Hot!

ෆුටා ( FUTA ): ඇත්ත විපක්ෂයක්ද?

| නිලන්ත ඉලංගමුව

රාජකීය පරම බලය ( රෝයල් අබ්සෝලුට් ) හෙවත් නිදහසේ මායාවන් පෙන්වා තම රටේ මිනිසුන් විෂයන් බවට පත් කොට තාමා වටා සිටින අය වලුන්ට අනෙකාව මර්ධනය කිරීම සඳහා අසීමිත බලයක් ලබා දුන් ක්‍රමවේදය මිනිසුන් අතරින්ම ආ බලය නිසා බොහොමයක් රටවල නිශේධනය විය. එය අතිශය බැරෑරුම් අරගලයක ප්‍රතිඵලයක් විය. බොහොමයක් විප්ලව විශේෂයෙන් ප්‍රංශ සහ රුසියන් විප්ලව එකී කාරණය මත කේන්ද්‍ර වූ අතර ඉන් ලෝකයට බොහෝ දෑ දායාද විය. එහි ප්‍රතිඵලයක් ලෙස පවතී ඒකාධිපති නිතීය වෙනුවට සංශෝධිත ආයතන වලට බලය පැවරූ සමාජ ක්‍රමයක් නිර්මාණය විය. පරම බලය නීතිය මඟින් පරීක්ෂණයකට ලක් කළ අතර ක්‍රමිකව නිතීය පරම විය. එය බහුජනයාගේ නිෂ්පන්නයක් විය. ඒ සඳහා ගරු කිරීමට සියලු ජනතාව පුරුදු කරනු ලැබුහ. මෙය ශිෂ්ඨ සමාජයක හැරවුම් ලක්ෂයක් බවට පත් විය. මෙම සරල කාරණය සහ එහි ඇති සමතුලිත බව තේරුම් ගැනීම කිසිවෙකුට අපහසු නොවේ.

ෆුටා මුහුණ දෙන අභියෝගය වන්නේ මෙයයි. එය දකුණු කොරියාවේ මිලිටරි ජුන්ටාවට එරෙහිව ඇති වූ මැයි 18 ව්‍යාපාරය වැනි සමස්ථ රටක සමාජීය සහ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට දායක වූ ව්‍යාපාරයක් වන්නේද යන්න තීරණය වන්නේ ඒ වටා ඒකරාශිවන පිරිස් අනුවය. එවැනි පෘතුල ව්‍යාපාරයක් නිර්මාණය කිරීම කිසිම විටෙකින් කුහකයින්ට හෝ පන්දම්කාරයින්ට කළ නොහැකිය. මෙම කාරණය වඩාත් හොඳින් පැරණි එක්ස් කණ්ඩායම නමැති බෝක්කු කටවල් වලින් ලාංකීය භුමිකාවේ පශ්චාත් නූතනවාදීන් වීමට යන්ත දැරූ නමුත් පසුව තම කුහකකම ප්‍රදර්ශනය කරමින් ලිංගික හීනවල පැටලී සුනු විසුනු වී ගිය කණ්ඩායමෙන් ලද දේශපාලන අත්දැකීම් ප්‍රකාරව නිර්මාල්ට එනම් ෆුටා සභාපතිවරයාට තේරුම් ගත හැකිය.
මෙය ශ්‍රී ලංකාව තුළද ඒ ආකාරයෙන්ම ඇති වූ නමුත් පසුව එය ව්‍යවස්ථා සංශෝධන ඔස්සේ නාමික දෙයක් බවට පත් කොට එමඟින් පඹ විපක්ෂයක් නිර්මාණය කරනු ලැබීය. ඒ සඳහා පැවති තත්වයෙන් උපරිම ප්‍රයෝජයනය ගැනීමට බලයට පත් වූ අයවලුන්ට හැකි විය. එසේම මහජන මතය තුලනය කිරීමට සමත් වන වෘත්තීය සංගම් මර්ධනය කරමින් ඒවා දේශපාලන සංවිධාන වල පිළිකන්න බවට පත් වීමට ඉඩ සැලසීය. සාම්ප්‍රදායික පුරුද්ද අනුගමනය කරමින් එකී පිළිකනු දුෂිත දේශපාලන නායකයින්ගේ සුළුදිය පහ කරන ස්ථාන බවට ඒවා පත් විය. වර්තමානයේ ක්‍රියාත්මක වන බොහොමයක් වෘත්තීය සමිති ව්‍යාපාර වලින් හමන දුර්ගන්ධයට හේතුව වන්නේ මෙයයි. මෙය නිවැරදි කිරීම පසෙකට තබා එවෙනුවට දේශපාලන කල්ලිවාදයක් බවට වෘත්තීය සමති පත් වූවා පමණක් නොව ඒවායේ ශක්තිය අඩපන කිරීම සඳහා තව තවත් ශුද්‍ර කණ්ඩායම් නිර්මාණය කරණු ලැබීය.

ජනාධිපති රාජපක්ෂ විසින්ද තම බලය රැක ගැනීම සඳහා පැවති සම්ප්‍රදායික කුමන්ත්‍රණයම පාවිච්චි කරන අතර අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රයක් විනාශ කිරීම සඳහා ජාතික අධ්‍යාපනයක වටිනාකමක් නොදන්නා කුහකයෙකුට සහ තම කුලවාදයෙන් උද්ධච්ච වූ ටෝජන් දේශපාලුවෙකුට එම විෂය පැවරීය. රාජපක්ෂ එය සිත මතා කළ දේශපාලන අත්හදා බැලීමක්ද නොඑසේනම් අහඹු සිදුවීමක ප්‍රතිඵලයක්ද යන්න කිව නොහැක්කේ රාජපක්ෂ සැලසුම් සකස්කරන විට අනුගමනය කළ ක්‍රමවේදයක් මේ දකවා ප්‍රසිද්ධ වී නොමැති බැවිනි. රාජපක්ෂ ප්‍රතිපත්ති ගැන සඳහන් වන " මහින්ද චින්තනය" නමැති පැරණි දේශපාලන මුසාවේ නිර්මාණය හැරෙන්නට වෙන කිසිවක් මේ දක්වා ප්‍රසිද්ධ වී නැත. කෙසේ වෙතත් අධ්‍යාපන ඇමති ලෙස බන්දුල ගුණවර්ධන පත් කිරීමත් උසස් අධ්‍යාපන ඇමති ලෙස මානසික ව්‍යාධියෙකුගේ ගති ලක්ෂණය සෑම විටම තම දේශපාලන අත්හදාබැලීම් වලින් ප්‍රකට කරන අයෙකු වන එස්. බී. දිසානායක පත් කිරීමත් මඟින් ජනාධිපතිවරයා අධ්‍යාපනය විනාශ කිරීම සඳහා අවශ්‍ය ඉඩ කඩ නිර්මාණය කොට තිබේ. පෙර කියූ පරිදි මෙය රාජපක්ෂ විසින් සිතා මතා සිදු කළේද නැතිනම් කුකුල් කොටුවට කුකුලන් වෙනුවට වල් ඌරන් සිතා මතා දැමීමක්ද යන්න දන්නේ ජනාධිපතිවරයා සහ ඔහුගේ උපදෙශකයින් පමණි. කෙසේ වෙතත් මෙය ලංකා ඉතිහාසයේ අධ්‍යාපන ක්ෂේත්‍රය අලලා සිදුකළ අතිවිශාලතම අපරාධය වේ.

එය තේරුම් ගැනීම සරලය. එනම් රාජපක්ෂ ජනාධිපත්වරයාගේ අසාධාරණ බලය නෂ්ඨ වන සමාජීය වැඩපිළිවෙලක් නිර්මාණය වීම වැලක්වීම එහි එකම අරමුණ වේ. එමඟින් රාජපක්ෂගේ පවුල් බලය සහ ඊට අනුකූලව ගොඩ නැගී ඇති " විකල් සිහින" මුදුන් පත් කර ගෙන නාමික ප්‍රජාතන්ත්‍රවාදයක් සහ ප්‍රායෝගික රාජ යක්ෂ ( රෝයක් ඉවිල්) පාලනය තවදුරටත් පවත්වාගත හැකිය. එය කිසිම ආකාරයේ තනිපුද්ගල නිර්මාණයක් නොවේ. දුෂණය, මර්ධනය, වදහිංසාව මෙන් මෙම නිර්මාණයද තම පෞද්ගලික සිතැඟියාවන් මුදුන්පත් කරගැනීම සඳහා සිදු කරන කණ්ඩායමකගේ සාමුහික ව්‍යායාමයකි. රාජපක්ෂ මෙහිදී වඩාත් ප්‍රයෝගකිව කටයුතු කරනු ලබයි. එනම් අතීතයේ මෙන්ම මෙහිදීද තෙවැනි පාර්ශවයක් යොදාගෙන තම වුවමනාවන් ඉටු කර ගෙන, අසාර්ථක වුවහොත් එකී අසාර්ථක වීම සඳහා එම තෙවැනි පර්ශවයට සම්පූර්ණ චෝදනාව එල්ලකොට තමන්ගේ කුණු සෝදා ගැනීම හෝ තෙවැනි පාර්ශවය ජයග්‍රහණය කළහොත් තෙවැනි පාර්ශවය ක්‍රමානුකූලව මර්ධනය කොට එම ජයග්‍රහණයේ පූර්ණ භුක්තිය තමන් සහ තම පවුල සතු කරගැනීමත් රාජපක්ෂගේ පාරම්පරික දේශපාලන උපක්‍රමයකි. එය වඩාත් හොඳින් සෑමවිටම නිරූපණය කොට තිබේ. ඒ නිසා ලණු දුන් සහ ඒවා ඉවක් බවක් නොමැති භුක්ති විඳි අය බොහෝ සිටින බව පැහැදිලි කාරණයකි.

මෙම වටපිටාව හමුවේ ෆුටා හෙවත් විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ සංගමය විසින් සිදුකරමින් පවතින දේශපාලන ක්‍රියාවලිය යම් කිසි වෙනස් ගමන් මඟක ගමන කර ආකාරය දක්නට ලැබේ. අවැසි කළ විරෝධය මතු කොට තිබේ. එය ඇතැම් දේශපාලනඥයින් සමඟ එකතු වී තම විශ්ව විද්‍යාල සගයින්ම මාරු තුරුලට යනකම් උල්පන්දම් ඇල්ලු පන්දම්කාරයන්ට වඩා වැදගත් භූමිකාවක් මේ දක්වා ඉටු කරමින් තිබේ. ෆුටා සංවිධානයට ආධාර ලැබෙන ආකාරය ගැන ප්‍රශ්න කළ යුතු යැයි කියන එවැනි පන්දම්කාරයින් සිදු කළ යුත්තේ අනුන්ගේ අකවුන්ටබිලිටිය ප්‍රශ්න කිරීමට පෙර පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් මෙහෙයවනු ලැබූ සන්නද්ධ කල්ලි වලට සම්බන්ධ වී මරා දමනු ලැබූ තරුණයින් පිළිබඳව සොයා තමන්ගේ ගඳ ගහන පව් ගැන පාපොච්චාරණය කිරීමය. එවැනි නිවට පාවාදෙන්නන් එකල නොසිටියේනම් මෙකල රාජපක්ෂ විසින් මෙරට විශ්ව විද්‍යාල අරඹයා හෝ අධ්‍යාපන විෂයෙහිලා සංහාර සිදු කරන්නේ නැත. සැබවින්ම ජාතික අධ්‍යාපනය සහ රාජ්‍ය සේවා පෙනි පෙනී විනාශ මුඛයට ඇද දමමින් පවතින ආණ්ඩුව විසින් ගෙන යන විශ්ව විද්‍යාල මිලිටරීකරණය කිරීමේ බරපතල කාරණය ගැන සාමුහික අවධානය යොමු කළ යුතු කාලයකි. කාල්ටන් පෙරපාසල්, කාල්ටන් ජාත්‍යන්තර පාසල් පමණක් නොව තවත් ටික කලකින් කාල්ටන් විශ්ව විද්‍යාල නිර්මාණය වී රටේ විශ්ව විද්‍යාල පද්ධතියේම සිටින සිසුන්, පර්යේෂණාගාර වල ඇති කරන මීයන් බවට පත් කළහොත් ඒගැන පුදුම විය යුත්තේ නැත. මොවුන් එපමණට රටේ ජාතික අවශතාවයන් සමඟ සෙල්ලම් කරමින් මුදල් හෙවීමේ පරම කෑදරකමින් සිටින වුන් පිරිසක් වෙති.

