Hot!

සියළු “මේකප්” වලට පෙර මුවහත් කරවා ගත යුතු අපේ “හැදි මිටේ” නුවණ-අරුණි ශපිරෝ ලියයි


සියළු “මේකප්” වලට පෙර  මුවහත් කරවා ගත යුතු අපේ “හැදි මිටේ” නුවණ-අරුණි ශපිරෝ ලියයි
(www.randora.lk-04/11/13)-  මීගමුවේ රූපලාවණ්‍යගාරයක දී මුණ පැහැපත් කිරීමට ක්‍රීම් වර්ගයක් ගෑමෙන් පසු 33 වියැති ශ්‍රීනි අමරතුංග නම් ඉංග්‍රීසි ගුරුවරියක් පසුගිය දිනෙක අභාවයට පත්විය. ඒ සිද්ධිය සමඟින් රූප ලාවන්‍ය සඳහා භාවිතා කරන ක්‍රීම්, ෂැම්පූ සහ ඩයි වර්ග පමණක් විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ අධීක්ෂණයට හසුවීම මදි යැයි කියමින් එම වෘත්තියේ යෙදෙන අයගේ පුහුණුව හා ප්‍රතිපත්ති ද සොයා බැලීමට නියාමක මණ්ඩලයක් අවශ්‍ය යැයි කතාබහ පුවත්පත් වලින් කියවන්නට ලැබිණ.
 
 
මාලනී බුලත්සිංහල නම් ගායිකාව ඇමෙරිකාවේ දී මිය ගියේ කොණ්ඩය කළු කරන්නට ගෑ ඩයි වර්ගයක් නිසා හටගත් අසාත්මිකතාවයක් නිසා යැයි එවක දී ඇමෙරිකාවේ පුවත්පත් වලින් කියවන්නට ලැබිණ. අසාත්මිකතාවයක් යනු එකම පුද්ගලයාට වුව ද කාලයක් තිස්සේ පාවිච්චි කරන ලද්දකට වුවත් හිටි හැටියේ හට ගන්නට හැකි ආසාදන තත්වයකි.
 
 
භාවිතා කරන ඕනෑම ආලේපනයකට හිටිහැටියේ අසාත්මිකතාවයක් ඇතිවිය හැකි යැයි ආලේපන භාවිතා කරන පිරිස දැනුවත් කිරීම පුවත්පත් වලින් කියවන්නට නොලැබේ. වැඩියෙන් අහන්නට ලැබෙන්නේ නියාමක වලට ලක් නොවෙන දැයෙහි තිබිය හැකි අවදානම් තත්වයන් ගැනයි. නියාමක වූ පමණින් අසාත්මිකතාවයක් ඇති විය හැකියාව සහමුලින් නැති වී යන්නේ නැත.
 
පාරිභෝගිකයා යනු හැම විටම තමන් මිල දී ගන්නේ කුමක්දැයි වගකීමෙන් සොයා බලා තීරණ ගන්නා අයෙක් විය යුතුය. පාරිභෝගිකයන් රවටන්නට වැඩියෙන් හැකියාව ලැබෙන්නේ ඒ වගකීම රජය විසින් ගෙනෙන රෙගුලාසි වලින් ඉටුකරනවා යන බොරු මුලාවකට ඉඩදීමෙනි.
 
 
මුහුණ පුරා ගාන්නට පෙර හමේ යාන්තමෙන් ඇබිත්තක් අතුල්ලා බලන්න යැයි බොහෝ ආලේපන පැකට් වල සටහන් වුවත් එය කරන්නේ එහෙමත් අයෙකි. නිතර පාවිච්චියට ගන්නා වූවක යම් අවදානමක් ඇතැයි සිතීම නුහුරු වන්නේ කිසිත් කරදරයක් එතෙක් සිද්ධ නොවීම නිසාමයි.
 
 
දැනටමත් රූපලාවණ්‍යාගාර වල දී භාවිතයට අවසර ඇත්තේ රජයේ නියාමකයන් විසින් අනුමත කරන ලද රූ ලාවන්‍ය ක්‍රීම්, පුයර හා විලවුන් වෙති. නීත්‍යානුකූල නිසා නොව පාරිභෝගිකයාගේ දැනුම වැඩි වීමෙන් අවාසනාවන්ත තත්වයන් වළක්වාගන්නට හැකියාව ලැබේ.
 
 
රජයේ වගකීම නම් පරිභෝජනයට අනුමත වූ භාණ්ඩ වල විස්තර සහිත පහසුවෙන් මොබයිල් ෆෝන් එකකින් පවා බලන්නට හැකි වන සේ පාරිභෝගික වෙබ් අඩවියක් පවත්වාගෙන යෑමයි. එවිට යමක් පාවිච්චියට පෙර එයට රජයේ අනුමැතිය ලැබී ඇත්දැයි ඒ ගැන සොයා බලන්නට කැමති අයට පුළුවනි. එසේම ඒවා ගැන තතු සොයා ගන්නේ කොතැනින් දැයි කියා පුවත්පත් වාර්තාකරුවන්ට ලිපි ලිවිය හැකියි.
 
