Hot!

උගත් පාඩම් කොමිසම ගොනාට ඇන්දවීම (1)


l සුනන්ද දේශප්‍රිය

උගත් පාඩම් කොම්සමේ වාර්තාව 2011 නොවැම්බර් මාසයේ දී එළි දුටු කළ ශ්‍රී ලාංකික සිවිල් සමාජයේ අති බහුතරය එහි නිර්දේශ මහත් සාදරයෙන් සහ අපේක්ෂවෙන් යුතුව පිළිගත්තේ ය. ප්‍රධාන පෙළේ සති අන්ත ඉංග්‍රිසි පුවත්පතක් එම නිර්දේශ අගයමින් ලියූ කතු වැකිය නම් කළේ තනි පුද්ගල පාලනය වෙනුවට නීතියේ පාලනය කියා ය.

එසේ නමුත් රාජපක්ෂ පාලනයේ කිසිවකුට දෙවැනි නොවන අධිකාරයක් ඇති ආරක්ෂ ලේකම් සහ ප්‍රධානීවන ගෝඨාභය රාජපක්ෂ පසුගිය ජූනි 27 දින ප්‍රකාශ කළේ කොමිසම වාර්තාව ප්‍රසිද්ධ කිරීමටත් පෙර එහි එන බොහෝ නිර්දේශ තමන් විසින් ක්‍රියාවට නඟා අවසන් කොට තිබූ බව යි. ඉන් කියැවෙන්නේ කොමිසම එම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ යථාර්ථය නොදැන බවයි. මෙම ප්‍රකාශයට අලඟු තබන ජනාධිපති රාජපක්ෂ පසුගිය ජූලි 30 දින ප්‍රකාශ කළේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සියයට 50කටත් වඩා දැන්ටමත් ක්‍රියාවට නඟා අවසන් බවයි.

ඒ කෙසේ වෙතත් දැන් ආණ්ඩුව උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහායැයි ක්‍රියාකාරී සැළැස්මක් ප්‍රසිද්ධ කර තිබේ. මෙම සැළැස්ම පමණක් නොව එම නිර්දේශ පිළිබඳ රජයේ ප්‍රධානීන්ගේ ප්‍රකාශ විසින් පෙන්වා ලන්නේ මහා ජනයාගේ ඇසට වැළි ගසා උගත් පාඩම් කොමිසම ගොනාට ඇන්දවීම රාජපක්ෂ පාලනයේ උපාය බවයි.

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පසුගිය මාර්තුවේ දී යෝජනාවක් සම්මත නොකළේ නම් අඩුම වශයෙන් මෙම බොරුකාර ක්‍රියාකාරි සැලැස්මවත් එළි දකින්නේ නැත. එනයින් මෙම සැළැස්ම මානව හිමිකම් කවුන්සිලය ද ගොනාට අන්දවීමට කැසකවයි.

මානව හිමිකම් කොමිසම, පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම යනාදිය ස්වාධීන කිරීම උගත් පාඩම් නිර්දේශයන් අතර වැදගත්කමින් ප්‍රධානත්වයක් ගත්තේ ය. ඇත්ත වශයෙන්ම නම් කොමිසම සිය නිර්දේශ මගින් රාජපක්ෂ ආණ්ඩුවේ 18වන සංසෝධනය අනියමින් අභියෝගයට ලක් කර තිබුණි. මෙම 18වන සංසෝධනය විසින් පශ්චාත් නිදහස් ශ්‍රී ලංකා ව්‍යවස්ථාවට එක් කරන ලද වැදගත්ම සංසෝධනයක් වූ 17වන සංසෝධනය මකා දමා ඒ යටතේ පිහිටුවිය යුතුව තිබූ ස්වාධීන කොමිෂන් සභා ජනාධිපති යටතට ගත්තේ ය. එපමණක් නොව එම කොමිෂන් සභා සතුව තිබූ බලතල ද කප්පාදු කරන ලද්දේ ය. ස්වාධින කොමිෂන් සභා දැන් ශ්‍රී ලංකාවේ ඉතිහාසයට පමණක් අයත් සංසිද්ධියකි. එනමුත් මෙම ක්‍රියාකාරී සැළැස්මට අනුව මෙම සියළු කොමිෂන් සභා දැන් ස්වාධීනය. ඉන් අප පිළිගත යුත්තේ 18වන සංසෝධනය යටතේ බලය කප්පාදු කර ජනාධිපති අභිමතය යටතට ගත්, මානව හිමිකම්, පොලිස්, මැතිවරණ, අධිකරණ සේවා, රාජ්‍ය සේවා යනාදි ව්‍යවස්ථාමය කොමිෂන් සභා දැන් ස්වාධීන බවයි. මීටත් වඩා මෙතෙරත් එතෙරත් ගොනාට ඇන්දවීමක් තවත් තිබිය හැකි ද? රටක නීතියේ සහ යහ පාලනයට මෙම යාන්ත්‍රණයන් මගින් ඇති කරන තීරණාත්මක බලපෑම අවිවාදිත ය.