නමුත් ෆුටා සහ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මේ මොහෙත් සටන් කරන බොහොමයක් සංවිධාන සඳහා බරපතල අභියෝග තිබේ. එය එහි මුලික සතුරා වන ආණ්ඩුවෙන් පමණක් නොව එම සංවිධානය තුළින්ම මතු විය හැකිය. විශේෂයෙන් මේ වන විටත් ලංකාවේ විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය ඒවා දේශපාලනීකරණයට ලක් වීමෙන් කෙළසා ඇත. ඒවාට හිමි සමාජීය ගරුත්වය වෙනුවට බලයේ අතකොළුවක් බවට පත් වී තිබේ. පසුගිය කාලය පුරා ඒවා මඟින් ලබා දුන් "සම්මාන ආචාර්ය" පදවි වලින් පමණක් නොව සිදුකරනු ලැබූ පත්වීම් වලින් පැහැදිලි විය. රටක විශ්ව විද්‍යාල පද්ධතිය වූ කලී අතිශය සංවේදී ව්‍යුහයක් වන අතර ඒවා මුලික සමාජීය මතයක් නිර්මාණය කිරීමේදී වැදගත් කාර්යක් ඉටුකරනු ලබයි. සාමාජ ක්‍රමයක් ( සෝෂල් සිස්ටම්) ක්‍රියාත්මක වන බොහොමයක් රටවල එය පැහැදිලිව දක්නට ලැබේ. නමුත් අවාසනාවට රටේ ජනාධිපතිවරයාගේ සිට බොහොමයක් දෙනා මෙරට විශ්ව විද්‍යාල වල ඇති ගුණාත්මක භාවය කෙළසා දමා ඇත. ඊට විශ්ව විද්‍යාල වලින්ම තෝරාගත්; මුදල් සහ කාන්තාවන් තම එකම තෘප්තිය කරගත් පිරිසක් තෝරාගෙන තිබේ. මොවුන් සිතාගෙන සිටින්නේ මොවුන්ගේ පිළිකුල් සහගත ජීවිත වලින් පසු මෙම ලෝකය අවසාන වනු ඇතයි කියාය. ඔවුන්ගෙන් පසුත් මෙම රට මෙහි වෙසෙන මිනිසුන් මානව ගරුත්වයකින් යුතුව ජීවත් විය යුතු බව නොසිතන්නෝය. මොවුන් ගැන මොවුන්ටම ඇතිවන පිළිකුලෙන් හැර වෙනත් කිසිම විවේචනයකින් ඔවුන් ඉවත් නොවන්නා සේම ඔවුහු ඒවායේ සිටින තාක් දුරට අධ්‍යාපනය වූ කලී දුෂිත දේශපාලන බලයේම අතකොළුවක් බවට පත් වේ. මෙම සමාජීය පිළිකුල විසරණය කිරීමේ ශාක්‍යතාවය මත සැබෑ යක්ෂයා භූමියෙන් අපගමනය වී " සැබෑ නිදහස" සමාජය අතික්‍රමණය කරණු ඇත. එවැනි වටපිටාවක් යටතේ සමාජය ඵදායක ප්‍රතිසංස්කරණයට යොමු වෙනු ඇත.

ෆුටා මුහුණ දෙන අභියෝගය වන්නේද මෙයයි. එය දකුණු කොරියාවේ මිලිටරි ජුන්ටාවට එරෙහිව ඇති වූ මැයි 18 ව්‍යාපාරය වැනි සමස්ථ රටක සමාජීය සහ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට දායක වූ ව්‍යාපාරයක් වන්නේද යන්න තීරණය වන්නේ ඒ වටා ඒකරාශිවන පිරිස් අනුවය. එවැනි පෘතුල ව්‍යාපාරයක් නිර්මාණය කිරීම කිසිම විටෙකින් කුහකයින්ට හෝ පන්දම්කාරයින්ට කළ නොහැකිය. මෙම කාරණය වඩාත් හොඳින් පැරණි එක්ස් කණ්ඩායම නමැති බෝක්කු කටවල් වලින් ලාංකීය භුමිකාවේ පශ්චාත් නූතනවාදීන් වීමට යන්ත දැරූ නමුත් පසුව තම කුහකකම ප්‍රදර්ශනය කරමින් ලිංගික හීනවල පැටලී සුනු විසුනු වී ගිය කණ්ඩායමෙන් ලද දේශපාලන අත්දැකීම් ප්‍රකාරව නිර්මාල්ට එනම් ෆුටා සභාපතිවරයාට තේරුම් ගත හැකිය. සැබවින්ම නිර්මාල්ගේ පශ්චාත් එක්ස් පොලිටික්ස් සෞම්‍ය වන්නා සේම භූමියේ භාෂාව තේරුම් ගත් එකක් ලෙස කියවීම අසාදාරණ නොවේ. නමුත් එය තවමත් ජාතිවාදී කුලකය සමඟ මුහු වීමේ ඉඩකඩ වැඩි අතර එය තවමත් අනෙක් සහෝදර කොටස් පිළිබඳව කතා කරන බවක් පෙනෙන්නට නැත. එහි ප්‍රතිඵලය ඇතැම් පාර්ශවයන් සඳහන් කරන ආකාරයන්ම නිර්මාල් රංජිත් තවත් ධම්ම දිසානායක කෙනෙකු වනු ඇත. එවිට නිර්මාල්ද වරක් ධම්ම ලියු ආකාරයේම දෑ එනම්, ෆොන්සේකා නරකයි, මහින්ද මාමා හොඳායි, පොඩි ළමුන්ටත් ආදරෙයි වැනි දෑ තම දරුවන් ප්‍රකාශ කළ බව කියමින් ලියා ආණ්ඩුවේ පත්තර වල පිටු පිරවිය හැකිය.