 
1972 සිට 1976 දක්වා ලංකාවේ තිබි පස් අවුරුදු සැලැස්ම හැමටම එපා වී අවසන් වීමත් සමඟ හැම තැනකම කොණ්ඩා මෝස්තර හා රූපලාවණ්‍යාගාර ඉදිවෙන්නට පටන් ගත්හ. එවක වෘත්තීය පුහුණුවකින් පසු කොණ්ඩා මෝස්තර දාන්නට සහතික ලබාගත්තවුන් ඒවායේ සේවය සපයනවා දකින්නට නොලැබුණි.  
 
 
රමණි ප්‍රනාන්දු ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ නේවාසිකාගාර සිසුවියක්ව සිටිය දී යෙහෙළියන්ගේ කොණ්ඩා මෝස්තර දැම්මේ විනෝදාංශයක් ලෙසටයි. එංගලන්තයේ වාසයට යන රමණි එහි රූපලාවණ්‍යාගාරයක බිම අතුගාමින් වැඩ කරමින් එවක අනෙකුත් අය පුහුණුව ලැබූ ආකාරයෙන්ම කොණ්ඩා මෝස්තර කලාව ඉගෙන ගත්තේ වසර තිස් ගණනකට පෙර දී බව ඇයගේ රූපලාවණ්‍යාගාරයේ වෙබ් අඩවියේ සඳහන්.
 
 
අද එංගලන්තයේ රූපලාවණ්‍ය පාඨමාලාව හදාරමින්, එනම් රූපලවණ්‍යාගාරයක කුමන හෝ රැකියාවකට පෙර පාඨමාලාවට මුදල් ගෙවමින්, වෘත්තීමය පුහුණුව ලැබිය යුතුයි. කොණ්ඩය ෂැම්පූ කරන්නට ඉගෙන ගන්නා පැය 22 ක කාලයක් වෙන්කරන පාඨමාලාවක් සඳහා මුදල් ගෙවන්නට සිද්ධ වීම නිසා පමණින් වසර තිහකට කළින් කොණ්ඩය ෂැම්පූ වූවාට වැඩියෙන් හොඳින් අද ෂැම්පූ වෙනවා යැයි සිතන අයත් සිටිති.
 
 
කොණ්ඩා මෝස්තර දැමීමට හා රූපලාවණ්‍ය කටයුතු වල යෙදෙන සියල්ලන්ටම වෘත්තීය අධ්‍යාපන අධිකාරියක් යටතේ අනුමත වන පුහුණුවක් ලබා සහතිකයක් පෙන්වන්නට සිද්ධ වුවහොත් ලංකාවේ අළුතින් වෘත්තියට එකතුවෙන්නට කැමති රමණීලාට එහි ඉහළට නඟින්නට හැකි ඉනිමඟේ මුල්ම පඩිය උගුල්ලා දමා ඇති බව දකින්නට හැකිවේ. 
 
 
කොණ්ඩා මෝස්තර හා රූපලාවණ්‍ය සඳහා වෘත්තීය පුහුණු සහතිකයක් පෙන්වීමට අවශ්‍ය යැයි කීම දැනට එම කර්මාන්තයේ යෙදෙන අය විසින් අනෙක් අයට එහි ඇතුල්වන්නට සීමා බාධක පැනවීමකි. 
 
 
ඊ ළඟට වෘත්තියේ යෙදෙන අය හරිහැටියට පිළිවෙත් පිළිපදිනවා දැයි විභාගයට රට පුරා රූපලාවණ්‍යාගාර වලට සුපවයිසර්ලා යවන්නට සැලසුම් කිරීමෙන් අවාසනාවන්ත තත්වයන් සියල්ල වළක්වා ගැනීමට හැකියාව ලැබෙන්නෙ නැත. රටේ වැසියන්ගේ බදු බර තවත් වැඩි කරමින් නිල පිරිසක් පෝෂණය කරන්නට තවත් මාර්ගයක් පාදන එයින් අල්ලස් වංචා එහි දී සිද්ධ නොවේ යැයි සහතික කරන්නට කාට හැකි ද?
 
 
එසේම යම් ක්‍රම වේදයක් සුදුසු යැයි සුළු පිරිසක් විසින් තීරණය කර එම පිළිවෙත අනෙක් සියල්ලන්ම අනුගමනය කරනවා දැයි සෙවීමට රජයේ නිලධාරීන් රටපුරා රූපලාවණ්‍යාගාර වලට යැවීම යනු මිනිස් ශ්‍රමය නාස්තියකි. 
 
 
විරැකියාව රජයන අනික් රටවල් හසු වී සිටින උගුල් වලින් ගැලවෙන්නට නම් අවාසනාවන්ත මරණයක් පාදක කරගෙන කලබල වී රෙගුලාසි හැදීම නොකළ යුතුයි. මුල්ම පඩි ගලවා දමමින් වෘත්තියක පහළින් පටන් ගෙන ඉහළට නඟින්න හැකියාව ඉවත් කරමින් ඒ සමඟම රටේ විරැකියාව විසඳන්නට ගෙනෙන ඕනෑම උත්සාහයක් අසාර්ථක වේ.
 
 
පාරිභෝගිකයා යනු හැම විටම තමන් මිල දී ගන්නේ කුමක්දැයි වගකීමෙන් සොයා බලා තීරණ ගන්නා අයෙක් විය යුතුය. පාරිභෝගිකයන් රවටන්නට වැඩියෙන් හැකියාව ලැබෙන්නේ ඒ වගකීම රජය විසින් ගෙනෙන රෙගුලාසි වලින් ඉටුකරනවා යන බොරු මුලාවකට ඉඩදීමෙනි.