Hot!

උරචක්‍රමාලය - උපුල් ජෝශප් ප්‍රනාන්දු


"මට ලෝකයේ රටවල් තුනෙන් දෙකකට නායකත්වය දෙන්න වුවමනාවක් නැහැ. මට ඕනා ලංකාවට සෞභාග්‍යය උදාකර දීමට නායකත්වය දීම පමණයි. නොබැඳි ජාතීන්ට නායකත්වය දෙන්න අගමැතිනියට ඔය තරම් ‍ෙදාළදුකක් තියෙනවා නම් මම බලයට ආ විට නොබැඳි ජාතීන්ගේ නායකත්වය ඇයට බාරදීමට සූදානම්"
 
මේ ජේ.ආර්. විපක්‍ෂ නායක කාලයේ මුල්කිරිගල ආසනයේ කටුවන ප්‍රදේශයේ පැවැති ඡන්ද රැස්වීමකදී කළ කතාවකි.

එවකට අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය මුල්කිරිගල අතුරු මැතිවරණය පැවැත්වූයේ කොළඹ නොබැඳි ජාතීන්ගේ සම්මේලනය පවත්වන්න සියලු කටයුතු සූදානම් වෙද්දීය. ජේ.ආර්. මුල්කිරිගල ඡන්ද සටනට යන විට එවකට පාර්ලිමේන්තුවේ ළාබාලතම මන්ත්‍රි මහින්ද රාජපක්‍ෂ හෙට අනිද්දා බණ්ඩාරනායක මැතිනිය ලොව තුනෙන් දෙකක නායිකාව වන හැටි කියමින් වේදිකාවක් වේදිකාවක් ගාණේ යමින් සිටියේය. ජේ.ආර්. වීරකැටියට ගොස් නොබැඳි ජාතීන්ගේ සමුළුවට එන හිඟන රටවල් ගැන උපහාසාත්මකව කතා කළේය. ඒ කතාව කියා ජේ.ආර්. වේදිකාවෙන් බහිද්දීම ඔහු අසලට ගිය හමීඩ් සහ "ජේ.ආර්. ජයවර්ධන ඔෆ් ශ්‍රී ලංකා" පොත ලියපු ටී.ඩී.එස්. දිසානායක ජේ.ආර්.ගේ කනට කොඳුරා යමක් කීහ.
 
"ඔබතුමා තමයි ඊළඟ අගමැති. එතකොට ඔබතුමාට නොබැඳි සංගමයේ නායකත්වය ඉබේම ලැබෙනවා. ඒ නිසා ඔවැනි කතා කියන්න එපා" ඔවුහු කීහ. ඒත් ජේ.ආර්. ඔවුන්ගේ උපදෙස් මායිම් කළේ නැත.

"තුනෙන් දෙකක රටවල නායකයෙක් වුණා කියලා අපේ මිනිසුන්ට ලැබෙන දෙයක් නැහැ. අපි බලන්න ඕනා අපේ රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය, රටේ සංවර්ධනය උසස් කරන්න යමක් ලබාගන්නයි".

මේ ජේ.ආර්. හමීඩ්ට සහ දිසානායකට දුන්න පිළිතුරය.
 
"අපේ අගමැතිනිය අද ලෝකයේ රටවල් තුනෙන් දෙකකට නායකත්වය දෙන්නයි යන්නේ. ජේ.ආර්. අගමැති වුණත් මෙහෙම වාසනාවක් එයාට ලැබෙන්නෙත් නැහැ. රටට ලැබෙන්නෙත් නැහැ. මොකද කොමියුනිස්ට් රටවල් ජේ.ආර්.ව පිළිගන්න ලෑස්ති නැහැ..."
 
මේ එදා මහින්ද රාජපක්‍ෂලා ඇතුළු සමඟි පෙරමුණු ආණ්ඩුව මුල්කිරිගල පමණක් නොව රට වටේම කිය කියා ගිය කතාවය. මේ කතාවට යූ.ඇන්.පී. පාක්‍ෂිකයෝ පමණක් නොව ඇතැම් මන්ත්‍රිවරුත් බය වූහ.

"මහ ඡන්දෙට මේ කාඩ් එක ගැහුවොත් අපිට අමාරු වෙයි...."

ඔවුහු මුමුණන්න පටන්ගත්හ. එහෙත් ජේ.ආර්. මැතිනිය බලයේ ඉන්න පාවිච්චි කරන්න යන මේ තුරුම්පුව ඇයට එරෙහිව පාරාවළල්ලක් කරගන්න සමත් විය.

"නොබැඳි ජාතීන්ගේ සම්මේලනයට යන වියදමයි රටට ලැබෙන වාසියයි කියන්න..."
 
ජේ.ආර්. පාර්ලිමේන්තුවේදී ඇසුවත් ආණ්ඩුව උත්තර දුන්නේ නැත. ජේ.ආර්. එවිට එකල ආසන සංවිධායකවරයකු වූ ලලිත් ඇතුලත්මුදලිට මේ ප්‍රශ්නය ජනතාව ඉදිරියට රැගෙන යන ලෙස කීවේය.
 
"මේ සමුළුවට එක මිනිසකුගේ සාක්කුවෙන් රු.300ක් වැය වෙනවා. මේ මුදල ඔවුන්ගේ නිවාස, ආහාර, ඇඳුම් ප්‍රශ්නවලට විසඳුම් ලෙස පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි...?"

මේ ලලිත් ප්‍රසිද්ධ වේදිකාවේ අහපු ප්‍රශ්නයය. ටී.ඩී.එස්. දිසානායක "ජේ.ආර්. ජයවර්ධන ඔෆ් ශ්‍රී ලංකා" පොතෙහි මහා ධනස්කන්ධයක් වැය කොට පවත්වපු සමුළුව ජේ.ආර්. මැතිනියගේ ආණ්ඩුවට ගහන්න ආයුධයක් කර ගත් හැටි පෙන්වා දෙන්නේ මෙහෙමය.
 
"ජේ.ආර්. ජයවර්ධන ඔහුගේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂඥ දැනුමෙන් සමුළුව ගැන අනාවැකි පළ කරමින් කීවේ සමුළුවෙන් ලංකාවට සත පහක ප්‍රයෝජනයක් අත් නොවන බවය. සමුළුවට වියදම් කරන ධනස්කන්ධයෙන් රට තවත් කබලෙන් ළිපට වැටෙන බවට අනතුරු ඇඟවූයේය. කටුනායක ගුවන්තොටුපොළ සහ කොළඹ යා කරන මාර්ගය නවීකරණය කොට අලුතින් සාදනු ලැබූ බව ඇත්තය. චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්සේ විදේශ පණිවුඩ හුවමාරුව වැඩිදියුණු විය. තාක්‍ෂණික වශයෙන් පොලිසිය සහ ආරක්‍ෂක අංශ වැඩිදියුණු විය. පර්ජෝ කාර් 500ක් මිලට ගත් අතර ඒවා ආණ්ඩුවේ භාවිතය සඳහා පසුව ප්‍රයෝජනයට ගනු ලැබීය. සමුළුව මෙහි පැවැත්වීමෙන් විශාල විදේශ ආධාර රටට ලැබෙන බවත්, එයින් සමුළුවේ වියදම් පියවෙන බවටත් බණ්ඩාරනායක මැතිනිය කළ ප්‍රකාශය බොරුවක් බව ජේ.ආර්. දැන සිටියේය. ලැබුණ දේවල් නම් ලිබියාවෙන් සහ ඇල්ජීරියාවෙන් ඩොලර් මිලියනයක මුදල් ආධාර, යුගෝස්ලෝවියාවෙන් රූපවාහිනි යන්ත්‍ර, කියුබාවෙන් සුරුට්ටු, ඉරාකයෙන් රටඉඳි, පාකිස්තානයෙන් අශ්වයන් සහ ඉන්දියාවෙන් සැරසිලිය.
 
ශ්‍රී ලාංකිකයන් සමුළුව ගැන එතරම් තැකීමක් නොකරන බව ජේ.ආර්.ට දැනුණි. නොබැඳි ජාතීන්ගේ නිර්මාතෘ යුගෝස්ලාවියානු ජනාධිපති මාෂල් ටිටෝ එන විට ඔහුව දැක බලා ගැනීමට වඩා මෙරට ජනතාව උනන්දු වූයේ ඔහුගේ වෙඩි නොවදින ලිමොසින් රථය දැක බලා ගැනීමටය. සමුළුව ආරම්භ වන විට උතුරු කොරියාවේ, දකුණු යේමනයේ, අප්‍රිකානු රටවල ලංකාව පළමු වරට එරට පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය විය. මේ ප්‍රචාරය නිසා ලංකාව සංචාරකයන්ගෙන් පිරී යනු ඇතැයි ආණ්ඩුව පම්පෝරි ගැසුවේය. එහෙත් ජේ.ආර්. හිනාවුණේ ඇල්ජීරියා, භූතාන්, පැපුවා නිව්ගිනි, රුවන්ඩා වැනි රටවලින් ලංකාවට සංචාරකයන් නොඑන බව කියමින්ය. ලංකාවේ ප්‍රධාන අපනයන බෝග වූ තේ, පොල්, රබර්වලට ඇෆ්ගනිස්තානය, බාබඩෝස්, කැමරූන්, ඉතියෝපියා, ස්වාසිලන්තය වැනි රටවල ඉල්ලුමක් නැති බව ජේ.ආර්. දැන සිටියේය. සමුළුව පැවැති කාලයේ කොළඹ තරු පහේ හෝටල් පාඩුවට දිව්ව බව ජේ.ආර්. දැන ගත්තේ පසුවය. ඒ වගේම ජේ.ආර්.ට ලෝක බැංකුවෙන් දැන ගන්න ලැබී තිබුණේ නොබැඳි සමුළුව පවත්වන්න ආසියානු රටකට අවස්ථාව හිමි වූ විට ලංකාව ඇරෙන්න වෙනත් කිසිදු ආසියානු රටක් තම රටේ සමුළුව පවත්වන්න උනන්දුවක් නොදැක්වූ බවය. එයට හේතුව ලෙස ලෝක බැංකුව ජේ.ආර්.ට වාර්තා කොට තිබුණේ 1961 බෙල්ගේ‍ර්ඩ්, 1964 කයිරෝ, 1970 ලුසාකා, 1973 ඇල්ජීරියා යන රටවල සමුළුව පවත්වා නැති නාස්ති කොටගත් සල්ලි නිසා එම රටවල පැනනැඟි ආර්ථික අර්බුදය. එවකට ලංකාවේ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වූ ගල්ඔය ව්‍යාපෘතියට වැය වෙනවාට වඩා විශාල මුදලක් සමුළුවට වැය වෙන බව ලෝක බැංකුව වාර්තා කොට තිබිණි. එහෙත් සමුළුවෙන් රටට කිසිදු ආර්ථික වාසියක් නැති බව ඔවුන් අවධාරණය කර තිබිණි.
 
සමුළුව අවසාන වූ විට තෙල්වලින් පොහොසත් අරාබි රටවලින් ධන උල්පත් පෑදෙන බව ආණ්ඩුවේ මාධ්‍ය අනාවැකි පළ කළේය. මැතිනියගේ ආණ්ඩුවේ මුදල් ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක අය වැය ඉදිරිපත් කිරීමට පෙර අරාබි රටවල සංචාරය කළේ මෙවර අය වැයෙන් ජනතාවට සහන පිට සහන දෙන්න අරාබි රටවල් ආධාර දෙන බවට ආණ්ඩුවේ මාධ්‍ය හොරණෑ පිඹිද්දීය. හැබැයි ෆීලික්ස් ඩයස් සංචාරය අවසන් කොට ලංකාවට ආවේ අරාබි රටවල සුබපැතුම් සමඟ හිස්අතිනි. අය වැය එද්දී ජනතාවට තරු විසිවිය. සමුළුව පවත්වා ඇත්තේ තම පොකැට්ටුවට විදලා බව ජනතාව තේරුම් ගත්තේ එවිටය.
 
මේ දිසානායක සිය පොතෙන් ජේ.ආර්. සමුළුව ආයුධයක් කරගෙන මැතිනියගේ ආණ්ඩුවට ගහල වට්ටපු හැටි ලියා ඇති ආකාරයය.

1977 පරාජයට ප්‍රධාන හේතුවක් වූයේ සමුළුවට වැය කළ මහා ධනස්කන්ධයෙන් රට තුළ ආර්ථික අර්බුදය උග්‍ර වී ජනතාව පීඩනයට පත්වීමය. 1977 බලයට ආ ජේ.ආර්.ට ඉබේම නොබැඳි රටවල සභාපති ධුරයද හිමි විය. ඔහු එය සත පහකට මායිම් කළේ නැත. ආණ්ඩුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පහළම තැනක් එයට දුන් ජේ.ආර්. 1979දී කියුබාවේ හවානා නුවර පැවැත්වෙන නොබැඳි සමුළුවේදී සභාපති ධුරය පිදෙල් කැස්තේ‍රා්ට දෙන්න නොඉවසිලිමත්ව බලා සිටියේ මෙය මැතිනිය තමන්ට උරුම කර ගිය උරචක්‍රමාලයක් යැයි සිතමිනි.
 
දැන් මහින්ද පොදු රාජ්‍ය මණ්ඩල සභාපති ධුරය යන දියමන්ති මාලය කරේ දමා ගන්න ලකලැහැස්ති වෙමින් සිටී. දියමන්ති මාලය වගේ පෙනුණට මේකත් උරචක්‍රමාලයක් බව මතක් කර දීම වටී.