රාජිනි තිරාණගමගේ සිට නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිවසුබ්‍රමනියුම් රවින්ද්‍රනාත් දක්වා අයවලුන් මුහුණ දුන් සිදුවීම් සේම රත්නජීවන් හූල් වැනි අයට පලායාමට සිදු වීම වැනි දෑ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිදු වූයේ පද්ධතිය තුළ බෝවූ පාවාදෙන්නන් සහ පන්දම්කාරයින් නිසාය. එය වෙනස් ක්‍රම වලින් දකුණේ විශ්වවිද්‍යාල තුළද සිදුවිය. භූගෝලය පිළිබඳ මහාචාර්ය වරයෙක්, ළමුන්ගේ කන්‍යාභාවය පරික්ෂාකොට, අපරාධ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරන්නේකුගේ උපදේශකයා වන්නේත් මෙම රටේ මිස, තම රටේ රජාගේ දොළ පිදෙනියට දහස් ගණන් ගැහැණු ළමුන් අතරින් කන්‍යාභාවය ඇති ගැහැණු දරුවකු ප්‍රසිද්ධ සංදර්ශනයකදී සොයා ගැනීම වාර්ෂික සම්ප්‍රදාය කරගත් ස්වාසිලන්තයේ නොවේ. එබැවින් ෆුටා ගමන් කරන මාවතේ දෙපැත්තේ ඇති දෑ තෝරා බේරා ගැනීමේ භාරදූර වගකීම අතිශය තීරණාත්මක වේ. මෙය තවත් එක් ගොබ්බයන්ගේ විරෝධයක්ද නොඑසේනම් එය ජාතික අධ්‍යාපනය වෙනුවෙන් ඇති වන නවෝදයක තීරණාත්මක පිළිබිඹුවක්ද යන්න, ප්‍රතිඵලය මත තීරණය වේ. එබැවින් ෆුටා සංවිධානයට වැදගත් වන්නේ මීට පෙර ලංකා ඉතිහාසයේ සංවිධාන ඇති වූ ආකාරයෙන් ඔබ්බට ගොස් තම සංවිධානය සාමාජ ගත කිරීමය . එනම් ජවිපෙ කළ ආකාරයෙන් තිරය පිටුපස සිටි අයවලුන් නොකා නොබී ගොඩ නැගු පක්ෂය වැසිකිලි වතුර ගලායන බෝක්කුවලින් එලියට පැන තම අනාථභාවය සංසිදුවා ගත් වීරවංශ හෝ පක්ෂයේ අරමුදල් වලින් කඳ බඩ මහත් කොට වේදිකාවලට ගොඩ නැංවූ වාචලයින්ට විනාශ කිරීමට ඉඩ දීම නොවේ. වඩාත් නිවැරදිව කිවහොත් තනි පුදගල චරිත නිර්මාණය කිරීම වෙනුව ප්‍රතිපත්ති මත විරෝධය නාභිගත කිරීම සහ ඒවා සංස්කෘතික ගත කිරීමට යන්ත දැරීමය. එමඟින් විරෝධය පෘතුල වනවා පමණක් නොව බරපතල මර්ධනයක් හමුවේ සාමාන්‍ය ජනතාවගේද දායකත්වය ලබාගත හැකිය. ලංකික සමාජය සිරවී ඇත්තේ සම්ප්‍රදාය සහ අරාජකත්වය ( අනාකිසම්) අතර බව මෙහිදී අමතක කළ යුතු නොවේ.

මේ වනවිට ලාංකික දේශපාලනයේ බරපතලම හිඩැස වී ඇත්තේ විපක්ෂයක් නැති කමය. එම නිසා රාජපක්ෂ විසින් කලින් කළ තම පැවැත්ම සහ මහජන අවධානය තමා සතුව තබා ගැනීම සඳහා විපක්ෂ නිර්මාණය කරගනු ලබයි. රාජපක්ෂ වටා සිටින අන්දරේගේ භූමිකාව රඟපාන අයවලුන් මාරාන්තික උපවාස කිරීම, ග්‍රීස් යකුන් නිර්මාණය කිරීම, නිදන් හොරුන් හැදීම, රාජ ගරුත්වය කෙලසන වෙබ් අඩවි වලට විරෝධය පෑම, "ජාත්‍යන්තර කුමන්ත්‍රණ", වැනි මේනියා සැදීම වැනි ඇත්ත ප්‍රශ්න යට ගැසීම සඳහා නිර්මාණය කරනු ලබන විපක්ෂ හැරෙන්නට වසර තිහක් තිස්සේ කොටි සංවිධානය සිදු කළ විපක්ෂයක කාරය භාර්ය මේ වන විට සිදු වන්නේ නැත. මින් කොටි සංවිධානය සාධාරණීකරණය කිරීමට වඩා ලේඛකයා උත්සහ කරනු ලබන්නේ විපක්ෂයක කාර්ය තේරුම් ගැනීමටය. ෆුටා සතුව ප්‍රචණ්ඩත්වයෙන් අපගමනය වූ නිදහස මුලික කරගත් සහ සමාජීය අවශ්‍ය තාවයක් වෙනුවෙන් දායක වීමට ඇති ඉඩකඩ තිබේ. එය ජනිත වී ඇත්තේද මහජන අවදානයක් ඇති ගර්භාෂයක් තුළය. එබැවින් විපක්ෂයක් නොමැති වත්මන් හිඩැස ප්‍රයෝජනයට ගන්නා ආකාරය අතිශය සංවේදී සහ වැදගත් වේ. ඇතිවන සෑම සාධනීය විපක්ෂයක්ම අධිකරණ පද්ධතියට කළ විනාශය හා සමානුරූපියව විනාශ කිරීමේ ක්‍රමෝපායන් සකස් විම සරල කාරණයකි. එය පිටින් සිදුකරන බලවේගයකට වඩා ඇතුලත අභ්‍යන්තර ගැටලූ නිර්මාණය කිරීමෙන් කළ හැකි බව රාජපක්ෂ වඩාත් හොඳින් අත්හදා බලා අස්වැන්නද නෙලා ගෙන ඇත. රාජපක්ෂගේ දේශපාලන සාර්ථකත්වය තුළ ඇත්තේ එකී ක්‍රමෝපායමම වේ.

ඒබ්‍රහම් ලිනක්න් විසින් තම ජනරාල් වරුන් යොදා ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු ප්‍රාන්ත වල සිවිල් ජනතාවට පහර දීම ආරම්භ කළ විට ලන්ඩන් ටයිම්ස් පුවත්පත අනුවේදනීය දේශපාලන නිරීක්ෂණයක් ඉදිරිපත් කළේය. එය වූ කලී, " ව්‍යවස්ථාවට අයත් කොන්දේසි වලට සංධානය එකඟ වීමෙන් නොව සංධාන සන්නද්ධ අධිරාජ්‍ය වැනි දෑ සහමුලින්ම අනුමත කරන විට ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටේ." මෙය එකල ටයිම්ස් පුවත්පත විසින් ලිනක්න් පරිපාලනය තම ජනතාවට එරෙහිව යුධාපරාධ සිදු කරණ විට කළ නිරීක්ෂණය වේ. ශ්‍රී ලංකාවේ තත්වය මීටත් වඩා භයානකය. එනම් රාජ්‍යක ව්‍යවස්ථාව වැනි එම රටේ ගරුත්වය සහ මානව නිදහස තීරණය කරන සම්මත රාමුන් පුද්ගලික පෙරේත කම් වලට ගොදුරු කරගෙන තිබේ. එබැවින් ෆුටා හට, මුහුණ දීමට ඇති සැබෑ අභියෝගය තවමත් මතුපිටට පැමිණ නැත. ඒ වෙනුවට රජය වටා සිටින රුකඩ කිහිපයක් නටනු පෙනේ. සැබෑ අභියෝගයට මුහුණ දීමටනම් එය කොළඹින් පිට ග්‍රාමීය මට්ටම දක්වා ගමන් කළ යුතු අතර අභ්‍යන්තර ගැටුම් ඇතිවීමේ සම්භාවිතාව අවම කරගැනීමේ ශාඛ්‍යතාවයක් එය සතු විය යුතුය. මාධ්‍ය මර්ධනය මඟින් රාජපක්ෂ අදහස් ගලායාම නතරකරන්නේ නම් කැලා පත්‍රවලින් හෝ ප්‍රයෝජනය ගතයුතු අවස්ථාව එළඹී තිබේ. මුලිකවම මුල්‍යමය වශයෙන් බරපතල තත්වයක් මතු විය හැකි අතර එය සිදු නොවුණහොත් රාජපක්ෂ විසින් තම සැබෑ මර්ධනය තුන්වැනි පර්ශවක් මාර්ගයෙන් දියත් කරනු ඇත. සුදෝ සුදු ඇඳුම සහ ලේ පැහැයෙන් තැනු බෙල්ල වටා යන සාටකයේ පිටට නොපෙනන සත්ව ගතිය වන්නේ එයයි.


0 comments: