Hot!

'යසාරා ගෝකූලන්ට කැමති වීම' හෙවත් සිංහලයාට අවැසි දෙමළා - ක‍්‍රිශාන් රාජපක්ෂ

| ක‍්‍රිශාන් රාජපක්ෂ

රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවන ලේලිය නැතහොත් යසාරා අබේනායක සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝ දර්ශණයකට ඉහළින් මෙලෙස සටහනක් තබයි.

Awww…Gokulan Im still your biggest fan…so happy be working with you

එම වීඩියෝ දර්ශණයේ සිටින්නේ සෙල්වම් සිනමා පටයේ ප‍්‍රධාන චරිතයට පණපෙවූ ශාන්තිලිංගම් ගෝකූලන්ය. ගෝකුළන් යනු විමුක්ති කොටි සංවිධානයේ හිටපු සටන්කාමියෙකි.

යම් කෙනෙක්ට යසාර විසින් සටහන් තැබූ එම වැකිය උපරිතලයේ කියවීමකදී (ස්වාධීන රුපවාහිනීයේ විමසුම හො එම චැනලයේ පුවත් විකාශය) මෙන්න මෙන්න බලන්න ජනාධිපති රාජපක්ෂ හෝ ඔහුගේ රජය ජාතිවාදි කියන්නේ කවුද? ඔහුගේ ලේලිය පවා කෙතරම් දෙමළ ප‍්‍රජාවට කෙතරම් ආදරේද? යනුවෙන් ප‍්‍රකාශ කිරීමට ද බැරිනැත.

නමුත් යසාර ගෝකූලන්ගේ සහෘදයෙක් වීම හෙවත් ගෝකූලන්ට කැමතිවීම මුල්ලිවෛයිකාල් නිමේෂයට අදාළව කියවන සමාජ යථාර්ථය කුමක්ද? යසාරා මෙන්ම දකුණේ බහුතරයකට අවශ්‍යවන්නේ සිංහල අධිපතිවාදය ඉදිරියේ හීලෑවූ දෙමළ තරුණයෙකි. සිය 'ජාතියේ විමුක්තිකාමී අභිලාෂයන්' අතහැර දැමූ තරුණයෙකි. එසේත් නැත්නම් එම වීඩියෝවේ දැක්වෙන් ලෙසම " හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න" කියා තේරුම් නොදන්නා භාෂාවකින් ඔහේ සින්දු කියන දෙමළ තරුණයෙකි. (දකුණේ බහුතර තරුණයන් පිරිසක්ද සිටින්නේ මේ මෙහොතේ සිංදු කියමිනි)

එම වීඩියෝවේදීම ගෝකූලන්ගෙන් එම වැඩසටහන මෙහෙයවන නිවේදකයා ප‍්‍රශ්ණයක් අසයි. මෙවැනි රැයක් ඔබ වෙනත් අරමුණකින් තුවක්කවක් මානගෙන ඉන්න ඇති නේද? ඔහු කිසිවක් නොපවසා හිනා වෙයි. යසාරා කැමති වන්නේ අන්න ඒ හිනාවටය. ඒ හිනාව යනු ජාතික විමුක්ති සාරය ඉවත්කර දැමූ දෙමළ තරුණයා සිංහල ප‍්‍රජාව ඉදිරියේ නිරුත්තර වීම නිසා නගන හිනාවක් විනා පැරණි රාත‍්‍රිය මතක් වීමෙන් නැගෙන සංතෘෂ්ඨි හිනාවක් නොවේ.

සිංහලයාගේ ආධිපත්‍ය දෙමළා මත පිහිටුවීම

ළමාවියේ සිට දකුණේ දරුවන්ට උගන්වනු ලබන්නේ අනේකත්වය මත සිය ආධිපත්‍ය පිහිටුවා ලූ ඉතිහාසයකි. එම ඉතිහාසයේ වැඩිම පිරිවැය යොදවා දෙමළා අනෙකා කරගනිමින්, ඒ මත සිංහල ආධිපත්‍ය පිහිටුවමින් ගොඩ නැගූ ”දුටුගැමුණු ප‍්‍රවාද” ඔස්සේ සිංහල ජනසාමාජයේ වර්ගවාදී විඥානය කුඩා මොළ තුළට එන්නත් කරනු ලබයි.

2009 මැයි 18 වැනිදා මුල්ලිවෛකාල් හි දෙමළ ජනතාව දහස් ගණනක් ඝාතනය කරමින් සූරතාතාන්තය පත්වන්නේ ඓතිහාසිකව "දුටුගැමුණු ප‍්‍රවායෙන්" ගොඩනැගූ වර්ථමාන පරපුරයි.

උතුරේ සන්නද්ධ සංවිධානවලට එල්ලවූ එක් චෝදනාවක් වන මොළසෝදනය එහි සැබෑ අර්ථයෙන් සිදුකරන්නේ සිංහල රාජ්‍යය වේ. සිංහල රාජ්‍යයේ මොළ සෝදන ක‍්‍රියාවලියට නිශ්චිත කාලපාරාසයක් නොමැත. එහි වෙනස ඉතිහාසයේ විවිධ කාලපරඡ්‍රේයන් වලදී එහි නියෝජනය වෙනස් වීම සහ එයට භාවිත කරනු ලබන මාධ්‍ය වෙනස් වීමයි. ඉතිහාසයේදී එය 'මහාවංශය නැමති හිතළු සාහිත්‍ය කෘතිය' ඔස්සේ සිදුකරනු ලැබූ අතර වර්ථමානයේදී එය 'රාජ්‍ය මාධ්‍ය සහ සියලූ අතකොලූ මාධ්‍ය' ඔස්සේ සිදුකරනු ලබයි.

සරත්චන්ද්‍රයන් ධර්මිෂ්ඨ සමාජයේ විග‍්‍රහකළ පරිදි 77 පසු ගොඩනැගෙන විලම්භීත පාරිභෝගික සමාජය සහ නිස්සාරන පුර්ෂාර්ථයන් බිහිවීමේ අලකලංචිවෙන් ශ‍්‍රී ලංකාව පොළාපැන්නවිය හැක්කේ සාහිත්‍යධරයන්, කවීන්, දාර්ශණිකයන්, ශ‍්‍රාස්ත‍්‍රඥයන්ට බව පැවසූ ද ඉන්පසුව සිදුවූයේ අමරසේකරගෙන්, නලින්ද සිල්වාගෙන්, පාඨලී චම්පික මෙන්ම අතුරලියේ රතන වැනි කවීන්, දාර්ශණිකයන්, ශ‍්‍රාස්ත‍්‍රඥයන් වෙතින්ම ශ‍්‍රී ලංකාව අන්ත ජාතිවාදයක් කරා යොමුවීමයි.

තවත් අර්ථයකින් කියවන්නේනම්, ඔවුන් විසින් සිදුකරමින් සිටින්නේ ජාතිවාදී මතවාදය සඳහා අවශ්‍ය ඉහමොල සුද්ධ කිරීම සහ ඊට අවශ්‍ය භෞතික පසුබිම සකස් කිරීමයි. ඉහත නම් සඳහන් කළ සියල්ලන්ම විශේෂයෙන් නලින්ද සිල්වා වැන්නෙකු දිගින් දිගටම ගොතනා ප‍්‍රවාද ඔස්සේ ඔහු සෑම විටම නොපෙනෙන සතුරෙකු මවා පෙන්වයි. එය එක්තාරා ආකාරයකින් මේ නිශ්චිත මොහොතේ ලංකාවේ පාලකයන්ගේ පාලන උපක‍්‍රමයද වෙයි. දෙමළ ජනතාව දහස් ගණනක් ඝාතනය කර දකුණේ බහුතරයක් කිරිබත් කන්නේ අහම්බයකින් නොව ඒ අමරසේකරලා, නලින්ලා සිය ව්‍යාපෘති ඔස්සේ මෑවූ දෙමළ බිල්ලාගෙන් නිදහස් වීමේ උත්කර්ෂ මොහොතයි.

එලෙසම අමරසේකරගේ නලින්ගේ පාඨලීගේ සියල්ලන්ගේම දැකිය හැකි මහා පොදු සාධකවලින් එකක් නම් තමන්ට හීලෑවූ දෙමළෙකු නිර්මාණය කරගැනීමයි. එය දේශපාලනික උවමනාවකි. ඒ ඔවුන්ගේ ජාතිවාදී පාලන යාන්ත‍්‍රණය මදක් සෞම්‍යකර පෙන්වීමේ උත්සහයකි.

'සිහල අභියෝගය' යනුවෙන් කෘතියක් රචනා කරන පාඨලී එයින් ගෙනහැර දක්වන්නේ දෙමළ ජනයා සමූළ ඝාතකය කළයුතු යුධමය උපක‍්‍රමයන්ය .නමුත් එම ජනඝාතක යුද්ධය අවසානයේ ඔහු මාධ්‍ය වෙත ප‍්‍රකාශ කරන්නේ අප මේ 'මහා මානුෂික මෙහෙයුම' සිදුකරනු ලැබුවේ දෙමළ ජනතාව බේරාගැනීමට සඳහා යන ප‍්‍රකාශයන්ය. එය දේශපාලන අර්ථයෙන් ඉතාම තක්කඩි ප‍්‍රකාශයක් වන අතර සිංහල ජාතිවාදීන්ගේ ඊළ`ග මෙහෙයුමේ ආරම්භය එම ප‍්‍රකාශය ඔස්සේ ගම්‍ය වෙයි.

දෙවැනි මෙහෙයුමේදී සිදුවන්නේ දෙමළ ජනයා සමග ක‍්‍රිකට් ගැසීම වැනි දේවල්ය. විමුක්ති කොටි සංවිධානයේ හිටපු සටන්කරුවන් සහ සටන්කාරියන් විවාහ කර දීම ආදියයි. දෙවැනි මෙහෙයුමෙන් සිදුවන්නේ දෙමළ ජනතාවගේ සැබෑ උවමනාව මර්ධනය කර වෙනත් චූල උවමනාවන් උත්කර්ෂයට ගෙන ඒමයි. (උතුරේ මිනිසුන් අරගල කරනු ලැබුවේ ක‍්‍රිකට් ගැසීමට හෝ විවාහ වීම සඳහා නොවේ)

දෙමළ අරගලය සහ දෙමළ ජනයා යන්න දෙකක් නොව එකක් බව දන්නා මේ ජාතිවාදීන්, ජාතිකවාදීන් මෙන්ම මධ්‍යස්ථවාදීන්ද උත්සහ කරනනේ දෙමළ අරගලය සහ දෙමළ ජනයා යන්න දෙකක් කර දැක්වීමය. දෙමළ අරගලයෙන් දෙමළ ජනයා වෙන්කළ විටදී ඉතිරි වන්නේ විමුක්ති සාරය අහිමිකරගත් ජාතියකි.

ඩග්ලස් දේවානන්ද, කරුණාඅම්මාන්, කේපී, එම කාණ්ඩයට ඉතා හොද උදාහරණය. එපමණක් නොව සමහර වමේ පක්ෂවලට පවා අවශ්‍ය එවැනි දෙමළ ජාතිකයෙකි. ජනතා විමුක්ති පෙරමුණේ රාමලිංගම් චන්ද්‍රසේකරන් හෙවත් රමේෂ් එවැන්නකට උදාහරණ බව අපට පෙන්වා දිය හැකිය.

වරක් පලස්තීන මධ්‍යස්ථමතධාරීන් සමග තමන් සාකච්ඡාවට කැමති බව ඊශ‍්‍රායල් විදේශ කටයුතු ඇමතිවරිය ප‍්‍රකාශකර සිටියේය. මධ්‍යස්ථවාදීන් වෙන්කෙරෙනා නිර්ණායක ඇය කිසිදු තැනක සඳහන් වී තිබුණේ නැත. නමුත් එය ඊශ‍්‍රායල් අර්ථයෙන් ගත්කළ හමාස් මතය අතහැර දැමූ ඊශ‍්‍රායල් විධිවිදාන පිළිගත් පලස්තීනුවෙකි.

නමුත් ශ‍්‍රී ලංකාවේ තත්ත්වය ඊශ‍්‍රායල් තත්ත්වයටත් වඩා වෙනස්ය. දෙමළ මධ්‍යස්ථ මතධාරීන්ටද මධ්‍යස්ථ වී සිටිය නොහැකිය. මන්ද ලංකා රාජ්‍යයේ විධානය දෙමළ විමුක්තිකාමී අභිලාෂ්‍ය අතහැර දමා තමන්ගේ පැත්තට පැමිණිය යුතුය යන්න නැතිනම් වෙනත් අර්ථයකින් කියන්නේනම් තමන්ට හීලෑවිය යුතු බවයි. එවැනි හීලෑවූ දෙමළ ජාතිකයන්ට සිදුවන්නේ තමන්ගේ ප‍්‍රජාව වෙනුවෙන් පෙනීසිටීමට නොව සිංහල රාජ්‍ය උදෙසා පෙනීසිටින්නය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ එල්ටීටීඊ සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායකයාගේ මෑතකදී සිදුකරන ලද ප‍්‍රකාශයන් එකක් වන්නේ එහෙයිනි.

කොළඹ පසුගිය දා පැවති ආරක්ෂක සමුළුවකදී ආරක්ෂක ලේකම්වරයා ප‍්‍රකාශකර සිටින්නේ උතුරේ හමුදාවන්ගෙන් එහි ජනයාට කිසිඳු කරදරයක් බාධාවක් නොමැති බවයි. ඊට සමාන කථාවක් කරුණා අම්මාන්ද සිදුකලේය. ඔහු ප‍්‍රකාශකර සිටියේ හමුදාව කිසිදු ආකාරයෙන් දෙමළ ජනතාවගේ ඉඩම් කොල්ලකා නැති බවයි. මේ කරුණා අම්මාන්ගේ ස්වරූපයෙන් පැමිණෙන්නේ සිංහල රාජ්‍යයේ හඬයි.

එම ප‍්‍රකාශයන් දෙක ඔස්සේ අපට සිංහල රාජ්‍යයේ උවමනාව පැහැදිලිය. ජනාධිපතිවරයාගේ ලේලිය වන යසාරා අබේනායකට මෙන්ම, දකුණේ බහුතරයකට අවශ්‍යවන්නේ සිය ජාතියේ විමුක්තිය වෙනුවෙන් පෙනීසිටින දෙමළෙකු වෙනුවට සිංහලයා සතුටුකල හැකි දෙමළෙකි.
පසුගිය දා වව්නියාවේදී එල්ලකරන ප‍්‍රහාරයේ අරමුණ බන්ධනාගාරයේ සිරකරුවන් මෙල්ල කිරීමටත් වඩා සමස්ථ දෙමළ ප‍්‍රජාව වෙත නැවත සිංහල රාජ්‍යයේ අනතරු ඇඟවීමක් සිදුකිරීමයි. එයින් දෙමළ ප‍්‍රජාවට දෙන පණිවුඩ තවදුරටත් තමන්ගේ විමුක්තිය පිළිබඳ අඹමල් රේණුවක හෝ අභිලාශයක් ඇත්නම් එයද වහාම ඉවත්කරගන්නා ලෙසයි.

අවසන ගෝකූලන්ට සිංහලෙන් සින්දු කීමට සිදුවන්නේ අහම්භයකින් නොව එක් ජාතියක සාරය ඉවත්කර හීලෑකරගැනීමට දරන ඓතිහාසික ව්‍යාපෘතියක එක් උදාහරණයක ලෙසිනි.


0 comments: