Hot!

‘‘සුදම් සභාව’’ මගේ ම කෘතියක් ද....??? - මහාචාර්ය සරත් විජේසූරිය


තමා වරදස නොදිස්නේ අනුන් වරද ම දිස්නේ’’ මේ මනුෂ්‍යයාගේ ස්වභාවය යි. එහෙත් ඇසූ පිරූ බුද්ධියකින් හෙබි, ආචාර්ය මහාචාර්යවරුන් ද මෙලෙස හැසිරෙන්නේ නම් හුදී ජනයා කෙසේ හැසිරේවිද යන්න වෙසෙසින් කිව මනා නොවේ.
ලංකාදීප විමංසා අතිරේකයේ සංස්කාරක ගාමිණී කන්දෙපොළ මාධ්‍යයවේදියාගේ, ලේඛකයාගේ අභිනව සාහිත්‍යය කෘතිය වන ‘‘වැහිබිත්තර’’ කෘතිය එළිදැක්වීමේ උත්සවයේ මුඛ්‍ය දේශනය භාරව තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා වෙත ය. ඔහුගේ දේශන නීරස  වුව ද ලියුම්කරු එයට සහභාගි වූයේ කන්දෙපොළ සොයුරාගේ ආරාධනය හේතුවෙනි. සිතූ සේම එදින ද මහාචාර්යවරයා තමන්ට ලැබි තිබූ කාලයෙන් 80% පමණ වැය කළේ කෘතිය පිළිබඳ සිය මතය ඉදිරිපත් කිරිමට නොව කතාව කියැවීමට ය. එය ද කම් නැතැයි උපකල්පනය කළ ද ලිපිය ආරම්භයේ සඳහන් කළ ‘‘තමා වරදස නොදිස්නේ අනුන් වරද ම දිස්නේ’’ යන කියමන සනාත කිරිම පිළිබඳව නිහඬව සිටීම ලේඛක ලේඛිකාවන් වෙත කෙරෙන මහත් අවමානයක් යැයි සිතෙන බැවින් මෙය සටහන් කිරීමට සිත් විය.
පළමුවෙන් ම මෙ ලිපියට නිමිත්ත සැපවූයේ කෙසේ ද යන්න පිළිබඳ ව විමසා බලමු. මේ සරත් විජේසූරිය මහතාගේ ම වදන් මාලාවෙන් කොටසකි.
‘‘ගාමිණී කන්දෙපොළගෙ මේ නවකතාව මගේ අතට ලැබුණහම  පොත කියවන්නට කලින් මට විශාල සතුටක් දැනුණ. ඒකට හේතුව තමයි මේ පොත කුඩා වීම. මෑත කාලයේ නවකතාවේ ලොකු ම අභාග්‍යය හැටියට මම කල්පනා කරන්නෙ පිටු පන්සීය ඉක්මවා නවකතා ලිවීම.  සමහර වෙලාවට හිතෙනව මේ ස්වර්ණ පුස්තක සම්මානය මේකට හේතු වෙන්න ඇති කියල. අනිත් එක තමයි මේ පරිගනකයෙන් ලේඛකයො ලියන්න පටන්ගත්තට පස්සෙ  හිතට එන සියලු ම දේවල් ලියන බවක් පේනව. ඒ නිසා අද නවකතා කියවනවයි කියන එක පාඨකයෙක් හෙම්බත් වෙන වැඩක්. සිංහලෙන් ලියවිලා තියෙන, හොඳ නවකතා හැටියට අපි සලකන: ‘කලියුගය’ ‘විරාගය’, ‘චරිත තුනක්’ ‘යශෝරාවය’ ඔවැනි නවකතා පිටු දෙසීයක්වත් දිග නැහැ. මේ මැත කාලයේ තමයි මේ දීර්ඝ නවකතා, පිටු පන්සීයක් මිඩංගු කරන නවකතා, පාඨකයා දඩි වෙහෙසට පත්කරන නවකතා ලියන්නෙ. ලෝක සාහිත්‍යයේ කැපී පෙනෙන නවකතා ලොකු නවකතා තියෙනව වගේ ම බහුතරයක් හොඳ නවකතා පිටු සංඛ්‍යාවෙන් එතරම් දීර්ඝ නැහැ. නවකතාවෙදි මනුෂ්‍යය ජීවිතය සහ සමාජය නිරූපණය කිරීම කියන කටයුත්තෙදි ලේඛකයකුට ප්‍රථිභාසම්පන්න ලේඛකයකුට කුසලතාවක් තියෙන්නට ඕන තමන්ගෙ පාඨකයාට කිසියම් වපසරියක් තුළ තමන්ගෙ අත්දැකීම විකාශනය කරන්න. සමහර අත්දැකීම් ටිකක් පුළුල්ව සාකච්ඡා කරන්නට, ටිකක් පුළුල්ව නිරූපණය කරන්නට සිද්ධවෙන බව මම පිළිගන්නව. හබැයි හැම එක ම එහෙම ලියන්න පුළුවන් ද කියන එක තමයි මූලික ප්‍රශ්නෙ.’’
මහාචාර්යවරයා මෙහි දී තමන් ගොඩ නැගු තර්කය තමන් විසින් ම ව්‍යවච්ඡේදනය කොට ඇත. එනම් සෑම නවකතාවක් ම දීර්ඝ නොවනවා සේ ම ඇතැම්  නවකතාවක් දීර්ඝ වියහැකි බවයි. මේ ඒ සඳහා එක් නිදසුනකි.
‘‘සමහර අත්දැකීම් ටිකක් පුළුල්ව සාකච්ඡා කරන්නට ටිකක් පුළුල්ව නිරූපණය කරන්නට සිද්ධවෙන බව මම පිළිගන්නව ’’
එසේ නම් නවකතාවක පිටු ගණන තීරණය කරනු ලබන්නේ ලේඛකයා හෝ ලේඛිකාව විසින් නොව එහි ප්‍රස්තුථය සහ අන්තර්ගතය විසින් බව මහාචාර්යවරයා ම පිළිගනී.මහාචාර්යවරයාගේ ප්‍රකාශය ඔහුට හැර අන් සෑම ලේඛක ලේඛිකාවට ම වලංගු වන බවට ඔහුගේ ම කෘති සාක්ෂි දරයි. එනම්, ඔහුගේ ‘‘තුරුසෙවණ’’ කෘතිය පිටු 310 වන අතර ‘‘සුදම් සභාව’’ කෘතිය පිටු 464කින් සමන්විත ය. ඔහු එය පිළිගන්නේ නම් ඉහත සඳහන් ආකාරයේ නිෂ්ඵල ප්‍රකාශයක් නොකළ යුතු ය. එසේ නොමැති නම් ඉහත සඳහන් කළ මහාචාර්යවරයාගේ කෘති ද්වයේ ම කොටසක් පමණක් ඔහු විසින් විරචිත විය යුතු ය. මන්ද ඔහුගේ පිළිගැනීමට අනුව නවකතාවක පිටු ප්‍රමාණය දෙසිය නො ඉක්ම විය යුතු ය. ඔහු විසින් සඳහන් කළ: ‘කලියුගය’ ‘විරාගය’, ‘චරිත තුනක්’ ‘යශෝරාවය’ වැනි නවකතා එසේ වුව ද රාජ්‍යය සම්මානයෙන් පුද ලද සයිමන් නවගත්තේගමගේ ‘‘සංසාරන්‍ය අසබඩ’’ කෘතියේ පිටු 480 කි. ඔහුගේ ම ‘‘සුදිලාගේ කතාව’’ පිටු 390 කි. නමුත් එම කෘති කිසිඳු ආකාරයකින් පාඨකයා වෙහෙසට පත්කළ බවක් අප අසා නැත. සුනේත්‍රා රාජකරුණානායකගේ ‘‘රිදි තිරංගනාවී’’ පිටු පන්සියය ඉක්ම වූ කෘතියකි. අනුර වික්‍රමසිංහගේ ‘‘රත නොරත රති’’ කෘතිය පිටු 470 කි. කුමාර කරුණාරත්නගේ ‘‘අසුර භවන’’ පිටු 512 කි. ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශිත වු අනුරසිරි හෙට්ටිගේ ගේ ‘‘කළුවරයි පුර හඳ’’ පිටු 408 කි. සුනේත්‍රා රාජකරුණානායකගේ අභිනව සාහිත්‍යය කෘතිය ‘‘සෞම්‍යා ලෝකය’’ පිටු 452 කි. මේ කිසිඳු කෘතියක් කියැවීම අපහසු යැයි හෝ පාඨකයා වෙහෙසට පත්කළා යැයි අප අසා නැත. තවත් මෙවන් සිංහල නවකතා සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළ හැකි ය. එමෙන් ම පිටු සංඛ්‍යාව වැඩි කිසිඳු හරයක් නොමැති කෘති ලියැවී ඇති බව ද සත්‍යයකි. එහෙත් මහාචාර්යවරයාගේ චෝදනාව ඉතාමත් අඳබාල මුග්දධ චෝදනාවකි.
මහාචාර්යවරයා සඳහන් කළ පරිදි....

‘‘ලෝක සාහිත්‍යයේ කැපී පෙනෙන නවකතා ලොකු නවකතා තියෙනව වගේ ම බහුතරයක් හොඳ නවකතා පිටු සංඛ්‍යාවෙන් එතරම් දීර්ඝ නැහැ.’’ යන ප්‍රකාශයේදී ද ඔහුගේ නොදැනුවත් භාවය හෝ මුග්ධ භාවය මැනවින් පිළිබිඹු වන්නේ ය. එනම්: ලියෝ තොල්ස්තෝයි (යුද්ධය හා සාමය), දොස්තවුස්කි (කරමසෝ සහෝදරයෝ), ගොගොල් (මළ මිනිස්සු- මෙම කෘතියේ අත්පිටතේ කොටසක් අස්ථානගතව ඇති බව ද සිංහල පරිවර්තනයේ සඳහන් ව ඇත.) මිහායිල් ෂොලහව් (දොන් නදිය ගලා බසී, පෙරළුණ නැවුම් පස), ජේම්ස් ජොයිස් (යුලීසීස්), බොරිස් පැස්ටර්නක් (දොස්තර ශිවාගෝ), අනතොලි රිබකොව් (අර්බාත් දරුවෝ), නමැති මෙම කෘති කුමන ගණයට අයත් වන්නේ ද යන්න පාඨක අපට මහත් ගැටලුවකි. මන්ද එම කෘති රසවිඳමේ දී එහි පිටු ප්‍රමාණය පාඨකයාට කිසිසේත් ම කරදරයක්, හිරිහැරයක් හෝ පාඨකයා වෙහෙසට පත්කිරිමක් සිදු වු බවට චෝදනාවක් හෝ මැසිවිලි නැගීමක් මෙතෙක් සිදුව නොමැත.   
 
ඔහු සිය දේශනය අවසන් කළේ මෙලෙසිනි.
‘‘ඉස්සර මම ලිපියක් කියවල තියනව ශෛලිගත නාට්‍යය සම්ප්‍රදාය ගොඩනැගුණු අවස්ථාවෙ ඩීග බී. කුරුප්පු කියල ඒ කාලෙ හිටපු විචාරකයෙක් ලියල තියෙනව මම දැක්ක ‘ශෛලිගත නාට්‍යය කලකට නීතියෙන් තහනම් කළ යුතුයි’ කියල. ඒ නිසා මට අද හිතෙනව මේ ස්වර්ණ පුස්තක සම්මානයත් කලකට නීතියෙන් තහනම් කළ යුතුයි කියල.’’

ඔව්! මහාචාර්ය තුමනි!! එසේ නම් ‘‘සුදම් සභාව’’ වැනි දීර්ඝ නවකතාවක් ලියා එය ස්වර්ණ පුස්තක සම්මාන උළෙලට ඉදිරිපත් කළ ඔබ වැනි ලේඛකයන් නවකතා ලීවීම ද නීතියෙන් තහනම් කළ යුතු ය. එසේත් නොමැති නම් ඔබ පිටු දෙසීයකින් අවසන් කළ ‘‘සුදම් සභාව’’ කෘතියේ ඉතිරි අඩ ලියූ පුද්ගලයාගේ ලිවීම ද නීතියෙන් තහනම් කළ යුතු ය.

සංවේගයට පත් පාඨකයෙක්