Hot!

සත්‍යපාල වන්නිගමගේ සත්‍ය කතාව

Lankanewsweb

dessaperence jvp
අද 2013 නොවැම්බර් 18වැනිදා ය. සත්‍යපාල වන්නිගම නමැති මානව හිතවාදියා අතරුදන් වී අදට වසර 26 ක් ගෙවි ගොසිනි. ඔහු මතු නොව යහපත්, සර්ව සාධාරණ සමාජයක් අපේක්ෂාවෙන් ධනේශ්වර පාලකයන් සමග අභීතව සටන් කළ සගයන් බොහෝ සිටියහ. ඔවුහු ද ඇතැමෙක් මහ මඟ ටයර් සෑයේ දැවි ගියෝ ය. ඇතැමෙකුගේ මෘතදේහය ඇළ, දොළ ගංගාවන්හි ගසාගෙන ගියෝ ය. තවත් සමහරකුගේ මළ කඳ හෝ සොයාගැනීමට ඔවුන්ගේ ඥාතිමිත්‍රාදී කිසිවකුට නොහැකි වූහ. ඒ කිසිවක් පිළිබඳ කනගාටුවක් පැන නොනැගේ. මන්ද ධනේශ්වරයට එරෙහිව සටන් වදිනවා යනු සිය කැමැත්තෙන් ම මරු වැලඳ ගැනීමකි. මරණය පිළිබඳ ලතවනපුගලයන් පමණක් සිටියේ නම් අද ලෝකය පවතින්නේ මිට වඩා බොහෝ වෙනස් ආකාරයෙනි. එහෙත් කනගාටුවට කරුණ නම් ඔවුන් එසේ කළ ජිවිත පරිත්‍යාගයන් අළෙවි කරමින් දේශපාලන කරළියට පිවිසි දක්ශිණශිකයන් මතු නොව ඊනියා වම්මුන් ද වර්තමානයේ දෙමුඛය ම වසාගෙන තව දුරටත් මේ ලක් දෙරණේ සිදුවෙමින් පවතින එවන් මිනිස් ඝාතන, අතුරුදන් කරවීම් සහ පැහැරගැනීම් නොදුටුවා සේ, නොඇසුණා සේ නිහඬව කල් ගෙවිම ය; එවන් මර්දනකාරි තත්ත්වයන් තව දුරටත් පවත්වාගෙන යාම සඳහා අවැසි පරිසරය නිර්මාණය කර දීම ය.
මෙම ලිපියේ සඳහන්වන ආකාරයට සත්‍යපාල වන්නිගමගේ සොයුරාගේ අතුරුදන් වීමට වගකිවයුත්තන්ටඑරෙහිව ගොනු කළ හබයාස් කෝපුස් නඩුවේ දී එයට වගකිව යුතු සියලු පොලිස් නිලධාරීන් එය මගහැරීම සඳහා නිර්භයවම තමන් එකී සිද්ධි දාමයට කිසිසේත් ම සම්බන්ධ නොවූ බව පවසා ඇත. පොලිසියේ ඉහළ ම නිලධාරියාගේ සිට කම්කරුවා දක්වා වු සියල්ලන් වැටුප් ලබන්නේ මහජනයා ගෙවන බදු මුදලෙනි. එහෙව් පොලීසිය එදත්, අදත්, හෙටත් සේවය කරන්නේ මහජනයාට නොව පාලකයන්ට බව මෙය කදිම නිදසුනකි. පසුගිය වකවානුවේ පිපිසයට දිය පොදක් ඉල්ලා උද්ඝෝෂණය කළ ජනයාට ගිනි අවියෙන් පිළිතුරු දුන්නේ මෙකී පොලිසිය ඇතුළු රණ විරුවෝ ය.
 සත්‍යපාල යම් ආකාරයකින් අද ජීවත්ව සිටියේ නම්, ඔහුට මතු නොව හැට දහසක් තරුණ ජිවිත බිලිගත් රණවිරුවන්ට මානෙල් මල් පළන්දන්නට තරම් නිවට වූ වාමවාදීන් සමඟ කෙසේ කටයුතු කරයි ද යන්න සිතාගත නොහැකි ය.

‘‘උනුත් එකයි මුනුත් එකයි’’ කියූ වුන් ද ඒ ගණයේ ම මිස වෙනස් පිරිසක් නොවන බව පසුගිය වකවානුවේ ඔවුන්ගේ ක්‍රියාදාමයන් හරහා ප්‍රදර්ශනය කළෝ ය. ඒ පක්ෂයේ මතය ඉවත ලා වෙන්ව ගිය තම සහෝදර සගයන්ට සැලකූ ආකාරයෙනි. අද මේ වාමවාදීන්ට සත්‍යපාල මතු නොව තමන් හා උරෙනුර ගැටී ධනේශ්වරයට එරෙහි ව සටන් වැදුණු කිසිවකු හෝ සිහිපත් නොවන අතර සාම්ප්‍රදායික පක්ෂ දේශපාලන මඩ ගොහොරුවේ එරෙමින් සිටිති. පළාත් සභා අහෝසි කරන්නැයි කෑ මොර දුන්, පළාත් සභාවට ඡන්දය දුන් ඡන්දදායකයන් ඝාතනය කළ වුන් ‘‘අපිට පළාත් සභාව දුන්නොත් මිට වඩා හොඳට කරනවා’’ යැයි වහසි බස් දොඩති.

අවසන් වශයෙන් සඳහන් කළ යුත්ව ඇත්තේ මේ මොහොතේ ලක්වැසියන්ට අවැසි නායකත්වය සැපයිය හැක්කේ දේශපාලන පක්ෂවලට නොව මහජන බලවේගයකට පමණක් ය යන්න ය. ඒ සඳහා කිසිඳු දේශපාලන පක්ෂයක් ඉදිරිපත් නොවන බව ද සක් සුදක් සේ පැහැදිලි ය.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් රුහුණු විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨයේ සහකාර කථිකාචාර්ය සත්‍යපාල වන්නිගම මහතා ඉකුත් වසරේ නොවැම්බර් 18 වන දා සිට අතුරුදහන් ව සිටියි.

ඔහු පිළිබඳ නිසි තොරතුරක් ලබා දෙන ලෙස හා එයට විරෝධය පළ කරමින් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට අනුබද්ධ සරසවි හතක ආචාර්යවරුන් 1600 ක් ඉකුත් ජනවාරි 22 වන දින සංකේත වර්ජනයක් පැවැත්වීමත් සමඟ ම වන්නිගමගේ ප්‍රශ්නය මුළු ලොවට ම හෙළි විය.
මේ වන්නිගම කවුද....? ඔහු පිළිබඳ දැඩි මර්දනකාමී තත්ත්වයක් පවතින දකුණේ ඔහුගේ උපන් ගමේ වැසියන්ගෙන් තොරතුරු ලබාගත් මෙම ලියුම්කරු වන්නිගම පිළිබඳ මෙතෙක් පාඨක ලෝකය නොදත් තොරතුරු මෙමගින් හෙළිදරව් කරයි.

සියල්ලෝම වේදිකාව දෙස නෙත් අයාගෙන බලා සිටිති. තිරය විවර විය. වේගවත් අත්පොලසන් හඬක් සමඟම නළු නිළියෝ වේදිකාවට පැමිණ නාට්‍යය ඉදිරිපත් කළහ.
කෙනෙකුට සිය හදවත නතරවූවා සේ දැනුණි. තවකෙකුගේ දෑස් නිලංකාර විය. ඒත් ප්‍රේක්ෂක බහුතරයකට ම එම පුවත දැනුණේ හදවතට ය; ඇසුණේත් හදවතට ය. කුල බේදය තදින් පැතිරෙන එම ගමේ වේදිකාගත නාට්‍යය නැරඹූ ප්‍රේක්ෂකයෝ කුල දෙකකට අයත් වූහ. හදවත නතරවූවා සේ දැනුනේත්, දෑස් නිලංකාර වූයේත් ගොවිගම කුලයේ අයට ය. තමනට අත්විඳීමට සිදුව ඇති කුල පිඩනය විවේචනයට ලක් කළ නාට්‍යය හදවතින් වැලඳ ගත්තේ රජක කුලයට අයත් පිරිස ය.
හිටිහැටියේ වේදිකාවට පිවිසි ගමේ පාසලේ බුද්ධදාස මාස්ටර් නාට්‍යය අතරමඟ නවත්වා නිවේදනයක් ප්‍රකාශ කළේ ය. සරසවියේ ප්‍රතිඵල අද නිකුත් වී ඇති බවත්, නාට්‍යයේ නිර්මාණකරුට විශේෂ සාමාර්ථයක් හිමි වී ඇති බවත් එමඟින් හෙළි විය. වේදිකාවේ සිටි සියගණන් පිරිස් විනාඩි කිහිපයක් තිස්සේ හඩ නැගූහ.
නාට්‍යය යළිත් වේදිකා ගතවිය. කුලවාදයට එරෙහිව පහර ගැසූ නාට්‍යය කඩාකප්පල් කිරිමට ගොවිගම කුලයේ අයෙක් සිය ටේප් රෙකෝඩරයක් හඬ නගමින් සින්දුවක් විකාශනය කළේ ය. කුපිත වු තරුණයෝ කැසට් යන්ත්‍රය කඩා බිඳ දමන්නටත්, ඔහුට පහර දෙන්නටත් සැරසුනෝ ය. නාට්‍යයකරු වහා ඉදිරිපත් වී අවුල සමථයකට පත්කළේ ය.
70 දශකයේ මෙම නාට්‍යය වේදිකා ගතවූයේ තංගල්ල ආසනයට අයත් අඟුණකොළපැලැස්ස අසල පිහිටි දඹරැල්ල ගමේ පාසල් ශාලාවේ ය. ‘‘ගින්නේ උපන් මිනිස්සු’’ නමැති එම නාට්‍යයේ නිර්මාණකරු සත්‍යපාල වන්නිගම නමැත්තෙකි. අද ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද ඉමහත් ආන්දෝලනයකට ලක් වී ඇති, පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන සිටිය දී අභිරහස් ලෙස අතුරුදහන් වී ඇතැයි කියන රුහුණු සරසවියේ කථිකාචාර්යවරයා ඔහු ය.
සත්‍යපාල වන්නිගමගේ පියා හේන් ගොවියෙකි. සොයුරු සොයුරියන් කිහිප දෙනෙකු සිටි ඔහුගේ පවුලේ ඔහු හැර සියලු දෙනා ම එම වෘත්තියේ ම නිරත විය. අංශභාග රෝගය වැලඳුණු සත්‍යපාලගේ පියා අද ජීවතුන් අතර නැත. හේ ජීවත්ව සිටි කාලය තුළ දී දඹරැල්ල බෝධිරුක්ඛාරාම විහාරයේ ප්‍රධාන දායකයෙක් ද විය.
1950 මාර්තු 25 වන දින හම්බන්තොට දිස්ත්‍රික්යේ තංගල්ල, දඹරැල්ල ගමේ උපත ලද සත්‍යපාල දඹරැල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ සිට දක්ෂ ශිෂ්‍යෙයකි. උසස් පෙළ කලා පාඨමාලාව හැදෑරූ ඔහු දක්ෂ ක්‍රීඩකයකු මෙන්ම හොඳ හැකියාවකින් හෙබි කලාකරුවෙකි. 1969 දී පේරාදෙණිය සරසවියට ඇතුළත්ව 1973 දී උපාධිය ගෙන 1974 දී එම්. ඒ. උපාධිය ලබාගැනීමට ද හේ සමත් විය.
සරසවිය අවසාන විභාගයට පෙනී සිටීමෙන් පසු ගමට ආ ප්‍රථමයෙන් ම ඔහු කළේ හේනක් කපා වගා කිරීම ය. මේ උගත් තරුණයාගේ ක්‍රියාකලාපය ගම්මුන් පුදුමයට පත්කිරිමට සමත් විය. පවුල් 300 ක පමණ සිටින 3000 ක පමණ ජනගහනයකින් සමන්විත දඹරැල්ල ගම්වැසියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ද ගොවිතැන විය. එය ඉතා තදින් කුල බේදය පැතිරි තිබුණු ගමකි.  
පාසලේ ගුරුවරු 15 ක් පමණි. සත්‍යපාල සරසවි උපාධි ප්‍රතිඵල එන තෙක් එහි සිසුනට ස්වේච්ඡාවෙන් ම ඉගැන්වූයේ ය.
සත්‍යපාල ගමේ තරුණයන් සමඟ එක්ව කුලවාදයට එරෙහිව ගෙන ගිය සටන නිසා බොහෝ ඥාතීහු ඔහු සමඟ උරණ වූහ. කලින් සඳහන් කළ ‘‘ගින්නෙන් උපන් මිනිස්සු’’ නමැති නාට්‍යයේ ද තේමාව වූයේ කුලය නිසා මිනිසකු වසලයෙක් හෝ බමුණකු නොවන වග ය.
1977 මැතිවරණයට එජාපය සඳහා සහාය දෙන ලෙස එවකට තංගල්ල එජාප අපේක්ෂක ජිනදාස වීරසිංහ මහතා දඹරැල්ල ගමේ තරුණ නායකයා වූ සත්‍යපාලගෙන් ඉල්ලීම් කළ ද ඒවා ගඟට කැපූ ඉනි මෙන් විය. පසුව සත්‍යපාලට ජ්‍යෙෂ්ඨ ගුරු පත්වීමක් ලැබුණ ද එය ‘‘දේශපාලන කතුර’’ට හසු විය. බලධාරින් හමු වී එය හදාගන්නැයි පවුලේ අය හා හිතවතුන් සත්‍යපාලට කීව ද ඔහු ඒවාට හිස නැමුවේ නැත.
ගමේ සිටි ගොවිගම කුලයේ අය සිය කුලයට අයත් සත්‍යපාල සමඟ කතා කිරීම පවා නතර කළේ ය. එයට හේතුව ඔහු වෙනත් කුලවල අය ඇසුරු කිරිම ය.උපාධිධාරි ඔහුට හිතවත්, එමෙන්ම ඉහළ දේශපාලනඥයන් ඇසුරු කරන එක් හිමි නමක් ටයිම්ස් ආයතනයේ රැකියාවක් ලබා දීමට කටයුතු කළ ද ඔහු එය පසුපස නොගියේ ය.
77 වසරේ මහ මැතිවරණයේ ද ඔහු වැඩ කළේ සිය සිතට එකඟව ය. ග්‍රාමිය තරුණ පරපුරේ ප්‍රබලතම වාමාංශික පක්ෂය වු ජනතා විමුක්ති පෙරමුණේ කටයුතු ද එම ගමේ පැතිරී නොතිබුණා නොවේ.
රුහුණු සරසවිය ආරම්භ කිරීමෙන් පසු වන්නිගමට එහි තනතුරක් හිමි විය. ඔහු එය බාරගත්තේ සතුටිනි. 1982 ජනාධිපතිවරණයේ දී ද දඹරැල්ලේ ද අනෙකුත් පළාත් මෙන්ම මැතිවරණ උණුසුම තිබිණ.
දින සති බවට ද, සති මාස බවට ද පත් විය. කාලය කෙමෙන් ගෙවි ගියේ ය. ඊළාම්වාදින් විසින් හමුදා භටයන් 12 දෙනෙකු ඝාතනය කිරිමත් සමඟ ම 83 ජූලි කලබල ඇතිවිය.මේ අතරතුර සත්‍යපාල 83 දී කෙටි විරාමයක දි වෑන් රියකින් නිවසට පැමිණියේ ය. පොලිස් නිලධාරින්ගේ අත්අඩංග්ට පත් සත්‍යපාල ඉන් පසු සුප්‍රකට හතරවන තට්ටුවේ නතර විය.
පවුලේ අයට ඔහු දැකගන්නට ලැබුණේ මාසයකට පසුව ය. පවුලේ සහෝදරයකු වන දිනදාසත්, හිතවතකුත් රහස් පොලීසියට ගිය ද ඔවුනට කතා කළ හැක්කේ පවුලේ තොරතුරු පමණක් යැයි අදාළ නිලධාරීහු පැවසූහ. පවුලේ හිතවතකු පැවසු පරිදි එම විනාඩි කීපයේ ද කතා කර ඇත්තේ කිහිප වතාවකි. ‘‘ඔබට හිරිහැර කළා’’ දැයි පවුලේ අය ප්‍රශ්න කළහ. ‘‘නැහැ. කිසිම හිරිහැරයක් නැහැ’’ ඔහු පිළිතුරු දුන්නේ ය.දෙපිරිසම සිටියේ වීදුරු ආවරණය දෙපසින් බව කියති. අවසානයේ මාස හයක් සත්‍යපාල වන්නිගම සැක පිට රඳවාගත් පොලීසිය කිසිම චෝදනාවක් නොමැතිව ඔහු නිදහස් කළේ ය.
ඉන්දු-ලංකා ගිවිසුමෙන් පසු දකුණේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. උතුරේ සන්නද්ධ හමුදා දකුණට පැමිණියේ ය. දැඩි මර්දනකාරිතත්ත්වයක් පැන නැගිනි. සරසවි නිවාඩුවට ගමට ගිය වන්නිගම නිවසින් පෙරළා යාම සඳහා පැමිණි විට පොලිස් භටයන්ගේ අත්අඩංගුවට ඔහු පත්වී ඇත.
මිද්දෙනිය පොලිසියට සත්‍යපාල ගෙන එන ලදැයි පැවසේ.
ඉන් පසු තංගල්ල පොලීසියට ගෙන යන ලද බව දඑහි දි ඡායා රූප ගත් බව ද කියනු ලැබේ. සත්‍යපාලගේ ඥාතියකු එහි දී ඔහු දැක ඇත. පසුව හුංගම පොලිසියට ද, සූරියවැව පොලීසියට ද, ඉන්අනතුරුව මදුනාගල යුද හමුදා කඳවුරට ද, එතැනින් අඟුණකොළපැලැස්ස පොලසියට ද ගෙන ගොස් ඇති බව කියති. තවත් මතයක් අනුව එහි සිටි රිමාන්ඩ් සිරකරුවන් තංගල්ලට ගෙන යන විට සත්‍යපාල ඔවුනට ‘‘තමන් වන්නිගම බවත්, තමා සිටිනා බව පවුලේ අයට දන්වන ලෙස’’ ඉල්ලා සිටි බවත් කියනු ලැබේ.
නිල නොවන ආරංචි මාර්ගවලින් හෙළි වන පරිදි සත්‍යපාල වන්නිගම ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දකුණේ දේශපාලන සිරකරුවන් නිල නොවන මට්ටමින් රඳවා ගන්නා ස්ථානයක ද සිර කරගෙන සිටි බව කියති.
වන්නිගම පිළිබඳ ජනතාවට මුල් වරට තොරතුරු හෙළි කළේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය යි.
මේ අතරතුරේ දී අභිරහස් ලෙද අතුරුදහන් වූ සත්‍යපාල වන්නිගම පිළිබඳ හබයාස් කොපුස් නඩුවක් අධිකරණය ඉදිරියේ පැවරීමට පවුලේ අය කටයුතු කළහ. ඒ පිළිබඳ සියලු තොරතුරු ගෙන නිතිඥවරුන් හමුවීමට කොළඹ පැමිණෙමින් සිටිය දී එය රැගෙන ආ කේ. එච්. ඒ. පියදාස ද ආරක්ෂක අංශ මගින් දඹරැල්ලේ දි අත්අඩංගුවට ගන්නා ලදී. දැන් ඔහු සැකපිට තංගල්ල රිමාන්ඩ් භාරයේ පසුවෙයි. පසුව එම නඩුව යළිත් පැවරිමට කටයුතු කිරිමට මැදිහත් වූයේ රුහුණු සරසවි ආචාර්ය මණ්ඩලය යි. වන්නිගමගේ නිවසට ගියේ උපකුලපති මගින් පොලිසියට දැනුම් දීමෙනි. නිර්මලා වන්නිගම නමැති සත්‍යපාලගේ ඥාති දියණියක් හබයාස් කෝපූස් පැමිණිල්ලක් ඉදිරිපත් කළේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එය දැන් අධිකරණය ඉදිරියේ විභාග වෙයි. රුහුණුසරසවියේ මානව හා ශාස්ත්‍ර පීඨයේ දර්ශන විද්‍යාව පිළිබඳ සහකාර කථිකාචාර්යවරයා වු සත්‍යපාල වන්නිගම පිළිබඳ අධිකරණයට ඉදිරිපත්කරන ලද හබයාස් කොපුස් පෙත්සමකට පිළිතුරු දෙමින් මිද්දෙනිය පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ තමා හෝ තම පොලීසියේ කිසිවකු ඔහු අත්අඩංගුවට නොගත් බවයි. දකුණු දිසාව බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති විනී සමරවික්‍රම අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ දකුණු කොට්ඨාසයේ කිසිම පොලිසියකින් වන්නිගම අත්අඩංගුවට ගත් බව තමාට වාර්තා කර නොතිබුණු බව ය.
ඇත්තෙන් ම වන්නිගමට සිදුවූයේ කුමක් ද? ඔහු අද ටයරය හා තෙල් ගැළුම් දරසෑයේ සැතපෙනවා ද? නැතිනම් ඔහුගේ මස්., ලේ, ඇට මිදුළු ඇසිඩ් වතුරේ දියවුණා ද? එසේත් නැතිනම් අඳුරු කුටියක වධ වේදනා විඳිනවා ද?
දමිත් කෝට්ටගේ
රාවය සඟරාව 1988 මැයි 02 වෙළුම 10 වන කලාපය   

(ඉහත ඡායාරූපය අදාළ ලිපියට අයත් එකක් නොවන බව සලකන්න)