Hot!

අය වැය - ජනාධිපති මහින්ද සහ මහින්ද අයියා - උපුල් ජෝශප් ප්‍රනාන්දු


"15 වැනිදා අය-වැය ඉදිරිපත් කළා. 17 වැනිදා පාන් ගෙඩියේ මිල ශත 10කින් වැඩි වුණා. අද පාන් ගෙඩියේ මිල වැඩිවී තිබෙනවා. තමුන්නාන්සේලාට අපිට තේරෙන්නේ නැහැ. මෙතැන රු. 7.50ට කුකුල් භාගයයි පාන් ගෙඩියකුයි කන නිසා රුපියල් 5ට මාළු පෙත්තක් කන නිසා තමුන්නාන්සේලාට ඒක තේරෙන්නේ නැහැ. අහිංසක ජනතාවට ඒක තේරෙනවා..."
 
මේ මහින්ද රාජපක්ෂ, ප්‍රේමදාස ආණ්ඩුවේ අය-වැයට පහර පිට පහර ගහමින් 1987 නොවැම්බර් 21 වැනි දින කළ කතාවය.
 
මේ කතාව මතක් වුණේ මහින්ද පසුගියදා ඉදිරිපත් කළ අය-වැය කියවනකොටය. එදා පාන් ගෙඩියේ මිල වැඩි වුණේ ශත දහයකින්ය. ශත දහයකින් පාන් ගෙඩියේ මිල වැඩි වෙද්දී මහින්දලා පාද යාත්‍රා ගියේ මේ සිංදුව කිය කියාය.
 
"රූං පෙත්ත කැරකෙනවා

පාන් පෙත්ත උඩ යනවා

ප්‍රේමදාස සුරංගනා කතා

කියනවා..."
 
හැබැයි අද පාන් ගෙඩියේ මිල වැඩි වෙන්නේ රුපියල් පහ දහයෙන්ය. ඒ අය-වැයෙන් නම් නොවේ. අය-වැයට පසු බඩට ගහන ගැසට්වලිනි. මහින්දගේ අය-වැය ගැන මහින්ද තරම් හොඳට කතා කරන්න දන්න කෙනෙක් නැත. ප්‍රේමදාස ආණ්ඩු කාලයේ හිටපු "මහින්ද අයියා" ප්‍රේමදාස ආණ්ඩුවේ අය-වැය ගැන කී කතා ජනාධිපති මහින්දගේ අය-වැය බලා ගත හැකි කණ්ණාඩියක් වැනිය. මහින්ද ජනාධිපති වෙන්න කලින් මහින්දට හැමෝම කීවේ මහින්ද අයියා කියලාය.

මේ අය-වැය ඉලක්කම් විජ්ජාවක් වුණු හැටි "මහින්ද අයියා" පෙන්වා දුන්න ආකාරයය.
 
"ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අය-වැය ලේඛන සම්බන්ධව විග්‍රහ කිරීමේදී මා මුලින් කියන්න කැමැතියි, මේ සම්බන්ධයෙන් ඉතාම හොඳට විග්‍රහ කර තිබෙන්නේ හිටපු ජනාධිපති අතිගරු රණසිංහ ප්‍රේමදාස මැතිතුමා බව. අය-වැයක් හදන්නට මෙපමණ මහන්සි වෙන්නට ඕනෑ නැත. එය ටැක්සි ඩ්‍රයිවර් කෙනකුට හෝ සිල්ලර කඩකාරයකුට හෝ කරන්නට පුළුවන් වැඩක්ය කියා එතුමා එදා කිව්වා. ඒ විදියට අය-වැය ලේඛනය බොහොම සැහැල්ලු බවට පත් කරන්නට ප්‍රේමදාස රජය බොහොම මහන්සි ගත්තා. ඒ අනුව අද මට කියන්නට සිදුවී තිබෙන්නේ මේ අය-වැය සිල්ලර කඩයක මුදලාලි කෙනෙක් කළ වැඩක් වාගේ පෙනෙනවාය කියලයි. කෙසේ වෙතත් රජය මේ තරම් සැහැල්ලු අන්දමට අය-වැය පිළිබඳව කල්පනා කිරීම ගැන අපි බොහොම කනගාටු වෙනවා.
 
රජයක් අය-වැය ලේඛනයක් අවුරුද්දකට වරක් ඉදිරිපත් කරන්නේ ඇයි? ඊළඟ වර්ෂය සඳහා රජයේ සැලසුම් ඉදිරිපත් කරන, ඒ වාගේම ඉදිරි වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිපත්ති පෙන්නුම් කරන ප්‍රධාන කැඩපත වන්නේ අය-වැයයි. ඒ නිසාම අතීතයේදී පුවත්පත්, ව්‍යාපාරිකයන්, උගතුන්, ගුරුවරුන්, ශිෂ්‍යයන් ආදී සියලු දෙනාම අය-වැය ඉදිරිපත් කරන තෙක් බලාගෙන සිටියා. මට මතකයි 1970 ගණන්වල ආචාර්ය එන්. එම්. පෙරේරා මැතිතුමා අය-වැය විස්තර ඉදිරිපත් කරන තෙක් රටේ ජනතාව බලාගෙන සිටි ආකාරය. එදා මුළු රටේම අවධානය අය-වැය කෙරෙහි යොමු වී තිබුණා. අද පුවත්පතක් ගත්තත් අය-වැය ගැන කිසිවක් සඳහන් වී නැහැ. අය-වැය පිළිබඳ විවාද, සංවාද කිසිවක් අද නැහැ. ඒ තරමට අය-වැය සැහැල්ලු තත්ත්වයකට පත් කිරීමේ ප්‍රතිඵලය වී තිබෙන්නේ, අන්න එවැනි තත්ත්වයක් ඇති වීමයි. කොටින්ම කියනවා නම් මේ අය-වැයෙහි කිසිම ගතියක් නැහැ. එයට හේතුවක් තිබෙනවා. අය-වැයට ඉස්සෙල්ලා බඩුමිල වැඩි කරනවා. ඊළඟට අය-වැයෙන් ඒ බඩුවල මිල රුපියලක් අඩු කරනවා. මේක තමයි පෙන්වා ගෙන හිටපු විජ්ජාව. ඉතින් ජනතාව දන්නවා මේ අය-වැයෙන් වුණත් කිසි වෙනසක් නොවන බව.
 
ඒ විතරක් නොවෙයි. රටේ සංවර්ධනය සඳහා සහ අනෙකුත් දේවල් සඳහා මෙපමණ කෝටි ගණනක් අපි වියදම් කරනවාය කියා ඇස්තමේන්තු කරනවා. මොකක්ද ඊළඟට කරන්නේ? අපට ගණන් හිලව් පෙන්වනවා. එතැන සිට මුළු අවුරුද්දෙම පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරනවා. මම ගණන් බැලුවා. 1992 අවුරුද්දේදී ඉදිරිපත් කර තිබෙන පරිපූරක ඇස්තමේන්තු ගණන 70යි. ඒ පරිපූරක ඇස්තමේන්තු 70 සම්පූර්ණ වටිනාකම රුපියල් 1932, 81, 35,551.90යි. එතකොට මේ අවුරුද්දේ කොහොමද? මේ අවුරුද්දේ දැනටම පරිපූරක ඇස්තමේන්තු 63ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ විධියට තව කීයක් ඉදිරියේදී ඉදිරිපත් කරයිද කියා කියන්නට බැහැ. වර්ෂය අවසානයේදී අය-වැයක් ඉදිරිපත් කරනවා. ඊළඟට ජනවාරි පැන්නත් එක්කම ඔන්න පටන් ගන්නවා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරන්නට.
 
මගේ මේසයට උඩ තිබෙන න්‍යාය පත්‍රයෙහිත් පරිපූරක ඇස්තමේන්තු කීපයක් ඇතුළත් වී තිබෙනවා. ඒ අර ඉදිරිපත් කළ 63ට අමතරවයි. මේ විධියට අය-වැය බාල්දු කිරීම පසුගිය කාලයේදී දිගටම සිදු වුණා. (බාධා කිරීම්) මම කියන්නේ මේ කාලය ගැනයි. මේකත් එහෙමමයි. එන අවුරුද්දේ ජනවාරි වෙන කොට ඒ විධියට කටයුතු කරන්නට පටන් ගන්නවා. ආපසු පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරනවා. එකින් එක පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරනවා. තමුන්නාන්සේලා "යෙස්" කියනවා. අපි "නෝ" කියනවා. සිද්ධ වෙන්නෙ ඒකයි. දැන් බලන්න මුදල් රාජ්‍ය අමාත්‍යතුමාගේ කතාව දිහා. මොකක්ද අමාත්‍යතුමා කිව්වේ? මේ අය-වැය කතාවේදී එතුමා කියනවා "1994 අය-වැය ඉලක්කය කර ඇත්තේ නිෂ්පාදනය උපරිම තත්ත්වයකට ගෙන ඒම සඳහායි" කියා මොකක්ද කරන නිෂ්පාදනය? ඒ සඳහා ඉදිරිපත් කර තිබෙන්නේ මොනවාද? කෘෂිකර්මයේ දියුණුව උදෙසා හෝ නිෂ්පාදනය වැඩි කිරීමට හෝ කර තිබෙන්නේ මොනවාද? කෘෂිකර්මය දියුණු කිරීම ස¼දහා කිසිම යෝජනාවක් ඉදිරිපත් කරලා නැහැ. ට්‍රැක්ටර්, උදලු, බීජ, පොහොර ආදිය ගැන කිසිම දෙයක් සඳහන් වී නැහැ. 1970-77 අපේ පාලන කාලයේ මට මතකයි මේවා ඔක්කොම දුන්නේ සහනාධාර ක්‍රමයට. 1970-77 ට්‍රැක්ටර් දුන්නේ සහනාධාර ක්‍රමයට. අපේ අර ගොවි ජනහඬ තුළින් රුහුණේ ගොවියෝ, උෟවේ ගොවියෝ, රටේම ගොවියෝ ජනාධිපතිතුමාට තැපැල් පත් යවන්න පටන් ගත් විට ගොවියන් පිළිබඳ සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියලා -
 
රංජිත් කුමාරගේ මහතා

පොලු දැම්මේ මොකෝ?

මහින්ද රාජපක්ෂ මහතා -
 
එතුමා අද ට්‍රැක්ටර්වල තීරු බදු අයින් කරලා. අපි ඒ ගැන කෑගැහුවාට පස්සේ බොහොම හොඳයි. දෙවියනේ! අය-වැය ලේඛනය සකස් කරන වේලාවේ මේ කාරණය ඔය නිලධාරීන්ට පෙනුණේ නැද්ද? අයිස් කාමරවල ඉඳගෙන මේවා හදන්නට ගියාම, අනුන් හදන දේ කියවන්නට ගියාම, සිල්ලර කඩේ මුදලාලි හදනවා වගේ අය-වැය ලේඛනය හදන්න ගියාම ඇති වන ප්‍රතිඵලය ඒකයි. මතක් වුණේ මඟදී. විපක්ෂයෙන් කෑගහන විට, ගොවීන් කෑගගහන විට, මේ ගැන මතක් වෙලා ට්‍රැක්ටර්වල තීරු බදු අඩු කරනවාය කියා උදේ කිව්වා. ඒකනේ ඇත්ත? ඇමැතිතුමන්ලා, මන්ත්‍රිතුමන්ලා මේ බව දන්නවා. මෙම තත්ත්වය ඔබතුමන්ලා පිළිගන්නවා. නමුත් කියන්න බැහැනේ? කියන්න බැරි නිසා කට වහගෙන ඉන්නවා. අපිට කියනවා මේව කියන්නට කියලා. ඒක නිසා අපි කියනවා.
 
මහින්ද රාජපක්ෂ

හැන්සාර්ඩ් වාර්තා

19. 10. 1993"

පහත දැක්වෙන්නේ 1992 නොවැම්බර් 12 අය-වැය විවාදයේදී "මහින්ද අයියා" කළ කතාවය.
 
"ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කියන්නේ රජය දෙන පොරොන්දු ඉෂ්ට කරන්නට ඕනෑ බවයි. මෙම විශ්‍රාමිකයන්ගෙන් ඔවුන්ගේ අතපය ශක්ති සම්පන්නව තිබුණු කාලයේ වැඩ ගත්තා. ඔවුන් විශ්‍රාම ගියාට පස්සේ ඔවුන්ව කුණු මුල්ලට තල්ලු කරනවා. මෙසේ කිරීම නතර කරන්න. එම විශ්‍රාමිකයන්ටත් වැඩි වන ජීවන වියදමේ බර වැටහෙන්නේ නැතැයි සිතනවාද? ඒක වැටහෙන්නේ තමුන්නාන්සේලාට පමණක්ද? අන් අයට වැටුප් වැඩි කරන විට ඒ සමානව විශ්‍රාමිකයන්ටත් ලබා දෙන විශ්‍රාම වැටුප් වැඩි කළ යුතුයි, අද පවතින ජීවන වියදමේ හැටියට. එවැනි යුගයකයි අප ජීවත් වන්නේ. එම නිසා විශ්‍රාමිකයන්ටත් ඒ හා සමානව වැඩි විශ්‍රාම වැටුපක් ලබා දෙන්න. එසේ දෙන්නට බැරි නම් අඩු වශයෙන් රු. 560ක් - ඒ කියන්නේ ඒ අයට දිය යුතුව තිබෙන රුපියල් 260ට මේ රුපියල් 300ත් එකතු කර රුපියල් 560ක් - ලබාදෙන ලෙස ගරු මුදල් අමාත්‍යතුමාගෙන් මා ඉල්ලා සිටිනවා.
 
ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මා දිවා භෝජන විවේකයට ප්‍රථමයෙන් කතා කරමින් සිටියේ මේ අය-වැය ලේඛනයෙන් කර තිබෙන රජයේ සේවක වැටුප් වැඩිවීම පිළිබඳවයි. මේ අය-වැය ලේඛනය තුළින් තමුන්නාන්සේට පෙනෙනවා ඇති, ජනාධිපතිතුමා පොරොන්දු වූ නැති බැරි අය ඇති හැකි අය කරන්නට යනවාය කියන මේ යුගයේ මොන විධියට කටයුතු සිදු වී තිබෙනවාද කියා. මේ විධියට ගියොත් අද පානුයි පොල් සම්බෝලයි කන්නවත් ලැබෙන්නේ නැහැ. එදා ඇසුවේ මේ පොල් බෑය කීයද, අනෙක් පොල් බෑය කීයද කියායි. අද පොල් බෑයක් රුපියල් 5යි. පාන් ගෙඩිය රුපියල් හයේ සිට ඉහළට අටයි පනහට. දහයට, ‍ෙදාළහට ගිහින් තිබෙනවා. මුදල් ඇමැතිතුමනි, මේ විධියට ගියොත් නැති බැරි අය ඇති හැකි අය වෙනවා වෙනුවට ඇති හැකි අයත් නැති බැරි තත්ත්වයට වැටෙනවා. මේ පඩි වැඩි කිරීම, අර පොල් බෑය ශත 35ට තිබුණු යුගයේ කළා නම් ඒ තරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අද එළවළුවල සිල්ලර මිල සියයට 44.7කින් වැඩිවී තිබෙනවා. ප්‍රවාහන ගාස්තු සියයට 35 කින් වැඩි වී තිබෙනවා. සාමාන්‍ය රජයේ සේවකයකුගේ වැටුපේ මූර්ත අගය 127.5 සිට 114.2 දක්වා අඩු වී තිබෙනවා. සුළු සේවකයකුගේ වැටුපේ මූර්ත අගය 133.7 සිට 123.4 දක්වා අඩුවී තිබෙනවා. මේ විධියට ගියොත් මේ මිනිසුන් ජීවත් වන්නේ කොහොමද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා"
 
"මහින්ද අයියා" එදා කළ මේ කතාව කියවල ජනාධිපති මහින්ද අද මිනිස්සු ජීවත් වෙන හැටි ගැන හිතල බැලුවා නම් නරක නැත. 2003 රනිල්ගේ ආණ්ඩුවේ අය-වැය ගැන කතා කරද්දී එකල විපක්ෂනායක ලෙස "මහින්ද අයියා" ප්‍රශ්න කළේ සාමය ඇති කිරීම නිසා යුද්ධයෙන් ඉතිරි වෙන සල්ලිවලට මොකද වුණේ කියන එකය.

"ගරු කතානායකතුමනි, මේ රජය බලයට පත්වෙලා වසර දෙකකට පසුව ඉදිරිපත් කරන ලද මේ අය-වැය පිළිබඳ අද අපි කතා කරන්නේ දැඩි කලකිරීමකින් හා වේදනාවකින් යුක්තවයි. අප රටේ අහිංසක ජනතාවට බලාපොරොත්තු රැසක් දීලා, ඒ ජනතා බලාපොරොත්තු සුන් කර දැමීම තුළින් අද රට තුළ ඇති වී ඇති ජනතා කනස්සල්ල ජනතා නියෝජිතයන් වන අපට තදින් දැනෙනවා.
 
අපි අය-වැය ගැන කතාකිරීමට කලින් මේ රජය බලයට ඒමට පෙර සිට මහත් ප්‍රචාරයක් ලබා දුන් සාමය ගැන කතා කරමු. සාමයේ මැදිහත්කරුවන් අද පැනලා ගිහිල්ලා. නෝර්වේ මැදිහත්කරුවන් හදිසියේ ඉවත්වීම ගැන අපි එක පැත්තකින් කනගාටු වෙනවා. එදා කිව්වා වගේ අදත් මම නැවතත් කියනවා, අපේ අසල්වැසි ශක්තිමත් රටක් වන ඉන්දියාව මේ සාම වැඩපිළිවෙළට මැදිහත් කර ගන්නය කියලා. ඉන්දියාවේ මැදිහත් වීම ඉතා වැදගත් බව මේ ආණ්ඩුව මතක තබා ගත යුතුව තිබෙනවා.
 
සංවිධානාත්මකව සාම වැඩ පිළිවෙළක් සහ මනා කළමනාකාරිත්වයක් ඇති ආර්ථික වැඩපිළිවෙළක් ගැන සිහින මැවූ අපේ රටේ ජනතාව බලාපොරොත්තු වූයේ දිනෙන් දින ඔවුන් පිට පැටවෙන ජීවන බරෙන් සහ එම පීඩනයෙන් ගැලවීමටයි. නමුත් සිදුවී ඇත්තේ කුමක්ද? සාම වැඩපිළිවෙළ නිසා ඉතුරු වූ ආරක්ෂක වියදම්වලට හා ආර්ථික කළමනාකාරිත්වය නිසා ඉතුරු කර ගත් මුදල්වලට සිදු වූයේ කුමක්ද? ජනතාවගේ පැතුම වූයේ මෙතරම් පුරසාරම් දෙඩූ රජයක් දෙවසරක් අවසානයේ හෝ ඔවුන්ව සුඛිත මුදිත කිරීමට කටයුතු කරනු ඇත කියායි. මේ අය-වැය ගැන බලනකොට අපට මතක් වෙන්නෙ කතාව දෝලාවෙන් ගමන පයින් යන පරණ කතාවයි."
 
මහින්ද රාජපක්ෂ

හැන්සාර්ඩ් වාර්තා

27. 11. 2003

අවසාන වශයෙන් මේ කතාව කියවල "මහින්ද අයියා" ජනාධිපති මහින්දගෙන් අහන්න ඕනා එකම එක ප්‍රශ්නයකි.
 
"යුද්ධය ඉවර කරල දැන් අවුරුදු 5කට ආසන්නයි. මේ කාලේ යුද්ධ නොකර ඉතුරු කරපු සල්ලිවලින් ජනතාවට සහන දෙන්න බැරි ඇයි...?"