ස්වාධීනත්වය යනුවෙන් අදහස් කෙරෙන්නේ කුමක්දැයි ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙසේ පෙන්්වා දී තිබේ: ස්වාධීනත්වය තෘප්ත කළ හැක්කේ ප්‍රථමයෙන් එය පත් කරනු ලබන අධිකාරය අනුව ය. දෙවැනිව එහි ධුර කාලයේ සුරක්ෂිත බව අනුව ය. තෙවැනිව ආණ්ඩුවේ පාලනයෙන් ස්වාධීන වීම අනුවය.
(1997 යෝජිත විකාශන අධිකාරියට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පැවැරූ මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි තීන්දුව). මෙම කරුන පෙන්වා දෙන නීතිඥ කිශාලි පින්ටෝ ජයවර්ධන පවසන්නේ මෙම ක්‍රියාකාරී සැළැස්ම හරයෙන්ම වංක එකක් බවය.

වත්මන් ව්‍යවස්ථාමය කොමිෂන් සභා කිසිවක් ඉහත කී නිර්නායකය අනුව ස්වාධීනදැයි විමසා බැලීම පාඨක පුරවැසියාට බාරය. සංෂිප්තව නමුත් පවතින ඇත්ත තත්ත්වය දෙස බලමු.

මානව හිමිකම් කොමිසමෙහි කොමසාරිස්වරයකු වූ හිටපු රස පරීක්ෂක සහ වෛද්‍ය ඩී.ඒ. ජේ. මෙන්ඩිස් පසුගිය ජනවාරි 31 දින ඉන් ඉවත් වුයේ දේශපාලන බලපෑම් හමූයේ සිය ස්වාධීනත්වය තර්ජනයට ලක් වු නිසා ය. රාජපක්ෂ රිජිමයෙන් දේශපාලන පත්විමක් ලැබ ඉඩම් කොමිසමෙහි සභාපති ධූරය දරන නිමල් පුංචිහේවා මහතා මෙම ඊනියා ස්වාධීන මානව හිමිකම් කොමිසමේ අතිරේක ලේකම්වවරයා යæ අතුරුදහන් වූ ලලිත් වීවරරාජ් සහ කූගන් මුරුගන් පොලීසිය විසින් රහසේ රඳවාගෙන ඉන්නේයැයි සැක කැරෙන ස්ථානයක් මෙම ඊනියා ස්වාධීන මානව හිමිකම් කොමිසමට දැනුම් දුන් කළ එය කළේ හොරාගේ අම්මාගෙන් පේන අසන්නා සේ ඒ බව සැබෑදැයි පොලීසියෙන් විමසීම ය. මෙම මානව හිමිකම් කොමිසමම ප්‍රගීත් එක්නැලිගොඩ වෙනත් රටක ජිවත්වන්නේ යැයි මානව හිමිකම් කවුන්සිලයට කී හිටපු නීතිපති මොහාන් පිරීස්ගෙන් ඒ පිළිබඳව පිළිතුරක් ලබා ගැනීමට පවා අසමත් විය. ඒ තරමටම ස්වාධීනය.

තටු කැපූ පොලිස් කොමිසමේ සභාපතිවරයා වන්නේ දේශපාලන පත්වීමක් ලැබ ඕස්ටේ්‍රලියාවෙහි ශ්‍රී ලංකා තානාපතිවරයකු ලෙස සේවය කළ සේනක වල්ගම්පාය මහතා ය. පුවත්පත් සාකච්ජාවක් පවත්වමින් ඔහු පසුගිය මැයි 23දින කියා සිටියේ පරීක්ෂන මගින් වරදකරු වන පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමට තමන්ට බලය නැති බවත් එම තීරණ තමන් පොලිස්පතිවරයාට යොමු කරන බවත් ය ( පොලිස්පති ඉලංගකෝන්ගේ ස්වාධීනත්වයේ රඟ පසුගිය මැයි 01 දා මහවිලච්වියේ නිදන් හාරා අසුවූ එස්ටිඑප් කණ්ඩායම බේරා ගැනීමට රෙදි ගලවා ගැනීමෙන් එළිදරව් විය). මෙම කොමිසමේ තවත් කොමසාරිස්වරයකු වන කුප්‍රසිද්ධ ඇල්ලේ ගුණවංස හිමි පසුගිය මාර්තුවේ දී කියා සිටියේ කිසිදු බලයක් නැති සිය කොමිසම මහ බොරුවක් බවයි. 17වන සංසෝධනය යටතේ පොලිස් නිලධාරීන් මාරු කිරීමට, උසසවීම් දීමට සහ විනය පරීක්ෂන පවා පැවැත්වීමට තිබූ බලය දැන් නැතැයි ගුණවංස හිමි පිළිගත්තේ ය.

2001 මැයි මාසයේ දී විශ්‍රාම වැටුප් පනතට එරෙහිව නැගී සිටි කටුනායක නිදහස් වෙළද කලාපීය සේවක සේවිකාවන්ට වෙඩි තබා රොෂාන් චානක ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉල්ලා අස්වීමට සිදුවූ හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය වහාම බ්‍රසීලයේ තානාපතිවරමින් පුදන ලදී. එමගින් පෙන්නුම් කරන ලද්දේ රාජපක්ෂ රිජීමයට කඩේ යෑම වෙනුවෙන් ලබා ගත හැකි වරදානයන්හි තරම ය. වෙනත් වචනයෙන් කියන්නේ නම් රිජිමයේ අවනීතියට එරෙහිව කිසිදු ස්වාධීන පියවරක් ගතහොත් පොලිස්පතිවරයකුට අහිමි විය හැකි වරදානයන්හි තරම ය. මෙළෙස පොලිස් සේවාව අන්තයටම දේශපාලනීයකරණය කොට තිබියදී එය උගත් පාඩම් කොමිසමේ නිර්දේශ අනුව යමින් ස්වාධීන කොට තිබේ යැයි ක්‍රියාකාරි සැළැස්ම කියන්නේ අප සියළු දෙනා ගොනාට ඇන්දවීමට නොවේ ද?

සැප්තැම්බර් 08පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයන් අතරතුර වාර්තාවන අනිසි කි්‍රයාකාරකම් සම්බන්ධයෙන් පියවර ගැනීමට තමන්ට බලයක් නැතැයි ද ඊට හේතුව 18 වන සංසෝධනය යටතේ මැතිවරණ කොමිසමෙහි බලය කප්පාදු කර තිබීම යැයිද මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබුණි. මෙම කප්පාදු කිරිමෙහි එක් කැපී පෙනෙන නිදර්ශනයක් නම් මැතිවරණ සමයන්හිදී රාජ්‍ය ජනමාධ්‍ය අගතිගාමී නොවන බවට වග බලා ගැනීම අතුළු රාජ්‍ය සම්පත් අනිසි පරිහරණය වැළැක්වීමට 17වන ව්‍යවස්ථා සංසෝධනය යටතේ මැතිවරණ කොමිසමට පවරා තිබූ අධිකාරය ඉන් ඉවත් කිරීමයි. 18
වන සංසෝධනයෙහි බලපෑමට නතුවූ ශ්‍රී ලංකාවේ වත්මන් මැතිවරණ ක්‍රමය විමසීමට ලක්කරන මානව හිමිකම් නීතිඥ වැලිඅමුන පවසන්නේ සිවිල් පරිපාලනය සහමුලින්ම දේශපාලනීයකරණය කරන ලද තත්ත්වයක් යටතේ රාජ්‍ය සම්පත් සහමුලින්ම අනිසි පරිහරණය මගින් මැතිවරණ යාන්ත්‍රණය දූෂනය කර ඇතිවිට රාජ්‍යයට අවශය පරිදි මැතිවරණ ප්‍රතිපලය සකස් කර ගැනීමට අවශ්‍ය වන්නේ දේශපාලන ගුරුන්ට සේවය කරන ප්‍රබල යුද යන්ත්‍රයක් පමණක් බවයි. ඔහු නිගමනය නම් අද අප දකින්නේ එවැනි වර්ධනයක් බවය. අඩුම වශයෙන් 18වන සංසෝධනය යටතේ එන මැතිවරණ කොමිසමවත් රාජපක්ෂ ආණ්ඩුව විසින් පත් කර නැත්තේ ඇයි?.

රාජ්‍ය සේවා කොමිසම තවත් ඊනියා ස්වාධින කොමිසමකි. ජූලි අගදී එය විසින් අමාත්‍ය රාජිත සේනාරත්නගේ බිරිඳ වන වෛද්‍ය සුජාතා සේනාරත්න සොඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස පත් කරන ලද්දේ ඉතා අපැහැදිලි සහ විවාදාත්කම තත්ත්වයක් යටතේ ය. ඊට පෙර වෛද්‍ය සුජාතා සේනාරත්න කොළඹ ජාතික රෝහලෙහි අධ්‍යක්ෂිකා තනතුර ඉල්ලා සිටි නමුත් ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවක් මගින් එය වළක්වන ලදී. දැන් රාජ්‍ය සේවා කොමිසම විසින් ඇයට ලබා දී ඇති මෙම අතිරේක ලේකම් ධුරය ඇය විසින් ඉල්ලා සිටි අධ්‍යෂිකා ධූරයටත් වඩා උසස් ය. ඇයට මෙම තනතුර ලබා දී ඇත්තේ ජේෂ්ඨත්වයෙන් ඇයට වඩා සුදුසු වෙවද්‍යවරුන් ගණනාවට ඉහළිනි. එපමණක් නොව එම තනතුර ලබා දීම පිනිස ඒ තාක් අතිරේක ලේකම් ධුරයේ කටයුතු කළ වෛද්‍ය පාලිත මහිපාල යටතේ තිබූ මහජන සොඛ්‍ය සේවා අංශය ඔහුගෙන් ඉවත් කර එම කටයුතු ඇමැති බිරිඳ වෙත පවරා තිබේ. ඒ තරමටම රාජ්‍ය සේවා කොමිසම දේශපාලන බලයෙන් ස්වාධීනය. ජූලි 28 දින දි අයිලින්ඩ් පුවත්පත වාර්තා කර තිබුනේ මේ වනාහී හරියට සහකාර පොලිස් අධිකාරිවරයකු එකවරම නියෝජ්‍ය පොලිස්පති තනතුරකට උසස් කිරීමක් වැනි බවයි.

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ අතුරින් කේන්ද්‍රීය වැදගත්කමක් තිබූ ව්‍යවස්ථාමය කොමිෂන් සභා ස්වාධින කිරීම ලබා ඇති ඉරණම ඔන්න ඔයාකාරය. දැන් මෙතෙරත් එතෙරත් ආලවට්ටම් දමා අලෙවි කෙරනු ඇත්තේ මෙවැනි බොරුකාර ක්‍රියාකාරී සැළැස්මකි.

0 comments: