිකාවකින් ම මාරාන්තික තරගයකට මෙන් බණ, පිරිත් ඇසෙයි. හැම පටුමගකට ම හැරෙන හන්දියක එක්කෝ බුදු පිළිම ය. නැත්නම් සුරුවම් ය. බුදුදහම බේරාගැනීමට මේ වන විට පාරට බැස ඇති විවිධාකාර බලසේනා ය. බලකා ය. එහෙත් ඒ රටේ දරුවෝ දිනකට විසි දෙනකු වන සේ අපයෝජනයට ලක්වන්නාහ. ඒ අර බණ, පිරිත්, යාඥා අසන කියන, පන්සල් පල්ලි වැල නොකැඞී යන වැඩිහිටියන් අතිනි.

මේ තිත්ත ඇත්ත තේරුම් ගැනීමට තවත් සංඛ්‍යා දෙකක් දැක්විය යුතු ය. කොළඹ සිට කටුනායක දක්වා අධිවේගී මාර්ගය ඉදිකිරීමට ආණ්ඩුව කිලෝමීටරයකට රුපියල් බිලියන 1.8ක් වැය කළේ ය. එහෙත්, රට පුරා විසිර තිබෙන අනාථ, අසරණ දරුවන් වෙසෙන ළමා නිවාසයක දරුවකු වෙනුවෙන් දවසකට ආණ්ඩුව වැය කරන්නේ රුපියල් විස්සකි. මාසයකට රුපියල් 600කි. මේ සංඛ්‍යා අපට කියන්නේ කුමක්ද? අප මග වරදා ගත් ජාතියක් බව මිස අන් කුමක්ද? වැඩි ප‍්‍රමුඛතාව ලැබිය යුතු දෙය වෙනුවට වෙනත් දේ සඳහා යොමු වීමෙන් ජාතියක් හැටියට අප අප ම අනතුරේ හෙළාගෙන ඇති බව නොවේද? යුද්ධය අවසන් වීමෙන් පසු ලංකාව ගොඩගත යුතු ව තිබුණේ නරාවළකිනි. දෙමළ මිනිසුන්ගේ අයිතිවාසිකම් දීම මඳකට පසෙක තබමු. යුද්ධය නිසා ඔද්දල්වූ සිත් ඇති සිංහල මිනිසුන්ගේ වත් මානසික තත්ත්වය වෙනස් කරන, සමාජ සංහිඳියාවක් ඇතිකරන වැඩපිළිවෙලක් ඉදිරියට ගන්නට ආණ්ඩුවට වුවමනාවක් නොතිබිණි. ඒ වෙනුවට ප‍්‍රමුඛස්ථානය දෙන ලද්දේ අහස උසට නැගෙන නෙළුම් කුළුණු ඉදිකරන්නට ය. වාහන ඝනත්වය ඉතාමත් අඩු ප‍්‍රදේශවල මංතීරු හයේ දැවැන්ත මහාමාර්ග තනන්නට ය. අග්නිදිග ආසියාවෙන් වැඩිම උසැ’ති ගොඩනැගිලි හදන්නට ය. කොළඹත් සංචාරක නගර පුරාත් අතිදැවැන්ත තරු පන්තියේ හෝටල් තනන්නට ය. ඒ සියල්ලටමත් වඩා හතර අතේ ණය වී වියදම් කර ලෝකයට ම පුරාජේරුව පෙන්වන්නට චෝගම් තියන්නට ය. මේ වැඩ සියල්ලේම පොදු ගුණාකාරය කුමක්ද? හැම තැනකම නම ගසාගැනීමත්, ඒ ඒ ව්‍යාපෘතිවලින් හැකි තරම් කොමිස් ලබාගැනීමත්, කොන්ත‍්‍රාත් සියල්ල හිතුමතේ ගජමිතුරු කොන්ත‍්‍රාත්කාරයන් අතර බෙදාහැරීමත් ය.

එහෙත් ඒ සියලූ පුරාජේරු කියා අවසන් ව නැවත නිවසට ආ විට පෙනෙන්නේ කුමක්ද? අපයෝජනයට ලක් ව හඬාවැටෙන අපේ දරුවන් ය. ළෙහි අත්ගසා ආඩම්බරකාර පීතෘත්වයක් ගැන කියනවා වෙනුවට මේ දරුවන් වෙනුවෙන් ආණ්ඩුවක් ලෙස, සමාජයක් ලෙස අප කර ඇත්තේ කුමක්ද? ඇත්ත. දරුවන් (හා කාන්තාවන්) වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් පිහිටුවා පළමුවරට එය පුරුෂ ඇමැතිවරයකුට ද පවරා තිබේ. ජාතික ළමාරක්‍ෂක අධිකාරියක් ද, ළමාරක්‍ෂක හා පරිවාස සේවා දෙපාර්තමේන්තුවක්ද ඒවා යටතේ විවිධාකාර ආයතනද පිහිටුවා තිබේ. මේ ආයතනවලට දේශපාලන පත්වීම් ද යහමින් කර තිබේ. මේ ඇමැතිවරුන් ඇතුළු ආයතනවල නඩත්තුව වෙනුවෙන් මුදල් ද වැයකෙරෙයි. එහෙත් අවුරුදු ගණනාවක් ගිය තැන, අපට අසන්නට ලැබෙන්නේ දරුවන් විසිදෙනකු දිනකට අපයෝජනය වන බව නම්, කුමට ඒ රටට ළමා සංවර්ධන ඇමැතියෙක්? ළමාරක්‍ෂක අධිකාරියක්? ආඩම්බරකාර තාත්තා කෙනෙක්?